Sunday, December 27, 2009

නිශ්ශබ්දතාව කතා කරයි - මහගම සේකර

ඔබගේ හදවතින් නැගෙන
නිහඬ සියුම් අඳෝනාව
අනන්ත වූ අවකාශය
නිශ්ශබ්ද ව අසා සිටියි

ඔබට ඉතා ළඟින් සිටින
ඔබෙන් බොහෝ ඈත වෙසෙන
මම ද
ඔබගෙ දුක් ගී හඬ
එපරිද්දෙන් අසා සිටිමි

දහවල දිව පැන දඟලන
කලබලකාරී ලෝකය
රාත්‍රියේ අඳුර පෙරව
සන්සුන් වී නිදියන කල
ඔබ නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
මගේ හදේ දුක් ගී හඬ
ඔබේ හදින් අසන විට දි
මම නොනිදා
කවුළු දොරින්
අහස් ගැබට හෙලූ නෙතින්
ඔබේ හදේ දුක් ගී හඬ
මගේ හදින් අසා සිටිමි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසල ව අසා සිටියි

ඔබගේ ඇස් වලින් පෙරෙන
කාන්තියෙන් එළිය රැගෙන
පොඩි තරු කැට දිලී නිවී
කඳුළු හෙළා වැළපෙන හැටි
ඒ අවකාශය අතරින්
නිදි නැති මට එවිට පෙනෙයි

මගේ හදින් නැගෙන සුසුම්
අඳුර අතර පා වී ගෙන
කවුළු දොරින් රිංගා විත්
සෙමෙන් ඔබේ හිස පිරි මැද
නිදි නොමැතිව සිටින ඔබගෙ
මුහුණ සිඹිනු ඔබට දැනෙයි

අනන්ත වූ අවකාශය
සුළං දහර නිශ්චල කොට
ඔබෙත් මගෙත් දුක් ගී හඬ
නිසංසලව අසා සිටියි

ඔබෙත් මගෙත් දුක් ගී හඬ
අසා සිටින අවකාශය
පිටත ලොවට නෑසෙන්නට
නොපෙනෙන්නට මැරී සිටින
ඔබෙත් මගෙත් ආත්මයන්
නිසංසලව එක් කරවයි

මහගම සේකර
සක්වා ලිහිණි - 1962

Tuesday, November 17, 2009

නිසල හිතට - සිතිජ

‍හදෙහි වැඩ උන් සකි සඳ - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

දහසකුත් මහ සෙනඟ මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ

“ගෙවී යන කාලයට
බො‍හෝ දේ කළ හැකිය...
සදා සපථ වූවන්
ලිහා වෙන් කළ හැකිය...”
නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද

මායිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව

රඟ මඬල හස කැන් මැද
ළඟින් රඟ දුන් මිතු සඳ
සිමෙන්ති වේදිකාවෙන්
තවමත් නැගෙනවද අපෙ කට හඬ

එක්ව කළ අරගල වල
පින්සල් පහර -රතු සායමේ පැල්ලම
තවමත් ඇඟලි තුඩු අග
බොඳව ගිය මුත් නොමැකුණ

පාසලේ අවන්හල ‍කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ට්ය
රස සිහිව උගුරෙහිම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ

මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත

හෙම්බත්ව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නොකියා
මග වැටුණු කවිය ලියමි මම

රැගෙන හෙමිහිට ඉවතට
ලොව කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ

මලක්..! (ලොකූ)

නිසල අහසේ වලාකුළු නැති
සඳක තරුවක සෙවනැලිත් නැති
හෙවන යට තනිවී එවයි ඔබ
හිතම උතුරා ගලන කව් ගී
පන්හි‍ඳේ තුඩගින් ලියා

හමන මදනල පත් ඉරුයි
රැගෙන එන ඒ මහරු සිතුවම්
මගේ නෙතගට පාවෙලා
රැයේ සිසිලස කැටිවෙලා
පිපේ සිතුවම් සැනසිලා

ඇඟිලි තුඩගින් වෙරල වැලි මත
ඇඳෙන රේඛා අතර රැඳවෙද
පලිඟු කැටයේ ජී‍විතේ
මැවෙන මැකෙනා යලිත් පිපෙනා
සිහින ඡායා වල අරුත්

රළක දියවර මකන ඉරි යලි
යලි අඳින්නට දුවන සිතුවිලි
ඇඟිලි තුඩු අල්ලා
මගේ දෙතොලග තබා සිපගෙන
පියා ගමි නෙත් සැනසුමෙන්

ජී‍විතේ මහ විසල් සිතුවම
දිග හැරේ මුළු නෙත් පුරා
අගක් ‍නොපෙනෙන තණ නිල්ල අග
නිල් අහස පවුරක් ව විහිදෙයි
නිමක් නැත නිම් වලල්ලත් නැත
කොහේදෝ නොදනිමි නමුත්

අග මුලක් ගැන කෙලවරක් ගැන
වෙහෙස නැත සිත පිරී ඉතිරෙයි
සුවය සැනසුම ඒ විසල් බව
හිත පුරා රඳනා

ආදරේ මහ විසල් ගඟුලකි
‍ජීවිතේ සුවිශාල තණ බිම
දිය දෙවා ගලනා
‍රඳන්නට ඒ ගඟේ දියවර
සයුරු දහසක් එක්කලත්
නොහැකි වේමයි කෙදිනකත්

පිරී හැම සාගරයක්ම හමුවන
ග‍ෙඟ් දියවර තුල ගිලී යයි
ගලයි ඒ ගඟ කෙලවරක් නැති
ජීවිතය නම්වූ මහා
විසල් තණබිම සියළු තණ පත්
පවස නිවමින් සිහිලඹින්
වියලි පරඬැල් පුබුදුවා
හරිත සළුවෙන් සරසවා

වියලි අසරණ තණ පතක් වෙමි
ගඟුල් දිය බිඳු ‍සුවඳ සිපගෙන
නැගෙමි මදනල හා සැලී
පිපෙමි පිබිදී සැඟව යනමුත්
නැගෙන අපමණ තණ පතින්
හිස නගා මම අත දරා
ඔබ නමින් පිපිලා පරව යන
එහෙත් හැමදා යලි යලිත් පිපෙනා
සිඟිති
සුදුපෙති
සුවඳ මල්.

Thursday, November 12, 2009

අසඩක් - [ජගත් ජේ එදිරිසිංහ]

අසඩක්

විනිසුරු අසුනසල
වැතිර සිටියෙමි එදවස
තබා අත හිස මත
මහා බර කටහඬ අවදිකොට
කීවෝය සැනසුම් බසක්
අසඩක් විනිසුරාණෝ

හදවත පෙලූ බර පොදි
එකිනෙක අතින් ගෙන
තබා බිම මා ඉදිරියේ
සිනාසුණහ බෝ සැහැල්ලූවෙන්
අසඩක් විනිසුරාණෝ

වියපත් මගේ හද තුළ
මේසා කළක් රැක ගත්
දුටුවෙද මෙබර නිම්නැති
සසඳා බැලියැකිද
වෙනත් හදවතක බර හා
අසා සිටියෝය හිනැහී
අසඩක් විනිසුරාණෝ

බිම තබා බර පැස
විනිසුරු අසුණින් බැස
දැන් බෝ දුරක් ගොස් ඇත
අසඩක් විනිසුරාණෝ

තවමත් මෙතැනමය මම

ජගත් ජේ එදිරිසිංහ
2009 නොවැම්බර් 11

Monday, November 9, 2009

නිහඬ තිමිරය ගලා එයි - ලොකු-

නිහඬ තිමිරය ගලා එයි

තඳුමුදුනතින් බැස

තුරු පඳුරු හිස්

දයාවෙන්

සිඹිමින් ගලාවිත්

කැටි ගැසෙයි

මිටියාවතේ


නොගැඹුරු තණ පඳුරු

වසාගෙන තැන තැන එකතුවන

ශ්වේත වර්ණ දිය කඩිති

සෙමින් සෙමින් ඉතිරී ගලත්

පිරී ඉතිරෙන්න නිම්නයම

විසල් පෙණ බුබලකින්


සිහිල් අතැඟිලි තුඩින්

දෙකම්මුල් කිති කවන

සරාගී නල රැල් මෙන්

මා ගතට නොදැනුනත්

හමා විත් රහස් කොඳුරන

අදිසි මදනල මෙන් නොව

තිමිරය මා නෙත් පුරා ගලයි


වසා පියවා මා නෙත්

දුහුළු සුදු සේද සළුවෙන්

විශ්වයම බොඳව යයි

දිදුලමින් පෙණ බුබුලක්ව

අන්ධය මා දෙනෙත්

උකුව යන ශ්වේතය

තිරි සයුර සේ නැගෙයි


මත්ස්‍යයෙක් වෙමි

පිහින යමි
කිරි බඳුන තුල

හාත් පස වසා ගත්

උකුව යන සුදු පැහැය මිස

කිසිවක්, කිසිවක් ම නැත


ඔබේ ස්පර්ශය දැනෙයි

විහිද යනු මා නෙත් තුලින්

පිබිද ගලාවිත්

ඈත ගැඹුරු පතුලේ සිට

මා ඇතුලාන්තයෙන්


ආලෝක පුංඤ්ඤයක්

පිපී විහිදී

සියොලඟම වැලඳ ගනී

දිව්‍යමය වූ සිසිලසකින්

හදවතේ ගැඹුරුම ගැඹුරු

පතුලතත් පිරිමැදෙයි


මා සිරුර

අත පය ඇස් කන් නාසය

සියල්ල දියව යයි

ආලෝක බිඳුවක්ව

පිරී සපි‍රී

මහා ආලෝකයක් වී

විශ්වයම එකළු වෙයි

ජීවිතය

හඟිමි.







Wednesday, September 30, 2009

අරලිය - රෝහණ පොතුලියද්ද

අරලිය

ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....

පුදසුනක,
සොහොන් බිමක,
කවියක,

විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....


රෝහණ පොතුලියද්ද

-අහස හැඩි වී ඇත

පසුපස ඒම - මුතු පබා

පසුපස ඒම

මම,
සිදු රළ පෙළ වෙමි
විටෙක සැඩ වුවත්
දුව දුවා’විත්,
නුඹ දෙපා
සිප ගන්න...

නුඹ,
සෙල්ලක්කාර ජීවියෙකි
මාව පාගා ඈ - ත් - ව - න,
යළි ළගට’විත්
කවටකම් පා
දි -- ව -- ය -- න.

මුතු පබා

Thursday, September 24, 2009

නැගෙන හිරු - කේ. නයනා එල් පෙරේරා

නැගෙන හිරු

නිමක් නැති දුක් මැදින්
නොසෙල්වුනි ඉන්න මෙන්
කොපුල් තලයේ රූටමින්
ගැලූ කඳුළුළැළි උල්පතින්
අනාගතයේ සිහින දුටුවේ
දසදාහක් මේ මව්වරුන්

ගත ගලාගිය රුධිරයෙන්
බිඳක් ගෙන වැඩි දූ පුතූන්
රකින්නෙමි යැයි අදිටනින්
කටුක බව පිරි දිවිගමන්
මහමෙරක් බර හිස දරන්
පා තබා ගිය පියවරුන්

පැතූම් මල් පෙති පුදමින්
අතූරිකිලි මෙන් දලූලමින්
වැඞී ගිය දින දරු පැටව්
වෙතින් ගිළිහිණි මනුදහම්
වාරු නැති දින මුළු ගතින්
තනිකලේ ඇයි මව්පියන්

හිස් අහස දෙස බලන්
දූ පුතූන් ගැන මුමුණමින්
හෙලන දහසක් සුසුමෙන්
වැටෙන කඳුළක් නෙතඟින්
කියන දහමක් මෙලෙසින්
රිදුම් දෙයි හදේ ගැඹුරින්

සිඟාලක නම් ඒ පුතණුවන්
ගියේ යහමඟ මුණි බණෙන්
නැගෙන හිරු වෙයි මව්පියන්
කරනු මැන නිසි වන්දනාවන්
දෙසුව බණදම් බුදු මුවෙන්
අමතක වුනාදෝ, කෙළෙසින්?


කේ. නයනා එල් පෙරේරා
ගැබරෝන් බොට්ස්වානා

විසිරුණු කවියක ඒකමිතිය - මංජුල වෙඩිවර්ධන

විසිරුණු කවියක ඒකමිතිය

වේගයෙන් ඇවිද ගොස්
නැවතුන
ගොළු බෙල්ලකු
හතිලනු මෙනි
මතකය.

නිමග්නව සිටියද
කල්පනා මහ සයුරක
රළ නගන්නෙම
කැබලි සිතිවිලි පමණි.

මල් නොවේ නම් බඳුනක
මල් බඳුනක් ද එය ?

අමාවක කළුවර බව
සඳට වැඩියෙන් දන්නෙ කවුරුද ?

උදෑසන
සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතුද ?

හදේ සවිකළ
මාලිමාවෙන් පාර අහගෙන
ගමන යළි අරඹමි ....

බූට් පතුලක්
හමුවනා තුරු.


මංජුල වෙඩිවර්ධන

Monday, September 14, 2009

නොරිකො සං ගෙ වේදනාව - මංජුල වෙඩිවර්ධන














දෙවෙන්දොරා
දොර අරින්න දෙවෙන්දොරා
තබකොචි සොහොන් ගැබේ
දොර අරින්න දෙවෙන්දොරා
සකුරා මලින් පිරුණු
ඇසි පිය යට
ඉන්නට මට තුරුල්වෙලා
ඇසි පිය හැර බලන්න
ඇවිදින් ඔබෙ සුපෙම්බරා

සඳ සරා හෙමින් ඇවිදින්
නිල් ගුවන් අරා සරමින්
කුමකුරා අරුංගල් ජෝඩුව
දිහා බලන්නේ
මට දරා ගන්න බෑ – ඔබ
හිත පුරා වෙලෙන්නේ

ඉකෙබනා මලින් මල ගෙන
ඉකිලනා හිතින් පැන් ඉස
මම ගෙනා ඔබේ සිත්තම
ඔබ දිහා බලන්නේ
මට කියාදෙන්න කෙළෙසද
සයොනාරා කියන්නේ

පදඃ
මංජුල වෙඩිවර්ධන

Thursday, September 10, 2009

සිවරමණී -ප්‍රසාද් වීරසේකර

සිවරමණී......

සිවරමණී කවුද ඉතිං අපේ දුකට අඬන්නේ
කඩදාසි ඔරු වලින් කොහොමද තමිල්නාඩු දුවන්නේ
තල මල පිපිලා මොකටද තල් වැට නැහැ බිඳෙන්නේ
ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන තනියෙන් අපි අඬන්නේ

ටොකු ඇන ඇන කියා දෙන්න
ගුරුවරු නම් ඇති
හිත රිදුනම නාඬාහිත හදා ගන්න හැටි
යාපනයේ පෙළ පොත් වල
ඒ පාඩම නැති
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති

පිච්ච මල් නෙලා
කෝවිල් ගිය අය බෝ වෙති
හදිස්සියට වත් දෙවොලේ‍
දෙවියෙක් නැති හැටි
ජීවිතයක් මොකටද හෙට
හිනා වෙන්න බැරි
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති...

-ප්‍රසාද් වීරසේකර

Wednesday, September 9, 2009

මා දැන් ලොකු ළමයෙක්

-සංකරී-

මා ගලක් වූ මලක්
පර්වතයක් වූ සුළඟක්
අයිස් බවට පත් වූ දිය රැල්ලක්

කුඩා කල
මල් කැකුළක් සේ
මඳ පවනක් සේ
දිය ඇල්ලක් සේ ගලා ගියෙමි.

යුද කලක ගැහැණු -2002

ඒ අසල ගස මත... -ඩෝසන් ප්‍රීති

ඒ අසල ගස මත...

සිඳී ගිය විල්තෙර
සමාධි සුවය සොයන විහඟ නුඹ
මඩ කඩිති පය එරී ගිය
ගමනක අවසනය නුඹ ළඟ මම

සඟවා තබමි මඩ යට
බඩතුර හොවා ආ ආයුධය මේ දුර
විහඟුන් සමග කුමනයුර
සන්නද්ධ අරගල ද සුමිතුර

සිඳී ගිය විල්තෙර
මරණය වැළඳ වැතිරැන නිහඩ බව
විහඟුන් සේනා ද තටු බිඳුන
සමාධි සුවයට බාධා කරනව ද

මනුස්ස ඇට කටු ඔලු ද සිදුරැ වුන
තවමත් සිහිනෙන් දකින බව දනිමි දිගු රැය
කලඹයි ද නුඹ සියුමැලි සිත
රාත්‍රිය පමණක්ම නොවේ බියකරැ -දැන ගත යුතුය එය අද

විල නැවත පිරෙනු ඇත නිල් දිය එමට ඇත අහස් කුස
විහඟුන් සිකිපිල් විදා ගගනත පියාඹනු ඇත අහස තවමත් හිරිකඩය
සීතල කඳුළු කැටවල උණුසුම දැනෙන්නේ කොපුලටම නොව මමිතුර
හංස ගී ගයන්න ද විලක දිය මත උන් සිටිය යුතුමය- පියුමට ඔපය එලෙසය

අවිය සඟවමි මේ තැන...
කතිරයක් දමා ඇත ඒ අසල ගස මත...

ඩෝසන් ප්‍රීති
090909

මාතෘකාවක් නැති මාතෘ භූමිය-මංජුල වෙඩිවර්ධන

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවිය..

සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳ..

බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්

දස දහස් ගණනෙකි යග
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි ය..

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැඟෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුද ඇඳුම..

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවිය..


මංජුල වෙඩිවර්ධන
(2009 සැප්තැම්බර්)

ඉතිහාස පාඩම-මහේෂ් මුණසිංහ

ඉතිහාස පාඩම

ජාතික ඇඳුම
ජැන්ඩියට ඇන්ද
රණසිංහ සර්
උස්සං සරම කොණකින් - පපුව දික් කරමින්
ඩෙස් බංකු වල හැපෙමින් - වේවැල් අසිපත වනමින්
ඉගැන්වූ
ඉතිහාස පාඩම
මට මතකය
මයිල් කෙළින් වී
පුටුවෙන් ද පස්ස ඉස්සුණු
ඉතිහාස පාඩම
මට මතකය

කපා කොටා පිළිමලූන් - ලේ බේරෙන අසිපතින්
නොසලකා දරුවන් මහල්ලන් - වනසා ගම් පිටින්
අල්ලං ඇවිත්, ඇතුන් ලවා පාගවා ද්‍රෝහීන්
දික් විජය කර ඇත දෙරණ ම
බලකොටු බැඳ
ගම්වල උස් තැන් වල

වැසියෝ ප‍්‍රීතියෙන් ඉපිලේ
මහන්තත්ව ය අඬබෙර ගහන
නගර වල තැන් තැන් වල
සංදර්ශනය ජය පැන් බොන, නොනවතින

රජු නිදොස්ය
කේවට්ටයෝ පෙරට එති රකින්න ට
වැරැද්දක් කළොත් ගෝලයෝ ය බාලයෝ ය
වැසියෝ වීදි වල රැස් වී ඇත
උද්ඝෝෂණය ට
එරෙහිව
දිනෙන් දින වැඩිවෙන
රජුගේ කීර්තිය නසන්නන් ට

බන්දවා වෙහෙර, රටේ අට කොණ
පූජා කොට ඇත් පැටව් දේවාලෙ ට
වාත්තු කොට රන් රිදී - ඔබ්බවා මිණි දියමන්ති
නිමවා ඔටුන්නක් අසිපතක්
රට දිනූ මහරජු ට

රණසිංහ සර් දැං නැත - ඉතිහාසයට ගොස් ඇත
ඔක්කොම දේවල් දන්න
රණසිංහ සර් වත් දන්නැති
අත්දැකීමක් මට දැං ඇත.

මහේෂ් මුණසිංහ
2009 09

Sunday, August 30, 2009

නූගත් ඝාතකයාගේ කවිය - ජගත් ජේ එදිරිසිංහ


නූගත් ඝාතකයාගේ කවිය


නීතිඥයන් දෙදෙනෙකු මැරුවෙමි ඊයේ
දොස්තර කෙනෙකු අළු කෙරුවෙමි දර සෑයේ
සගය බලව අර මුල්ලේ ගැහෙන්නේ
ඉංජිනේරුවෙකි අත් පා කපා දැමූ

කඩුවෙන් කළ යුත්ත පෑනෙන් වලකන්න
වැර දැරු උන්ට කර ඇති දේ බලපන්න
මුර දේවතාවන් කුමටද මේ දැයට
බණ පොත් ගිණි තබමි උණුසුම ලැබ ගන්න

උපාධිය සමග කඩුවක් නොදෙන නිසා
බොහෝ පහසු විය කරනට මගෙ සේවේ
මගේ අසිපතට නැත කිසි අභියෝගේ
උගත් කම මොටද කඩුවක් නොමැතිකොට

නිමා කොට රැුයක් බොහො වෙහෙසයි සගය
විවේකයට සැතපෙමි කහවනු මත්තේ
හෙටත් නැවත ඕනෑවෙන නිසාවට
මුවත් තබමි අසිපත ඇහැරුණ පසුව

බලකොටුව -මහේෂ් මුණසිංහ

බලකොටුව

ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ‍්‍රී ලංකාවේ.
-පුවතක්

මිලිටරි මැති ඇමති
මිලිටරි තානාපති
මිලිටරි දිසාපති
දිනෙන් දින වැඩි වෙති

මිලිටරි හාමුදුරුවරු
මිලිටරි ගරු ගුරුවරු
මිලිටරි පුවත් කතුවරු
අපේ මොළ සෝදයි. මරු !

මිලිටරි විද්‍යුත් මාධ්‍යය
මිලිටරි ගේය කාව්‍යය
මිලිටරි ටෙලි නාට්‍යය
සොඳුරුයි. වඩවයි හාස්‍යය

මිලිටරි ඉස්සිලි
මිලිටරි වැනසිලි
මිලිටරි ගිනිකෙළි
කෝ කොහෙද මැසිවිලි

මිලිටරි සිතිවිලි
මිලිටරි දෙඩවිලි
මිලිටරි සැනකෙළි
ගෙනෙයි ගත සැනසිලි

මිලිටරි අවි ඇති අත්
මිලිටරි ඔලූ බලයලත්
නොතකයි නීති පොත්
ඒත් කිසිවෙක් නොසලකත්

බලන් සකියනි, අපි තෘප්තිමත් !


මහේෂ් මුණසිංහ
2009 08

Saturday, August 8, 2009

මගේ ජන්මය හෙවත් 1971 - මංජුල වෙඩිවර්ධන



ප්‍රභාවතී නොකී කව - සුදාර මුතුහෙට්ටි

ප්‍රභාවතී නොකී කව

කටු යහනකැයි නුඹ අවමන් කෙරුවාට
ප්‍රභාවතී හැඬුවේ නෑ කිසිදාක
නුඹෙ හද මඩලෙ ඇති විස කටු දුටුවාට
ප්‍රභාවතී ගොළු වූවා හැමදාම

සංකර ලොවේ පෙම්බර මගෙ හිත රිදුනේ
නුඹ දුටු පසුව එය නුඹ ලඟමයි රැඳුනේ
නොකල වරදකට ඇයි නුඹ දොස් නැඟුවේ
මෙතුවක් කල් ගොසින්දෝ නුඹ කටු දුටුවේ

පවලම් පොටින් ගිලිහුන බව දැන දැනම
නුඹමයි ඇවිත් රැඳුනේ තරු ඇස ගාව
රොන් ගෙන බමරු සැඟවෙයි ඝන අඳුරේම
මල්වල තමයි පව බමරුයි පින්කාර...!

සුදාර මුතුහෙට්ටි

Sunday, July 26, 2009

මළ දූපත - මහේෂ් මුණසිංහ


මළ දූපත

නිහැඬියාවකි
මහ පුදුම.

බඩුමිල
ඉගිල්ලෙති
ලිප් ගිනි
නිවාගෙන.
කම්හල්
වැසෙයි.
රැුකියා විරහිතයින්
ටීවී බලයි බිම ඇන
නිකන් දෙන

සූරති
භාණ්ඩාගාරය
රජු හා ඇමතිවරු
කොල්ලකති
ඉඩකඩම්
කොළඹ බිල්ඩිං
ඇති පදමට

හිස් මොළනම්
මොකද
බුද බ‍්‍රහස්පතිත්
රට කරවති
ඇවිදින් බිමට

ඝාතකයෝ
උදම් අනති
ඝාතන ගැන
තර්ජනය කරති
ප‍්‍රසිද්ධියේ
නෑසූ කණෙනි
නීතියේ යුවතිය

සේනාධිපතීන්
පිලිගනිති
යුධ අපරාධ
එද යෙහෙන්
වැජඹෙති
ලැබෙමින්
තානාන්තර පිරිවර

කැලැන්ඩර් නැති
හිර කඳවුරු වල
එකසිය විස්සක්
දින ගනිති
තුන් ලක්‍ෂයක්
වැහැරෙන

වෛද්‍ය සංගම්
බී නිදි පෙති,
දොස්තරවරුන්
සිරබත් කති
ලෙඩුන්
සුවපත් කල

හම්බන්තොට ඉඳන්
චීන්නුත් විළිස්සති
ආණ්ඩුවෙන්
යුද්දෙට
හිලව්වට
ඉඩකඩම්
අරගෙන

නිහැඬියාවකි
මහ පුදුම.

වල්පල් විතරමය
පත්තර පිටුවල.

පාළුය දැං
ලිප්ටන්
වටරවුම.


මහේෂ් මුණසිංහ

2009 07

හුදෙකලාවේ කටහඬ - මංජුල වෙඩිවර්ධන


හුදෙකලාවේ කටහඬ


තුවක්කුවකට පුළුවන්
හීනයක් වුණත් හිනස්සන්නට
හීනයකට පුළුවන්
උණ්ඩයක් වුණත් නවත්තන්නට

අමාවක දවසක වුණත්
අහම්බෙන්
මහ රෑක
හිරු උදා වූවොත්
නවත්තන්නද ?

ඒ වගේමයි
පාළොස්වකේ ?
අසිනි වර්ෂාව
සඳ නෑ - කළුවරයි - වැස්ස විතරයි.

කොකා ගස්සන
ඇඟිල්ලම තමයි
දිගුවන්නේ
හෘදය සාක්ෂිය දෙසට.
මිටි මෙළවෙනා අත් තමයි දන්නේ
මරණයේ වේදනාව.

හිස පහත් කරගෙන ඇවිදින
මිනිසකුගෙන් අහන්න
මොනවද බිම වැටී ඇත්තේ කියා
ඔහු කියයි
.. ජීවිතය ..

ඇතැම් විට
හුදෙකලාව රමණීය විය හැකිය
කවියට .......
කවිය වුව ස්මරණීය විය හැකිය
දිවියට......
අවසන මරණය.
එහෙත් ස්තිර ලෙසම
මරණය අමරණීයයි
අවියට.


මංජුල වෙඩිවර්ධන

Thursday, July 23, 2009

යකඩ ගැහැණියගේ පාපොච්චාරණය - ගැමුණු පී. දසනායක

ගෙන්දගම් පොළොවේ අනාථයෝ - කිත්සිරි නිමල් ශාන්ත

ගෙන්දගම් පොළොවේ අනාථයෝ

කිරි මදු වැල් කිරි මදු වැල් කිරි අම්මේ
මමත් කිරට අඬනා දරුවෙකි අම්මේ
ගිනියම් වූ පුරවරයක සුසුම් ලමිනි ඉන්නේ
ආදරයෙන් හිස අත ගා තැවුල් නිවා පන්නේ

රුදුරු උරග සේනාවේ විස දල වැද දුකිනේ
කුරිරු රුපුන් මැද හිඳිනෙමි නිබඳ තැළුම් කමිනේ
හිනා මුවක් දයා සිතක් ලෙන්ගතුවක් නොපෙනේ
මේ ගමනේ අරුත කිමැයි කියා දියන් අම්මේ

අනුන් දහදියෙන් සව් දිය පුරනා මිනිසුන්නේ
නිසරු රැුඟුම් වියරු නැටුම් මා සිත රිදවන්නේ
රන්මසු ලුහු බඳින ලොවක ලතෙත් ගුණය නොරැුඳේ
අසරණ මගෙ හිත සනහා දිරිය දියන් අම්මේ

කිත්සිරි නිමල් ශාන්ත

-නොබලන් කුමරිය - 1993

Wednesday, July 22, 2009

විකල් ලොවක් බලන් සකී -කිත්සිරි නිමල්ශාන්ත

විකල් ලොවක් බලන් සකී

තැනෙක නැටුම් තැනෙක ගැටුම්
දහස් මුවින් නැගෙන සුසුම්
නොයෙක වෙසින් එන විගඩම්
සකිසඳ කිම මේ සරදම්...

දනින් වැටෙන්නට දන්නෝ
සැණින් මෙදා ජය ගන්නෝ
මිනිස් හැඟුම් නොතකන්නෝ
පිදුම් ලබා වැජඹෙන්නෝ..

දනෝ තැවෙත් උනුන් හැපී
හඬත් අයෙක් සයින් වැටී
කෙනෙක් නටත් තුටින් පිපී
විකල් ලොවක් බලන් සකී

කිත්සිරි නිමල්ශාන්ත
-නොබලන් කුමරිය- 1993 මාර්තු

සොබාසිරි - ර.මු. රණසිංහ

සොබාසිරි

අහස මෙතරම් පුළුලු ඇයි
පොළව මෙතරම් විසල් ඇයි
මුහුද මෙතරම් ගැඹුරු ඇයි
ඔබට මා ආදරේ ඇයි

සුළෙඟ නලියන තණ පතක්
විහඟ තුඩු අග ගීතයක්
නිම්නයක සුදු මීදුමක්
ඔබ
හීනයක් නොව හැබෑවක්

තෙළි තුඩක සිතුවම වෙලා
පන්හිඳට කවියක් වෙලා
වස්දඬුව රස ගන්වලා
ඔබ
ලොවක හද මන්මත් කළා

ර.මු. රණසිංහ

අන්දරයායේ - කරුණාරත්න දිවුල්ගනේ


අන්දරයායේ වැව් තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි ඔබ හිතේ නිලයි
ගහවැලේ මලයි මට අප්පච්චී


වළාකුළේ ඩාබිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ
සිදාදියට එන මං තැනුවා


තුරුහිස් මුදුනේ මල් පළඳ්‍ර
කැකුළු මුවට පල වැල නෙලුවා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුළැලි සැලුවා


ගේය පද රචනය - කුමාර ලියනගේ
සංගීතය නිර්මාණය - රෝහණ ධර්මකීර්ති
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ


අහන්න මෙතනින්ඃ



Wednesday, July 15, 2009

ගුරුතුමියගෙන් ප‍්‍රශ්න පත්තරයක් ! -

ගුරුතුමියගෙන් ප‍්‍රශ්න පත්තරයක් !

මව්වරුන් නොරට ගිය
පොඩිවුන්ට කිරි මව් ව
ඉසිඹුවක් ලැබ ගන්ට
පාසලට ආවා ද?

පියවරුන් පරල වී
බීමතින් ගෙට වැදී
සුදු පාට පිටු අතර
රතු කැළැල් තැබුවා ද?

නියං කල දරදිය ද අදිමින
වැසි කලට කුඹුරු අස්සද්දන
පොළ දාට පොතේ පිටු ඉර ඉරා
කඩල ගොටු සාදන
නුඹලාව අගයන්ට
ඇගයීම් ක‍්‍රම මොකුත් නැතුවා ද?

මා උගත් බොහෝ දෑ කියා දී
නුඹලාට නව ලොවට
පාලමක් තනන්නට
පතා බෝ දුරක ආ...
මට වැරදුණාවත් ද??

සුහර්ෂිණී රේණුකා ධර්මරත්න
-සිහින අසපුව- 2005

ඡන්දදායක කතා වස්තුව - යසනාත් ධම්මික බණ්ඩාර

ඡන්දදායක කතා වස්තුව

අනේ අත්තටු නොමැති නුඹ
අත් දෙකෙන් ඉගිලෙන්න හදන දුර

යසනාත් ධම්මික බණ්ඩාර
-මුරගල- 1997 මැයි

Thursday, July 9, 2009

වනන්තරේ - පද්මසිරි හේරත්











වනන්තරේ


රස යුස උරා බී මිහිකත සතුව ඇතී
සවි බල ලබා තනිවම මහ ඉහළ නැගී
තුරු, අත්විදා මල්පල බර සිරස සැදී
හිරු සඳු පහස ලැබ අබිමානයෙන් හිඳී

අපුලය පෙවෙත බිම් පණුකැල සමග ගැලී
වැල හිස නගයි සවිමත් තුරු බඳෙක වෙළී
හිරු රැුස් බිඳුව විඳිමින හිඩැසකින් සැලී
ඔසු වග අගන වෙත සැනැහී පසෙහි කිලී

පද්මසිරි හේරත්
වෙරිබි වික්ටෝරියා

සහෝදර කවිය - රංජිත් ගමගේ

සහෝදර කවිය

වෙඩි සද්දෙ නැවතුණා දොරකඩ
ඇහෙනවද? දොර කවුළු ඇරෙන හඬ
අලුත් සුළඟක් ඇවිත්
ධර්මපාල,
සරෝජිනී ,
සිවපාලන්,
ලලිතක්කේ මෙහෙ වරෙන්

මන්නාරමෙන්,
තිස්සමහාරාමෙන්,
අම්පාරෙන්,
වන්නියෙන් කොහෙන් හරි
මේ සුසුමක මායිම පෙන්වන්න
හැකි වෙයිද? කෙනෙකුට

මතක් කරපන් මහා උදම් රළ
මුද ගොඩ දාපු දා
යාන්තම් පණ ගැහුණ
මනෝහරන් ගොඩ දැම්මෙ
වාඩියේම සෝමදාස
ඇඳිවත ගැලවුණා එදත්
නොදැක්කට අපේ නිරුවත

මග වැරදුුණා තමයි
වන්දි ගෙව්වා බොහෝම..
කාලයයි දැන්
”ඒ-නයින් ” පාරෙන් ඇවිත්
බැඳගන්න අත්වැල්
මේ අලුත් පොළොවක්
බීජ වපුරන්න
හෙට පිපෙන අලුත් මල් වලට

රංජිත් ගමගේ
රියාද් නගරය

බිඳුනු පොට්ටු - මහේෂ් මුණසිංහ

බිඳුනු පොට්ටු

"සහන කඳවුරු වල මාපියන් දෙදෙනාම අහිමි දරුවන් දහස් ගණනකි."
-පුවතක්

රතුම රතු පොට්ටුවකි
හැම උදෑසන ම
නොවැරැද්දූ
නුඹේ සුළැඟිලි තුඩින්
අපි දෙන්නගෙ ම
ඇහි දෙබැමි මැදින්

මුලින් අම්මා තියාගෙන
ඉන්පස්සෙ
මගේ නළලත ඉස්සූ
මතකයි ද රණ්ඩුව
අම්මා තාන් මුදලාවදු
නාන් තාන් රෙන්ඩාවදු ෆෆ

හයියෙන් හුරතල් කර
හයියෙන් හිනා වී
මහ ?ම
බංකරෙන් පිටත් වුන අප්පා
නේන බව දැන දැනත්
පොට්ටුව පුරෝගත්
සංසුන් මූණ
නුඹ මගෙන් යන විටත් තිබුනා
මං බලන් ඉඳිද්දි ම
ඒ පොට්ටුවෙන් විද්ද
රතු ලෙයින්
අම්මා ගෙ සුදු මූණ පෙඟුනා

අඬන්න ට
විතරක් ම
දැන උන්නු මම
නුඹේ ඇඟ
බදාගෙන
වැළපුනා
වැළපුනා
වැළපුනා
.............
.............

නම් ලකුණු නොකරන
ගස් යට ඉස්කෝලය
දැං පුරුදුයි තමයි
වෙනසක් නෑ
බංකර් නැතුවා විතරයි
වෙඩි පුපුරන සද්දෙට
ගැහුනටත් හයියෙන්
පපුවම ගැහෙයි
නුඹ මතක් වී
නොදැනී ම
ඇහෙන් කඳුළුත් පනී

පොට්ටුව ගැන අහන්නෙපා
අම්මාට නැති පොට්ටුව
මම ආයෙත් තියන්නෑ
අම්මා අප්පා ගැන
උගන්නන්නෙපා
මට විතරක් නෙමෙයි
අපි කාටත් වාවන්නෑ


මහේෂ් මුණසිංහ
2009 07

**දෙමළ පද වල සිංහල තේරුම:
අම්මා තමයි පළවෙනියා
මම තමයි දෙවැනියා

Wednesday, July 8, 2009

අවසර දෙනවද හෙට දවසේ - සුධර්මා වීරක්කොඩි

අවසර දෙනවද හෙට දවසේ

ලන්ඩන් අහසේ සඳ පායන විට
ඉරත් හැරෙනවා තනිය මකන්නට
අඳුර වැටෙන තුරු බලා සිටින විට
හෙටට එළි වෙලා කාටත් නොදැනිම

වැතිරෙන විට මා පුතු ළඟ සයනේ
දුවගෙ සිනා හඬ සවනත දැවටේ
හිමියන් වෙහෙසී ගෙට ගොඩ වෙන තුරු
උණුසුම් සිතුවිළි හද තුළ තනි වේ

තනිකම අතුරින් දරු දුක මතු වී
අප්පච්චීගේ සුවඳ දැනේ
කිරි කළ හතකට ණයක් ගෙවන්නට
අම්මා ඉදිකඩ හිඳිනු පෙනේ

බොරළු පාර ළඟ සෙනේලතාවට
පෙම් කළ ගිරවුන් නාද ඇසේ
ගමරට එන මට අවසර දෙනවද
දෙපා වඳින්නට මවුනි නුඹේ...

සුධර්මා වීරක්කොඩි

ලන්ඩන්

නිදහස - නිහාල් රූපසිංහ

නිදහස

සිහින් සුදු උස
කඩා හැලෙන රන්වන් කෙස් රොදැති
උසස් පාසල හමාරව
ගෙදර යන අතර මග
තරුනයා අතවු උණු බැදි අල තිරු ගොටෙුචන්
පසුපසින් එන ලිහිණි රැලට
එකක් විසිකරමින්ද
එකක් සිය ්හිතවතියගෙ මුවගලමින්ද
පාවෙන මල් පිය්ලිසේ
පියවර තබමින්
ගිමිහාන රශ්මියෙන් මුවා විමට
තුරු සෙවනක් කරා යේ
හාත්පස එලියවු එමනරමීඋයනේ
වැඩුනු ගහකට පිටදී දෙපාදිගුුකර ඉඳගත්
මානවිකාවගේ මුදුකුල මත
හිස තබා උඩුබැලිව දිගාවු
තරුණයාගේ නලල් තලය මතට
සෙමින් හාදුවක් පතිත කරමින් යමක් මුමුණයි
ඇය නිල්මිණි නෙත් යුග්මයේ කාන්තිය
අඩවන් වු නෙත පියනින් මුවා විය
සුකොමල වතේ ඇඳි කෝමල රෙඛා
රන්වන් අක්බඹරු කෙස් රොදින් මුවාවිය
ඔහු අත රැඳි අල ගොටුව ගිලිහින
අසල ගැවසී උන් ලිහිනි කැල
වහා ඩැහැගෙන ඈතට ගෙන ගියේ
රන්ඩුකරමින්

නිහාල් රූපසිංහ
පෙබ 09

Monday, July 6, 2009

නිම් නැති තුන්යම - (විචාරය - ගාමිණී වේරගම)


බුද්ධදාස ගලප්පත්ති කවියා ගේ නවතම කාව්‍ය සංග‍්‍රහය වන නිම් නැති තුන්යම සඳහා ප‍්‍රධාන තේමාව ලෙස ගෙන ඇත්තේ පෙ‍්‍ර්මය හා විරහව යි. නිශ්චලයි රාති‍්‍රය, තුරුලිය අකුරු විය වැනි කාව්‍ය සංග‍්‍රහයන්හි ද මේ තේමාව ගැබ් වුවත් එය මුඛ්‍ය තේමාව ලෙස ඉස්මතු වූයේ නැත. නිම් නැති තුන්යම කාව්‍ය සංග‍්‍රහයේ වෙනත් තේමාවන් මත ගොඩනැඟෙන සංකල්පනා තිබුණත් ඒ අල්පයකි. නිම් නැති තුන්යම යන නාමය ද වඩා උචිත වන්නේ මේ තේමාවට යි.


මේ පද්‍ය සංකල්පනාවන් කවියා ගේ අධ්‍යාත්මයේ ම පැතිකඩක් වන්නේ ද යන පැනය නැඟෙන පමණට ඔහු මේ තේමාව ඉමහත් අභිරුචියෙන් විෂය කරගනී. එහෙත් මේ කවි හුදෙක් කවියකු ගේ චරිතාපදානයක හැඩතල ප‍්‍රකට කරන බවක් සටහන් කරන්නට ඉක්මන් නො වෙමි. මන්ද, කවියා මේ අප වෙත ගෙන එන්නේ ඕනෑ ම පුද්ගලයකු ගේ ජීවිතය පසුපස තිබෙන්නා වූ සත්‍යයෙන් බිඳක් බැව් පසක් වන හෙයිනි.


කවියාට විෂය වන්නේ අහිමි වූ පෙ‍්‍ර්මය ම නොවේ. පෙ‍්‍ර්මයේ ආහ්ලාදය ද ගැහැනිය ගේ සොඳුරු කුරිරුකම ද මෙන් ම වෙන් ව යෑමේ ශෝකය ද මේ කවි සඳහා නිමිති වෙයි. මේ කවි එකිනෙක යා කරන හුය බවට පත්වන්නේ මේ අත්දැකීම් අනුසාරයෙන් ඉස්මතු වන, ජීවිතය හා බැඳි සනාතන ධර්මතා යි. ජීවිතය පිළිබඳ කිසියම් කාංසා සහගත සිතිවිලි ධාරාවක් ද ඒ හා ගොඩනැඟෙයි. මහත්වූ ආසාවෙන් ඇස් දල්වාගෙන අප දිව යන්නේ කවර නම් වූ මිරිඟුවක් පසුපස ද? ජීවිතය දෝතින් බදා අල්ලාගන්නට තරම් වූ ආස්වාදයකින් පෙ‍්‍ර්මය පසුපස හඹායන මිනිසුන් අවසන ජීවිතය පිළිබඳ සැබෑවට මුහුණ දිය යුතුය.


ස්ථිර වූ කිසිවක් මෙලොව පවතින්නේ ද? මේ කවි ඇසුරින් කවියා නඟන එක් පැනයක් වනුයේ එය යි. පෙ‍්‍ර්මයේ ආස්වාදය හුදු තාවකාලික වින්දනයක්ම නොවන්නේ ද? එහෙත් ඉන් හිමිවන වේදනාව මුළුමහත් ජීවිතය පුරා ම සෙවණැල්ලක් සේ අත්නොහැර පසුපස හඹා එයි. කවියා මේ ධර්මතාවන් විනිවිදින්නේ හුදෙක් ශෝකාකූල වූ මනසකින් නො වේ. එහෙත් ඔහු භාවිත කරන කාව්‍ය ආකෘතීන්, බස් වහර හා උපමා රූපක අප හද තුළ සියුම් ශෝකයක් ජනිත කරයි. ආශාවන් කෙතරම් අර්ථශූන්‍ය ද? නිරාමිස ප‍්‍රීතිය වඩා උතුම් නොවන්නේ ද?


යටිපෙළ ලෙස මේ සිතිවිලි ධාරාව පැවැතිය ද කවියා ගේ අධ්‍යාත්මය වසා පැතිරෙන ශෝකය මුසු හැඟීම්, අතින් ස්පර්ශ කළ හැකි පමණට සියුම් ය; සංවේදී ය. එහෙත් මේ කවිවල මා දක්නා ගුණය වනුයේ ඒ හුදෙකලා අත්දැකීම් සමුදායක සෘජු ප‍්‍රකාශනයක් බවට පත් නොවීම යි. කවියා ඉතා සූක්ෂ්ම ලෙස මේ අත්දැකීම් සහෘදයා ගේ පොදු අනුභූතියක් බවට පත්කිරීමේ කාර්යයේ නිරත ව සිටින්නේ ය. එහෙයින් මේ කවි අප ගේ සිතිවිලිවල ද හරස්කඩක් බවට පත්වෙයි.


”වම් උරහිස මතින්
ඇතුළු වී
ගලා එන්නෙ ද ඇගෙ සුවඳ
හදවත සිදුරු කරමින්
උණුහුම ද දැනෙන්නේ
ඇගේ වත කමලෙහි
සුන්දර නොවෙද ජීවිතය
එක් මොහොතකට හෝ”

(ලුම්බිනියේ දී)

”විසිතුරු වර්ණයෙන්
සිතුවම් කළා වූ
වෙස්මුහුණු පැළඳගෙන
පටලාගෙන අතිනත
ඇවිද ගියෙමු රිසිලෙස
නව යොවුන් විය පසුකළ
පෙම්වතුන් යුවළක් වී ද
අප දෙදෙන
ඒ මොහොතෙහි”
(වෙස් මුහුණු) මේ පෙ‍්‍ර්මයේ ආහ්ලාදයයි.

එහෙත් මේ පෙ‍්‍ර්මයේ සොඳුරු බව ඇසුරෙහි රැඳිය හැක්කේ ජීවිතයේ නිමේෂයක් පමණි. සැබෑ ලෝකය කවියා ගේ සියුම් හදවත රිදවන පමණට කුරිරුය.

”ලිහී තිබුණ සළු අතරේ
ඈ ඔහු හා ආදරයෙන්
කලවම් වී සිටිය අයුරු
.................
පෝරුව මත
නන්නාඳුනන ඔහු හා

අතැඟිලි බඳිනා හඬ
(බැඳීම)

ජීවිතයේ සැබෑව ඉදිරියේ බැඳීම් සුනුවිසුණු වේ. ඒ සඳහා ගැහැනිය ගේ තෙතමනයක් නොමැති අධ්‍යාත්මය හේතු වූවා වත් ද?

”මුව පොව්වකු ගේ
දෙනෙත් සතු යුවතිය
විසගොර සපුන් විස
හදවතෙහි සඟවන්නී
ගත ඇද වැලඳ සිඹැ සිඹැ
සම්භෝගයෙහි
සුවයද කියාදෙන්නී
විස දළින් විසමැ පොවන්නී
රුදුරු නිය පහරින්
සූරමින් නිරතුරු
ඉරා දමමින් හදවත
ගලනා රතුවන් කඳුළු දෙස බලමින්
ඒ කඳුළු පුසුඹට ම ඉව අල්ලමින්
පිනායන්නී
සිනාසෙන්නී
(සිතුවමක් නොමැති කවිය)

අධ්‍යාත්මය ආදරයෙන් පුරවමින් ද නැවත ඒ ශෝකයෙන් පරිපීඩිත කරමින් ද ජීවිතයට දුක් දෙවන්නී ගැහැනිය යි. එහෙත් ඇය අහිමි වීමේ ශෝකය දරාගත හැක්කක් නො වේ.


තිරය මත මැවෙන නෙක රූ
දෑසට හසුවේ
හදවතෙහි නොරැඳේ
දකිමි පාළු වූ
මගේ වම් උරහිස
(මගේ වම් උරහිස)

මේ විප‍්‍රයෝගය කවියා ගේ සිතෙහි ජනිත කරවන්නේ ක්‍රෝධය හෝ වෛරය නො වේ. ඔහු විරහ වේදනාව සියුම් රසයකින් ආස්වාද කරන බවක් පෙනේ. ඇගේ දරුණු කි‍්‍රයාකලාපයෙන් ඔහු ගේ සිත පෑරේ. එහෙත් මේ වේදනාව ඔහු කවියට නඟන්නේ ඇය පිළිබඳ නිපන් සෙනෙහසින් අංශු මාත‍්‍රයකිනිදු ඉවතට නොයමිනි.

”සොඳුරු අරුත ජීවිතයේ කියා දිදී
අඳුරු සිතට පහනක් වී ළඟින් සිටී
සොඳුරු නුඹ ම කුරිරු ව ඔසවමින් අවි
දරුණු වන්ට කාරණ කිම් දැයි නොදනී”

ඇය ගේ හැසිරීම් ඔහුට අදහා ගත නො හැකි යි. එහෙත් ඒ සඳහා නිසි පිළිතුරක් ලබාගත හැකි වෙ ද?

”ලැව් ගින්නක් ද ඒ
දවාලූයේ අප ලොව
මහද බිතු මත ලියැවුණු
කුරුටු කවි කුරුටු ගී නෙක
ඔබේ උල් නිය පහරින්
සීරී ලේ ගලන්නට වී ද
හිමිකාරිය කෙලෙස
වූවා ද තරහකාරිය”
(තරහකාරී)

වියාගේ සිත මේ තරහකාරිය නිසා බොහෝ දුකට පත් වේ.

”නිසංසලේ මාවතේ පා නැඟූ ඔබ
රුදුරු වූවා ද අද දින
පෙරළා දමන්නට මා
සැඩ රළ එකතු කොට
වේගයෙන් ඇදෙමින් පෙරට”
(අප දෙදෙනා)

මේ සිතිවිලි නිසා ඇය කෙරෙහි වූ සෙනෙහස බිඳ නො වැටේ. ඒ වෙනුවට මේ වියෝගය නිසා තම හද සිදුරු වූ ආකාරය කවියා ඉමහත් සංවේදීතාවකින් යුතු ව කවියට නඟයි. මේ සඳහා ඔහු පැබ්ලෝ නෙරූදා ගේ කවි සංකල්පනාවන් අපූරු ලෙස සිංහලයට නඟයි.

”මම තවත් ඇයට පෙම් නො කරමි
ඇත්තයි
ඒත් සමහර විට
මම ඇයට පෙම් කරමි
ආදරය නම් කෙටියි
ඒත් මතකයෙන් ඈත්වීම
කෙතරම් දිගු ද?
(දුක්බරම කවිය)

ඇය ගේ වියෝගය ඉවසා සිටින්නට ඔහු දරන ප‍්‍රයත්නයෙන් පලක් වේ ද? අතීතයේ සොඳුරු නිමේෂයන් හද තුළට වැදී දුක්දීම කෙසේ නතර කරන්න ද? ඉන් ගැලවීමක් තිබේ ද?

”නිරතුරු ව මුව පිරුණු
සිනා කුසුමින් යුතු ව
සිටින්නට හැකි ය මට
එහෙත් හද තුළ නිබඳ
හඬන මගෙ ඉකිබිඳුම
සඟවන්නෙ කෙලෙස මම”
(මමම වෙමි)

මේ ශෝකය මේ තනිකම දරාගත නො හැකි යි.

”හදේ ගුළි ගැහෙන කළුවර සයුර වැනී
රැයේ දුටු බිතු සිතුවම් නිමක් නැතී
කොහේ හෝ තැනක ඔබ සැරිසරනු වැනී
මගේ කවිය තුළ තනිකම දරනු බැරී”
(ඇගේ කවිය)

මේ නිසා ම මේ විප‍්‍රයෝගය කවියාට අදහාගත නො හැකි යි. එය ඔහු කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නො වේ. සිත සනහාලූ පෙ‍්‍ර්මය ම සිත දවන්නේ කෙසේ දැයි ඔහුට ගැටලුවකි.

”මලක සුවඳ එක්කොට නුඹ මා හදට
සඳක් විලස ආවා නුඹ මා ළඟට
මතුත් සසර අත් නොහැරෙන ලෙස නුඹට
ගතින් සිතින් බැඳුණේ කිම වෙන්වන්ට”
(අවසාන කවිය)

කෙසේ වෙතත් මේ ජීවිතයේ දී යළි හමුවීමක් සිදු නො වේ. ඒ සැබෑව කවියා පිළිගත යුතු ය.

”නාමල් සුවඳ කී බස්
නොඇසුණා සේ
ඉදිරියට ම පා නඟමි
අරමුණක් වෙ ද මේ ගමනෙහි
නාමල් සුවඳ දන්නෙ නෑ
මට ආයෙ එන්න බැරි බව
නාමල් නෙළන්නට
තනිවම....”
(නාමල් සුවඳ)

මේ වේදනාව ම කවියාට ජීවිතයේ අරුත පසක් කරදුන් සේ ය. ලැබිය නො හැකි මිරිඟුවක් පසුපස දිවීමේ කවර නම් අර්ථයක් ද? ජීවිතයට එයට වඩා වැදගත් අරමුණු නොවන්නේ ද? පෙ‍්‍ර්ම පාශයෙන් මිදී ව්‍යාකූල නො වූ මනසින් ජීවිතය අවලෝකනය කළ යුතු යි. කවියා ඒ උදෙසා තම අධ්‍යාත්මය සකසා ගනී.

සගය මම දනිමි
ඇලීම් බැඳීම් ශෝකය උපදනා බව
නො ඇලෙමි නො බැඳෙමි
කිසිදා ළඳක් හා
වෙසෙමි ඔබ සමඟ ම
පෙර පුරුදු විලස ම
ප‍්‍රාණප‍්‍රිය මා සගය...
(කොරා සහ අන්ධයා)

පෙ‍්‍ර්මය, විප‍්‍රයෝගය හා බැඳීම්වලින් විනිර්මුක්ත වීමේ සුවය කවියා තම මුඛ්‍ය තේමාව මඟින් අපූරුවට විවරණය කරන ස්වරූපය මේ නිදසුන්වලින් මනා ව පැහැදිලි වේ. කිසියම් වෘත්තාන්ත ස්වරූපයක් මේ අත්දැකීම ඇසුරින් මතුකරගන්නට ඔහු සමත් ව සිටී. කවියා ගේ අධ්‍යාත්මය පිළිබඳ හුදු ආත්මගත ප‍්‍රකාශයක් සේ දිස්වන අත්දැකීමක් ජීවිතය පිළිබඳ හරස්කඩක් බවට පත්කිරීමේ දී මේ උපක‍්‍රමය ද ඔහුට පිටිවහලක් වේ.

මේ වෘත්තාන්තය ගොඩනැඟීමේ දී ඔහු එකිනෙකට වෙනස් කාව්‍ය ආකෘතීන් භාවිත කරයි. ජනවහරේත් සම්භාව්‍ය කවි වහරේත් ආභාසය රැගත් අරුත්බර කාව්‍යෝචිත බස් වහරක පිහිටයි. ජීවිතය හා බැඳෙන අපූරු උපමාරූපකවල ඇසුර ලබයි. මේ තේමාව ප‍්‍රාණවත් අත්දැකීමක් බවට පත්කරලීමට මේ නිර්මාණ උපක‍්‍රම පාදමක් බවට පත් වේ. කවියා ගේ පෙර කාව්‍ය සංග‍්‍රහ සමඟ සසඳන විට ඔහු ජීවිතයෙන් ලත් පන්නරය ද මේ කවිවලින් ප‍්‍රකට වෙයි. හුදු පෙ‍්‍ර්ම විප‍්‍රයෝගය ඉක්මවා යන සනාතන ධර්මතාවන් මතුකර ගනිමින් රසිකයා තුළ සියුම් ජීවිතාවබෝධයක් දනවන්නට ඔහුට හැකිවන්නේ ඒ නිසා ය.

ඔහු ජීවිතය පිළිබඳ කාංසා සහගත සිතිවිලි ජනනය කරන අතර ම, ජීවිතයේ සැබෑ අරුත ද එක් සේ හසුකර ගනී. බුද්ධි ගේ කවිවල කවදත් දැකිය හැකි සුවිශේෂී ගුණය එය යි. නිම් නැති තුන්යම කාව්‍ය සංග‍්‍රහයේ පෙ‍්‍ර්මය හා විරහ ව තේමාවෙන් පරිබාහිර කාව්‍ය සංකල්පනා කිහිපයක්ද දැක්ක හැකි යි. ඒ අතුරින් වඩා ව්‍යක්ත නිර්මාණය ප්‍රේමක්කා යි. හැඩි දැඩි ගතකින් යුත්, තම පරිසරයේ සියලු දෙනා අණසකට යටත් කරගත් මරුමුස් ගැහැනියක ගේ සංවේදී අභ්‍යන්තරය කවියා අප හමුවේ ඉතා අපූරුවට චිත‍්‍රණය කරයි. මත්පැනට මෙන් ම දුම්වැටියට ද හුරු වුණ ඇය වෙසඟනක් නො වේ. ළදැඩි බව මතුපිට ස්වරූපය වුව ද ජීවිතය ඉල්ලා කෙඳිරිලි නඟන සංවේදී සිතක් ඇය සතුයි.

”ගෙවල් පේළියේ කෙළවර
ඇගේ මාලිගාවට ගොස්
ලිහිල්කොට ඇගේ සළු පිළි
ගිලී කල්පනා සයුරේ
යහන්ගත සුවය අහිමි ද ඈ හට
තනි යහනේ
පෙ‍්‍ර්මක්කා...”
(පෙ‍්‍ර්මක්කා)

කවියා භාවිත කරන වදන් මටසිලිටි නො වේ. ඒ වීදියේ වහරින් උකහාගත් ඒවායි. අඩෝ සිරා.. මම තොට කියන් නෑ.. මිරිකන්න ඕන තැන... පෙ‍්‍ර්මක්කාගේ රූපය සිතුවම් කරන මේ වදන් බෟවිත්‍යගුණයෙන් යුතු ය. ඕජෝ ගුණයෙන් පිරිපුන් ය. අවසානයේ පෙ‍්‍ර්මක්කා පිළිබඳ දයානුකම්පාව අප තුළ ජනිත වන්නේ ද මේ වචන සංඝටනාවෙන් මතුවන තෙවැනි අරුත් නිසා ය.

නවීන ළමා කවිය අපූර්ව අත්දැකීමක් නො වේ. එහෙත් ඉදිරිපත් කරන විලාසය විසින් ළගන්නා සුලු ය. ළමා සිතිවිලි ද වර්තමානයේ වෙනස් වී ඇතිවන සේ ය. සිඟන්නී කව්පෙළ ද ජීවිතයේ අනිත්‍ය බව දක්වන්නකි. එහෙත් ප‍්‍රකාශනයෙන් සෘජු ය. හද සසල කරන අත්දැකීමක් බවට පත් නො වේ. ශාපවේවා කවිපෙළ සිත් කම්පා කරවන පුවතක් විෂය කරගත්තකි. ගල් වළකින් ආ ගලක් වැදී මියගිය දැරියක පිළිබඳ අත්දැකීම සමාජ අසාධාරණයේ ම පැතිකඩකි.

එහෙත් මේ කාව්‍ය සංකල්පනාව යටපත් කරමින් කවියා ගේ කෝපය ඉස්මතු වේ. ඔහු භාවිත කරන වදන් ද ගැළපෙන්නේ මේ ආවේගයට යි. කවියා ගේ කෝපය සාධාරණ ය. එහෙත් එය සෘජු ව ප‍්‍රකාශයට පත්වීම නිසා දැරිය පිළිබඳ ඛේදය යටපත් ව ගිය සේ ය. ඒ වෙනුවට මෙයට වගකිව යුතු පුද්ගලයන් කෙරේ තර්ජනාංගුලිය එසැවීම කවියා ගේ අභිප‍්‍රාය වූ බව පෙනේ.

”තෙපි හැමෝ ම නිදි වැදී සිටියද
නීතියේ ඇස් වසා
ගල් කොරියෙ හිමිකාරියට
නගරයේ මහ මැඳුරක
සතුටු සාද පවත්වන්නට ඉඩ දී
.................
බිලිගන්න මේ ගල් කොරිය ම
සඟවන්න මේ ජඩ නඩය ම
නායයන කඳු වළල්ලක් මැද”
(ශාපවේවා)

වඩා සංවේදී වදන් මාලාවකින් මේ ඛේදය හද සසල කරවන ස්වරූපයෙන් ගොඩනඟන්නට තිබූ අවකාශ කවියා මඟ හරී. ඒ වෙනුවට සමාජ අසාධාරණය සෘජු ව ප‍්‍රකාශ කරන්නට යෑමෙන් ප‍්‍රස්තුත තේමාවත්, අපේක්ෂිත භාව උත්පාදනයත් යටපත්ව යෙයි.

යළි නොපායන්නෙ ද හිරු කවි පංතියට විෂය වන්නේ ද වර්තමාන සමාජයේ කතාව යි. එහෙත් එහි දී උපයුක්ත බස විසින් අත්දැකීම වඩා ශක්තිමත් කරනු ලැබේ. පෙර අනුරාධපුර අහස්තලය වැසුණේ රහතුන් ගේ සෙවණැල්ලෙනි. එහෙත් අද හිරු රශ්මිය වැසෙන්නේ නිරතුරු ව ගුවනේ සරන යානාවලිනි. රහතුන් ගේ ධර්මය වෙනුවට අද පතිත වන්නේ බෝම්බ ය. භාවිත උපමා රූපක විසින් ද අත්දැකීම සාර්ථක නිර්මාණයක් බවට පත් කැරේ.

සමාජ ප‍්‍රපංචයන් පිළිබඳව කවියා ගේ තියුණු ඇසත් දැක්මත් වඩා මුහුකුරා යන අවස්ථාවක් ලෙස මොන්ටාජ් කවිය හැඳින්විය හැකි ය. එක් පසෙක දුක් අඳෝනා ය. මළමිණී ය. ඒ මැද කොතෙකුත් රංගන රග දැක්වේ.

”වෙදැදුරු අමරසේකර කිවිපතිකමින්
ඉහළට
අගමැතිකමට වුව සුදුසු යයි පවසනු
ඇසේ
කිවියර පරාක‍්‍රම
රුවන්පුරයේ සිට
ජනපති ද අගමැති ද නෙක මැති
ඇමැතිවරු
හඬා වැළපෙති පළ කරති සොව
.........................
සකලක බේබි බක බක ගාවි
ගෞතම්හට හෙට දින කුමක්
සිදුවන්නෙද”

(මොන්ටාජ් කවිය)

මේ සියල්ල අතරතුර ජීවිතය ඉල්ලා යදින්නන් ගේ හඬ නෑසූ කන් ව යෙයි. කවියා අප ගේ නෙත සිත යොමු කරන්නේ ඒ වෙතයි.

”බියෙන් හා සංකාවෙන්
ගෙවනා මේ ජීවිතයට
ජීවිතය යැයි කියනු කෙලෙසක

(මොන්ටාජ් කවිය)

මොහොතක වේදනාවෙන් හදගැස්ම නවතාලන ආකාරයේ සියුම් සංවේදීතාවක් මේ කවිපෙළෙන් මතුකරන්නට කවියා සමත්වෙයි. කවියා ඉස්මතු නො වී සැබෑව ඉස්මතු කරන හෙයින් මේ කවිපෙළ සාර්ථක අත්දැකීමක් බවට පත්වෙයි.

නිම් නැති තුන්යම කාව්‍ය සංග‍්‍රහය තේමා දෙකකින් යුක්ත ය. පෙ‍්‍ර්මයේ විරහව හා බැඳෙන තේමාව වෘත්තාන්ත ස්වරූපයෙන් ඉදිරිපත් වන අතර කවියා වඩා සාර්ථක වන්නේ මේ පුද්ගල අධ්‍යාත්ම විවරණයේ දී ය.

මේ තේමාවේ බොහෝ කවි අප හදවත සියුම් වේදනාවකින් ද අපූරු රසයකින් ද පුරවාලන්නට සමත් වෙයි. සමාජය පිළිබඳ තේමාවේ දී කවියා සාර්ථක මෙන්ම අසාර්ථක වන අවස්ථා ද දැක්ක හැකියි. සෘජු ව ආවේගය පළකරන අවස්ථාවල ඔහු අසාර්ථක යි. එහෙත් ඔහු සතු මානව දයාව මුසු පුළුල් ජීවන දැක්ම ඒ කවිවල ද අන්තර්ගත යි.

බුද්ධි තම කාව්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයේ පශ්චිම භාගයට පැමිණ ඇති බවක් මේ කාව්‍ය සංග‍්‍රහයෙන් හෙළි වෙයි. ඉදිරියේ දී වඩ වඩාත් ඇතුළු හදට නැඹුරු වූ කවියකු ගේ කව් සිතිවිලි ආස්වාදනයට රසිකයාට අවකාශ සැලැසිය හැකි බැව් ඉන් ගම්‍යමාන වන අර්ථය යි.

Thursday, June 25, 2009

අයියනායක - විමලරත්න කුමාරගම


අයියනායක


සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොනේ
කාලය විිසින් හෑරුව නුග ගසක බෙනේ
මළ කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

බුද ගුරු සනි හිරුට හිමි හැම දවස් වල
මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැුස් වෙති ගම ගෙවල් වල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳ රැුස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොලයෙන් තමා ලෝකයෙ සුවය වැනැසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
යන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුළු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත් වී අං මදින තැන
වැව් වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

මාපිල් පිඹුරු නා පොළඟුන් සිටින තැන
අලි කොටි වලස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදුන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවි තුමනි දිව ? රකිනු මැන


විමලරත්න කුමාරගම

Wednesday, June 24, 2009

පියවරුන්ගේ දිනය - තුසිත් රවීන්ද්‍ර‍්‍ර අබේනායක


පියවරුන්ගේ දිනය


කළුවර පහව යන
උදෑසනකට ඇස් ඇර
තාත්තේ කියා කීවද
මා, මා නෙතු නොඇරි
උදෑසන තාම මතකද?

සිසිරය ගලා එන
සීත රැයක අවදිව
තුරුළු වුණු සෙනෙහස
තාත්තාගේ උණුහුම
තාමත් නුඹට මතකද?

කතාන්දර වල එන
බියකරු චරිත පණ ගෙන
බිය ගෙනෙන සිහින වල මැදියම
තාත්තේ කියා ගෙන නැගිටින
ළමා විය තාම මතකද?

මේ සොහොන
පාළුවෙන් තෙතබරිතය.
ඒ රාත‍්‍රිය සේම බියකරුය
නුඹලගෙ සිනා හඬ නෑසේය

පියවරුන්ගේ දිනයට
කොහේ හෝ ඉඳ අවුදින්
දන හොවා දිදුුල ඉටිපන්දම
තවත් වසරකට සෑහේය.


තුසිත් රවීන්ද්‍ර‍්‍ර අබේනායක

කළණ මිතුරු ගස්වැල් - නිහාල් රූපසිංහ

කළණ මිතුරු ගස්වැල්

ගස් වැල්
මල් ඵල
හට ගන්වයි
නොපතා
ප්‍රති උපකාර

වාසියක් නැතිව
මල ගෙයි ද නොයන
මෙකල
සීමා වේද යහගුණ
ගහට වැලට

නිහාල් රූපසිංහ

Monday, June 22, 2009

...හෙට - මහේෂ් මුණසිංහ

...හෙට


මහ පොලොව මත
සක‍්‍රීයම මිනිසුන්ටත්
නිහඬ වීමට සිද්ධවුන
මේ තද අඳුර
ගුප්තය
රහසින් සිද්ධවෙන දෑ
බිහිසුණුය

කෑලි කපන
ඔය අඳුරට
ඔය පොලොවෙහි ම
පොකුරු ගනනින් බිලිවුන
ඉතිහාසයක්
මටද ඇත

උරුමක්කාරකම් කිව්ව
පුංචි පැල
මහ ගස් හා
අවශේෂ තණ පඳුරු ද
මෙවර
බිලිගත් ඉක්මන

වසා ඉර හඳ
ඝන කළුවර
යටි වියන යට
ඝාතකයින් ගෙ
ගිනි කන වැටුනු එළියට
රැුවටුනු මිනිසුන් ය
පාරවල් වල පී‍්‍රති වෙන
ඇඟ නටවන

එළි
නිවන නොනිවන එක
උන්ටය
තිත්ත කළුවර හැමදාමත්
පොලොව මත දඟලන
අපටය

ශුන්‍යත්වයේ ගිලී
නොසන්සුන් ව
එහෙ මෙහෙ ඇවිදින
සංවේදී මිනිසෙක්
ඇත්නම්
ඇවිත් හෙට
පහනක් දල්වන්න

ඔය අඳුර
උතුරටත් දකුණටත්
දෙකටමය


මහේෂ් මුණසිංහ
06 2009

Saturday, June 20, 2009

Death - Mathu Liyanage

Death


Life is not sweet though full of pain and rapture
It’s the sweetest minus suffering and pleasure,
You will not hear birds singing and leaves falling
Nor see blossomed flowers and bees humming
You don’t see changing seasons and fading flowers
As you become enwrapped by darkness.

You have left an impermanent world
Where there is nothing permanent and solid.

Death brings peace you longed for
And eternal peace you cried for.


Mathu Liyanage
(South Australia)

Friday, June 19, 2009

යළි උපදිමි - කූඹියා

ඉතිං කිවිඳුනි, - කේ නයනා එල් පෙරේරා

ඉතිං කිවිඳුනි,

”නව පරපුරක කවියක්
ගෙන කියවමි පදයක්
නොමැත එහි අරුතක්”
කිවිඳුනෙ
ඇයිද මේ හැටි දොසක්?

එකින් එක පද ඇමුණුවත්
රසක් නැතිලූ කව් පෙලෙත්
මදක් සැලූනොත් ඔඛේ හදත්
අපට කෝ නව මාවතක්

පතූරුවා කරුණා ගූණත්
කියාදෙනු නම් තවතවත්
පියෙක් වෙයි නම් තවත්
දුරක් යා හැකිය අපටත්

වෙනු හැකිද අත්වැලක්
පෙන්වනා නිසි මාවතක්
කූමට වෙනු තව පමාවක්
ඉතිං කිවිඳුනි,
පුදමි හද පිපි මල් මිටක්!


කේ නයනා එල් පෙරේරා
ගැබරෝන් බොට්ස්වානා

Thursday, June 18, 2009

A Song for Tea - Mallika

A song for tea

From dawn to dusk the tender leaves
I pluck, pluck and pluck
As I toil, my sweat drop
To earn that mighty buck
My memory runs like a thunder strike
On a dark and rainy day
Nothing has changed in our lives so far
It’s just like yesterday
How we were brought for cheap labour
By the whites from far away
They sell our sweat in various blends
And make the whole world pay
“Any time is tea time” they say
When they drink the best
We drink the dust and work all day
Without nourishment and rest
I slog and slave just to live
And feed the mouths at home
But I earn much more as foreign exchange
That keeps the country warm
I am called a coolie! With no respect!
For the work I do with pain
With an iron will I sing aloud
That my labour won’t be in vain
If, I am called a worker
Of dignity, fame and skill
A human being, and a woman at that
As with pride I stand still
From dawn to dusk the tender leaves
I pluck, pluck and pluck
As I toil, my sweat I drop
To earn that mighty buck

Mallika
-berlin-

ආරාධනය - වරුණ සාවින්ද

ආරාධනය

කාටවත් නොදැනෙන්න
නොහැෙඟන්න
මෙහි එන්න
කොහේ කොතැනක ගියත්
ආපසු හැරී එන්න
ඇවිත් යන්නට හරි එන්න
සඳ වතුර ගලා එන
මිටියාවතේ
හරිත නිල්ලේ පෙෙඟන
රාති‍්‍රය
මල් පියලි මුදු රේණු
තුරු හිසින් රැගෙන විත්
සීරුවට බිම තබන
සුළග
විසල් තුරු පත් අගින්
අතු රිකිල්ලක හිඩසකින්
මහා කරුණාවකින්
බිම බලන
සක්වල
පාවහන් ගලවා තබා
පිණි පලස මැදින්
පරඩලා පත් මතින්
මෙහි එන්න
ඇවිත් මේ
ගග දියට එබිගෙන
අනන්තය පා මුලින්
මොහොතකට
මා ළඟින් හිඳගන්න
එච්චරයි

වරුණ සාවින්ද

Monday, June 15, 2009

ගුරු ගීතයක් - ඉසුරු ප‍්‍රසංග

ගුරු ගීතයක්

මතකය නුඹේ පැටිවිය
තුටුවීමි අපමණ
දෙපෙති ලා හිනැහුණු’යුරු දැක

සුරැකීමි දත් ලෙස
මගේ කුදු ගත
මහා සෙවණක් සේ
හැකි ලෙසින් අව්රා නුඹ වට

දුටිමි පොප්ලර් තුරු සේ
බෝ උස්ව බෝ උස්ව
ඇදෙන වග නුඹ
මට ළඟා වනු බැරි අහසට

කාලය ද වියැකී
වැඩෙන විට අප’තර මහ දුර
හද රිදුම් අතුරෙන්
දුටුවෙමි ලෝ සැටිය මේ වග

අඟුටුමිටි ගසකි මම
අද නුඹේ පය පාමුල
සෙවණ දෙනු කෙලෙසද
පෙර සේම සඟවා පපුතුර

නැවතී හිඳිමි
බලා නිහඬව දුරු ගගනත
තණ පඳුරු අතරෙහි
යළි ඒ ද නුඹ මා සෙව්මට

කඳු වළල්ලෙන් පිට
දක්නෙමි විසල් ලොවක් ඇති වග
නුඹ පතා මඟ බලන

යන්න යන්න නුඹ
යා යුතුම වේ හෙට
පසු නොබා ගිරිහිස් ජයගෙන

කඩ කඩ හදන සෙල්ලම් - ඊ ඒ ඩෝසන් ප‍්‍රීති


කඩ කඩ හදන සෙල්ලම්


දාර්ශණිකයෝ මවෙත ඒ
අක්ෂර වදන් වැකි දරා අත
කඩ කඩ හදන සෙල්ලම
එක එක ප‍්‍රවාද මවමින්
අදහස් චින්තාවලි
කඩ කඩ හදන සෙල්ලම්

අක්ෂර වදන් වැකි
අරුමෝසම් ලෙස අතුරා
කවියක් තනන කවියෙක්
කඩ කඩ හදන සෙල්ලම්
හදමින් කඩමින් සෙල්ලම්


වාස්තු සතර දත්තෙක්
ගල් ගෙඩි ගඩොලු නෙක හැඩ
එකිනෙක මතින් තබමින්
කඩ කඩ හදන සෙල්ලම්
නෙක නෙක දනන්
නෙත සිත සනසන
වාස්තු රත්න මවන සෙල්ලම්


අතීතයෙ එක මොහොතක
ප‍්‍රාණය ලද හඩකට ලැබි
අරුතක් විනිසන්නට
කාලයෙන් ඔබ්බට ඇදෙන
කඩ කඩ හදන සෙල්ලම්


කිසිදා නිම නොවන
කඩ කඩ හදන සෙල්ලම්


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

Sunday, June 14, 2009

බවුන් වඩන ම මිතුරාට - උපුල් සේනාධිරිගේ

බවුන් වඩන ම මිතුරාට

උදුළ සඳ කෙඳි රැහැන් රොද බැඳ
වපුළ තුරු හිස් අතු දෙපස ඇද
බිම අතුළ සළ පතළ මළු මත
පුලින කැට දිලි රුවන් විලසින

මහලු සල්ගස පාමුලක හිඳ
සඳෙහි සිහිලස විඳින එක ලෙස
අතුල සල් මල් බුමුතුරුණු අස
සොයනු මෙන ඔහු දිවිය සන්තුස

අහස් කුස ගෙන සරන ඔහු ඇස
සඳෙහි බිම්බය දකිමු රිසි ලෙස
වජ‍්‍ර මාලා පැලැඳ කොත් හිස
ඔහුට පිළිසරණක් ය බුදු ඇස

ඔරායන්ගේ රුව අහස් කුස
දිසේ ඉඳහිට තරු මඩුළු අස
ක්ෂීර පථයක ගිලිහ තරු ඇස
දැවී අළු වනු දුටී ඔහු ඇස

නිබඳ දඩයම් සොයන රුදු ඇස
ගොදුරු ලොබ බැඳ දුවන එක ලෙස
කිත් යසස් විමසමින් ඒ ඇස
විමසීය රන් මඟක් ලෝ කුස

ගිනි ගැනුණු රන් කිහිරිවන් ඇස
පෙති තැළුණු උත්පලා විය ඇස
යුගදුරක නිති දැවෙන මේ ඇස
නිවන ඔසුවක් සොයයි ඔහු ඇස

මැදින් විය වන පස අරම හිඳ
දුකින් දුක සැපයක් ම ලෙස විඳ
ඉඳින් සල්මල් සුවඳ විඳ විඳ
නුඹට යහපත පතමි සකිසඳ

උපුල් සේනාධිරිගේ

Saturday, June 13, 2009

කවි බිඳු -ලක්ශාන්ත අතුකෝරල

කවි බිඳු

කහ පැහැ හිරුගේ කැබලි ද
මේ
ඇසල ගස් යට

අවර්ණ ජලය
නිල් පෑ ගන්නෙ විල තුළ
දිය වීමෙන්ද මහනෙල්

උණ කොළ අස්සේ
සුළඟින් සෙලවෙන
පොල්කිච්චෙක්

බුම්මාගත් වදුළු අතර
කිරි දත් පෙන්නා සිනාසෙන
පිච්ච මල්

වී කරලුත් නැමෙන්නේ
පන්සල දෙසටමයි

සුළඟ බල කරන නිසා
වරින් වර
ගඟ සිපගනියි
උණ අතු

-ලක්ශාන්ත අතුකෝරල-

Poems of Kamala Das
















The Rain


We left that old ungainly house
When my dog died there, after
The burial, after the rose
Flowered twice, pulling it by its
Roots and carting it with our books,
Clothes and chairs in a hurry.
We live in a new house now,
And, the roofs do not leak, but, when
It rains here, I see the rain drench
That empty house, I hear it fall
Where my puppy now lies,
Alone..
(From Only The Soul Knows How To Sing)


Love


Until I found you,
I wrote verse, drew pictures,
And, went out with friends
For walks…
Now that I love you,
Curled like an old mongrel
My life lies, content,
In you….
(From Summer in Calcutta)


Winter


It smelt of new rains and of tender
Shoots of plants- and its warmth was the warmth
Of earth groping for roots… even my
Soul, I thought, must send its roots somewhere
And, I loved his body without shame,
On winter evenings as cold winds
Chuckled against the white window-panes.
(From Summer in Calcutta)


Kamala Das

Thursday, June 11, 2009

මක් නිසාද යත් (පි.64) -සේකර-

හැම තැන ම මම සෙව්වෙමි
සුන්දරත්වය කොතැන වේදැයි

ජෝර්ජ් කීට් ගෑ සායම ඇතුළත
අමරදේව ගෑ ගීයක
තිස්සගෙ සිව ප්‍රතිමාවක
අවුකන අනුරාපුර නටඹුන් මැද

අහස් පැහැය උකුව මැවුණ
ඈත නීල කඳු වැටි මත
පාට පාට සැඳෑ වළා කැළුම් අතර
දුන්හිඳ දියලුම ඇලි තුළ
අන්තිමේ දී මට හමු විය
මිනිසාගේ හද තුළ එය

කෙතරම් දැඩි හදක් වුව ද
යම් දවසක
දයාදියෙන් ආර්ද්‍ර වී
කඳුළු සලන මොහොතක් ගැන

විදුරු මිණක සේ බබළන
ඒ හදවත
ඒ මොහොතෙහි අත්ලට ගෙන
බලනු මැනව
මේ මිහිපිට කිසිම දෙයක්
ඒ තරමට සුන්දර නැත..

-සේකර-

Tuesday, June 9, 2009

උත්තර සමාජයක් -සේකර

උත්තර සමාජයක් ගොඩ නැගීමේ මුල් පියවර
කෑමෙන්
බීමෙන්
ඇඳුමෙන්
පැළැඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීම ය.

-සේකර-

අරවින්ද නම් ඔහු.. - රංජිත් ගමගේ

අරවින්ද නම් ඔහු..

බතී.. මෙහෙ එන්න
බලන්න
පිටගම්කාරයෝ ඇවිත්
මහ ගෙදර
අද..
කෝ, කොහිද?
අරවින්ද...
ඔබ
කියා දුන්
’ඉංග්මාර්’
කන්තෝරු කාමරේ
මේසෙ උඩ තාම
සොයමි මම...
කොහිද? අරවින්ද,
ඔබ..
’නියතයකි.. ’
’නිමිත්තකි.. ’
ඔබ...
කියවා අවසන් නොකල
පොතකින් ගිලිහුන
සොඳුරු කවියකි..

රංජිත් ගමගේ
රියාද් නගරය

හලෝ.... හලෝ... - හිරිකුළුවේ, මියුලා ආරියවතී

හලෝ.... හලෝ... - හිරිකුළුවේ, මියුලා ආරියවතී

පෙර වදන:
එම කවිය මෙවර සන්නස කවි පිටුවේ පළ වූවකි. එහි ඇති විශේෂත්වය නිසාම මෙලෙස උපුටා එවන්නට සිතුවෙමි. මෙය කුමන කවි යුගයකට අයත් කවියක් දැයි කියවන විටදිම ඔබට සිහි ගැන්වෙනු ඇත. එමෙන්ම අර්ථ රසයත්, හාස්‍යයත් මනාවට කැටිකොට යම් සංවාදයක යෙදෙයි. එපමණක් නොව එය එතරම්ම රැුඩිකල් ස්වරූපයකින් ලියා ඇත්තේ වෙන කිසිවකු නොව කොළඹ යුගයේ ප‍්‍රකට කවියකු වන හිරිකුළුවේ සුසිල් පේ‍්‍රමසිරි නම් කිවිඳුගේ බිරිඳ මෙන්ම රෝහණ ධර්මකීර්ති නම් ප‍්‍රකට සංගීතඥයාගේ මැණියන් ය. තවත් දිගු කාලයක් මෙලෙස නිර්මාණකරණයේ යෙදෙන්නට ප‍්‍රාර්ථනා කරන අතර ඇගේ අනෙක් නිර්මාණ ද ගෙන්වා ගැනීමට හැකි වේ යැයි සිතමි.

-තුෂාරි-

හලෝ.... හලෝ... - හිරිකුළුවේ, මියුලා ආරියවතී


Monday, June 8, 2009

ගුරු ගීතය - සංජීවිකා මනෝහාරී දයානන්ද



අහන්නඃ
http://www.divshare.com/download/launch/3693403-213

ගුරු ගීතය සම්පූර්ණයෙන් කියවන්න:

http://www.mediafire.com/?2dqumzftnxwhttp://





අක්‍ෂර සෙනග - 2009





කවි සහ කෙටිකතා නිර්මාණ තරගය

http://www.boondi.lk/
වෙබ් අඩවිය මගින් එහි වර්ෂපූර්ණය වෙනුවෙන්, එළඹෙන සැප්තැම්බරයේ දී සංවිධානය කරනු ලබන අක්ෂර සෙනග දෙවන සැසිවාරයට සමාන්තරව, කවි සහ කෙටිකතා නිර්මාණ තරගයක් පැවැත්වෙයි. මෙමගින් සාහිත්‍යය පිළිබඳව යම් උත්තේජනයක් ඇති කිරීමට අපේක්ෂිත ය. පැහැදිලිව පෙනී යන එම අරමුණට අමතරව, මෙය සැබෑ පරාර්ථකාමී අරමුණු වෙනුවෙන් ලේඛනයේ යෙදෙන මිනිස්සු මේ පොළොව මත තව දුරටත් ඉතිරිව සිටිත් ද යන්න පිළිබඳ ඇසිඞ් පරීක්ෂාවක් ද වෙයි. එක් අශ්වයෙකු වින් කරන රේස් පවත්වන වෙළෙන්ඳන් හීනයකින්වත් නොපතන අන්දමේ ත්‍යාග පිරිනැමීමේ රටාවක් මෙහි ලා අප විසින් සැලසුම් කරනු ලැබ තිබේ.

තරගය පාසල් සහ විවෘත යන අංශ දෙකෙන් පැවැත්වෙයි.

පාසල් අංශය - ලංකාව තුළ රජයේ පාසල්වල උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුනට පමණක් මේ සඳහා ඉදිරිපත් විය හැක.
විවෘත අංශය - වයස් සීමාවක් නැත. ලංකාව තුළ හෝ ඉන් පිටත වාසය කරන ඕනෑම ලාංකිකයෙකුට මේ සඳහා ඉදිරිපත් විය හැක.

කොන්දේසි-

1. තරගය කවි සහ කෙටිකතා ලෙස අංශ දෙකකින් යුතු වන අතර එක් අයදුම්කරුවෙකුට මේ අංශ දෙකම සඳහා හෝ එකක් සඳහා ඉදිරිපත් විය හැක.

2. නිර්මාණ භාර ගන්නා අවසාන දිනය - 2009 අගෝස්තු 17.

3. කෙටිකතා අංශය සඳහා එක් අයදුම්කරුවෙකුගෙන් එක් නිර්මාණයක් පමණක් සලකා බැලෙන අතර කවි සඳහා කවි නිර්මාණ දෙකක උපරිමයට යටත්ව නිර්මාණ එවිය හැක.

4. සිංහල බසින් කළ නිර්මාණ පමණක් ඉදිරිපත් කළ යුතුය. නිර්මාණ සඳහා වෙනත් කිසිදු සීමාවක් (වචන සංඛ්‍යාව හෝ තේමාව හෝ මතවාදීමය) නොමැත.

5. එවනු ලබන කිසිදු නිර්මාණයක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතු අතර හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් නිර්මාණ සඳහා භාවිතා කරනු ලබන සියළු කඩදාසි වල සටහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක.

6. සාමාන්‍ය තැපෑලෙන් නිර්මාණ එවන අයදුම් කරුවන්ට පැහැදිලි අකුරෙන් ලියූ අත් පිටපත් හෝ යතුරු ලියනය කළ මුද්‍රිත පිටපත් හෝ එවිය හැක.

7. ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් අභය අකුරු මාදිලියෙන් (FMAbhaya) ටයිප් කොට ms-Office Word ගොණුවක් ලෙස අමුණා එවිය යුතු අතර එම ගොණුවේ මුල හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්) පමණක් සඳහන් කළ යුතුය. විදෙස්ගත ලාංකියන්ට පමණක් විදේශ ගමන් බලපත‍්‍ර අංකය හැඳුනුම්පත් අංකය වෙනුවට යොදා ගත හැක. ගොණුවේ නමෙහි හෝ ගොණුවේ කිසිදු තැනක නම, ලිපිනය ආදී කිසිදු විස්තරයක් සඳහන් නොකළ යුතුය. ඊමේල් හැඳින්වීම (Subject)- ”AKSHARA SENAGA 2009 COMPETITION” ලෙස යෙදිය යුතුය.

8. තැපෑලෙන් එවන නිර්මාණ එවිය යුතු ලිපිනය -
අක්ෂර සෙනග 2009, කවි සහ කෙටිකතා නිර්මාණ තරගය, බූන්දියේ අපි, අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම.

ඊමේල් ලිපිනය -
boondionline@gmail.com

9. සියළු අයදුම්කරුවන් පහත දැක්වෙන විස්තර සැපයිය යුතුය. තැපැල් මගින් නිර්මාණ එවන අයදුම්කරුවන් වෙනම කඩදාසියක ද ඊමේල් මගින් නිර්මාණ එවන අයදුම් කරුවන් වෙනම ms-officd word ගොණුවක් ලෙස ද මෙම විස්තර එවිය යුතුය.

ආදර්ශ අයදුම් පත - පාසැල් අංශය

නම-
ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)
උපන් දිනය-
හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-
පුද්ගලික ලිපිනය-
පුද්ගලික දුරකථන අංකය-
උසස් පෙළ විෂයය ධාරාව-
පාසලේ නම-
පාසලේ ලිපිනය-
පාසල අයත් මැතිවරණ කොට්ඨාශය-
විදුහල්පතිතුමාගේ නම-
පාසලේ දුරකථන අංකය-


ආදර්ශ අයදුම් පත - විවෘත අංශය

නම-
ඔබ සහභාගී වන අංශ - (කෙටිකතා පමණයි/ කවි පමණයි/ කෙටිකතා සහ කවි යන අංශ දෙකම)
උපන් දිනය-
හැඳුනුම්පත් අංකය (ජාතික/තැපැල්)-
විදේශ ගමන් බලපත‍්‍ර අංකය (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-
පදිංචි රට (විදෙස්ගත ලාංකියන්ට පමණක්)-
මැතිවරණ කොට්ඨාශය-
පුද්ගලික ලිපිනය-
පුද්ගලික දුරකථන අංකය-


තිළිණ-

කෙටිකතා සඳහා
පාසල් අංශය - රු. 25,000.00
විවෘත අංශය - රු. 20,000.00

කවි සඳහා
පාසල් අංශය - රු. 30,000.00
විවෘත අංශය - රු. 15,000.00


තිළිණ ලබා දීමේ කොන්දේසි-

1. ජයග‍්‍රාහකයා සිය අනන්‍යතාව තහවුරු කළ යුතුය.
2. සියළු තිළිණ පුද්ගලික ප‍්‍රදානයන් නොවන අතර ජයග‍්‍රාහකයාට තමන් කැමති පාසැලක් නම් කිරීමේ වරම හිමි වෙයි.
3. ජයග‍්‍රහණය කළ මුදලේ අගයට සරිලන පොත් ප‍්‍රමාණයක් එම නම් කරන ලද පාසැලේ පුස්තකාලයට අප විසින් පිරිනමනු ලැබේ.
4. ජයග‍්‍රාහකයන් විසින් නම් කරනු ලබන සියළු පාසැල් රජයේ පාසැල් විය යුතු අතර, තිළිණ ප‍්‍රදානය සඳහා එම පාසැලේ විදුහල්පතිවරයා හෝ ඔහුගේ අවසරලත් අයෙකු පැමිණිය යුතුය.
5. තිළිණ ප‍්‍රදානය 2009 සැප්තැම්බර් මස කොළඹ දී පැවැත්වෙන අක්ෂර සෙනග 2009 උළලේ දී සිදු කරනු ලැබේ.
6. සාධනීය තත්ත්වයේ ඇති සියළු නිර්මාණ බූන්දි සහ ආශ‍්‍රිත වෙබ් අඩවිවල පළ කෙරෙන අතර, එම නිර්මාණ ඉදිරියේදී අප විසින් මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂිත කෙටිකතා සහ කවි නිර්මාණ සංග‍්‍රහයන්ට ද එක් කරනු ලැබේ.

විමසීම්-
තරග කොන්දේසි සම්බන්ධ සියළු විමසීම් සඳහා පහත දුරකථන අංකය භාවිතා කරන්න.
071 4488498 (අමිල චන්ද්‍රසෝම)

බූන්දියේ අපි
http://www.boondi.lk/

Sri Lankan Site for Literature, Arts and Politics.
අංක 190/3/A, කැන්දලියැද්ද පාලූව, රාගම. 0777260817
boondionline@gmail.com

Sunday, June 7, 2009

අසපුවක් සේ සිටියා - තනූජා ධර්මපාල


පොසොන්...!


කැටපත් පවුර.com

සොඳුරු කවියාගේ සමුගැනීම ඔස්ටේ‍්‍රලියාවෙන් පිළිතුරක්

සොඳුරු කවියාගේ සමුගැනීම ඔස්ටේ‍්‍රලියාවෙන් පිළිතුරක්

(උදේනි සරත්චන්ද්‍රගේ ‘පුරඟන නැඟණියෝ’ කාව්‍ය සංග‍්‍රහයේ එන ‘සොඳුරු කවියාගේ සමු ගැනීම’ යන ප‍්‍රබන්ධයේදී කවියා ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සුනිල් ගෝවින්නගේ මිතුරු කවියා ගෙන් තියුණු පැනයක් විමසයි.)

‘ඔබ කවියෙකි සොඳුරු
පර්ත් පුරවර වෙසෙන
පැන විසඳන දැනුම
දරා ඔබ අප අතර
සැණින් එසැණින් පෙනී
යන්ට කාරණ කිම ද?’
‘පුරඟන නැඟණියෝ’ කාව්‍ය සංග‍්‍රහය - උදේනි සරත්චන්ද්‍ර

තව ම නොදනිමි නැගෙන නිරතුරු
මතක දිවයින දැවෙන පැනයන්
සැණින් එසැණින් පෙනී
යන්ට කාරණ පැමිණි විගසින්
දනී නම් ඔබ හඬයි සුමිතුර

යුද බියක් නැති වුව ද මේ රට
වෙතියි නෙක පැන විසඳ ගන්නට
ආදි වාසින් මෙරට වෙසෙනා
මැරෙයි නිරතුර යුදක් නැති වුව!

මගේ කළු හම දකින මිතුරන්
සිතේ සැකයක් නැගෙයි නිරතුරු
මතක දිවයින අතැර ආ මා
සිංහ පෝතක - කොටියකු ද වග!

මගේ පුත් රුව අකුරු කළ සොඳ
පාසැලේ සිටි සුදු ගුරුන් කැළ
ඉවත් කොට ඔහු පංතියෙන් දින
යැවී නිවසට කළු හමට බැන

මට උඩින් සිට නිතර අණ දෙන
සිවිල් සේවේ සුදු ම මිතුරන්
යවයි පිට රට මෙරට පස් නිධි
රටේ හැම තැන තිබේ වලවල්

මතක දිවයින වෙතත් නෙක පැන
එසැම විසඳන නුවණ නැති මට
සැණින් යන්නට මගේ රට ගම
විසඳ ගත යුතු පැනය අපමණ!

සුනිල් ගෝවින්නගේ
පර්ත්, බටහිර ඕස්ටේ‍්‍රලියාව

http://www.silumina.lk/punkalasa/20090607/_art.asp?fn=ar09060711

මෙම සුනිලුන්ගේ නිර්මාණය කියවද්දී මට නැගුනු අදහස් කීපයක් ලියා එවන්නට සිතුනි.
නිර්මාණකරණයේ යෙදෙන සහෘදයන් සිය නිර්මාණ හරහා එකිනෙකා අමතා ගන්නා විරල අවස්ථාවක් මෙ නිර්මාණය තුල වීම මගේ සතුටට හේතු වෙ. එබඳු දෙබසක් කාව්‍ය නිර්මාණ තුල ගොඩනැගීමෙ වැදගත්කමක් වෙයි. කාලයක් ගෙවුනම අතීත නිර්මාණ ස්මරණය කරන්නට යෙදෙන විටෙක මෙබඳු දේ බොහෝ සංවෙදනාත්මක මතකයන් අවුස්සනු නොඅනුමාන බැවිනි. එමෙන්ම එතනිනුත් කලක් ඉක්ම ගිය පසු තුන්වැනි පාර්ශවකරුවකුට කිසියම් යුගයක එනම් අද මා කතා කරන මෙ යුගය අතීතයට එක් වූ කාලෙක, ඒ යුගයේ සමකාලීන කවියන් හදාරන විටෙක ඔවුනොවුන් එකම යුගයක නියෝජනය කළ බව සිය පර්යේෂණයක උපුටා දක්වන්නට ද මෙ බඳු නිර්මාණ නිහඩ වගකීමකින් පොත් පත් සහ හාඩ් ඩිස්ක වල බැඳීවෙළී ජීවත් වනු ඇත.

එබඳු සාහිත්‍ය පර්යේෂණයක යෙදෙන්නන්ට මහෝපකාරී වන මෙකල සැබෑ ලෝක තතු අනාවරණය කර ගැනීමට හේතු යුක්ති වන දැනුමක් ද මෙ කවි සංවාදය තුල කැටි වී තිබීම වඩාත් වැදගත් කාරණාවකි. අප මෙ ගත කරන යුගයේ මනුෂ්‍ය ජීවිතය සිය සංස්කෘති දේශ සීමා මායිම් අතික‍්‍රමණය කර විස්ථාපනය වී අවතැන් වී මනසින් මවා ගත් සිය ජන්ම ගති ගුණ සමග විලෝපිත පවුල නමැති විසිරුණු සංස්ථාවෙ සංතාපය කොතරම් ඉහලට බුර බුරා නැගෙන ගිනි කඳක් වන්නේ ද යන යථාව පැරෂුටයක එල්ලා පොලවට පතිත කරන්නට වාගාලංකාර ඇවැසි නොවන වග නිෂ්ඨාවට පත් වීම ද මෙබඳු නිර්මාණයකින් සිදුවෙ. එක් අතීත සමයක භූගෝලීය පෙදෙසක කලෙක කෙම් බිමක්ව පැවැති මනෝ මන්දිරයක හෝ යුටෝපියාවක සැබෑ තතු ගවෙෂණයක යෙදෙන එක්තරා සාහිත පිරියෙසුම්කරුවකු එය කෙසේ අනාවරණය කරගන්නට මෙ නිර්මාණය භාවිතා කරන්නේ දැයි කීමට මට නොහැකි වුව ද නියතයෙන්ම ගාමිණි වියන්ගොඩයන් විසින් පරිවර්තිත පීටර් ඇකො‍්‍රයිඩ් ගේ ප්ලේටො පත‍්‍රිකා හි දැක්වෙන ආකාරයෙන් නම් අරුම විකාර ලෙස විකේතනය නොවනු ඇත.

කවියකුගේ සැබෑ වෑයම කුමක් දැයි කවියන් විසින් තම තම නැණ පමණින් වටහා ගෙන ඇති හෙයින්, එමෙන්ම අද යුගයේ සියළු කාරණාවන් සම්බන්ධව ද ඒ සැබෑ බව විතැන් වී අනන්‍යකරණය වී ඇති හෙයින් ද මෙ කවිය හෝ කවියා සැබෑ කවියා යැයි ද මෙ කවිය හෝ නිර්මාණය සැබෑ කවිය හෝ නිර්මාණය යැයි කීමට ද මට කලබල විය නොහැකිය.

කෙසේ වුවද සයුරෙන් එහා රටකට වි සුනිලුන් තම මතක දිවයින සහ ස්වාත්මය කෙරෙහි යොමන මෙ සානුකම්පනය සිය නිර්මාණකරණයේ ආත්මය ලෙස වන්දනාමාන කරන මෙ අතීතකාමය කවර ලෙසක හෝ අඩුවෙන් තැකිය හැකි මානයක් නම් නොවන වග ඉඳුරා කියමි.

ඩෝසන් ප්‍රීති
2009.05.07

Saturday, June 6, 2009

දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය - ඩෝසන් ප‍්‍රීති

දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය

ලැසි දිසි;
නුහුසු රැසි
සිප වැළැඳ
අහස් පති
නුහුසුන් ද පෙමින්
වෙළෙති
සිසි වැසී
අඳුර රජයති

නැති;
...... අවට කිසි
කිසිවකු නැති සකි
සිප සිප සැනසෙති
අඳුරට අඳුර වෙනෙස නැති

ඩෝසන් ප‍්‍රීති
200906

නූතන ජන කවි - රසික සූරියආරච්චි

නූතන ජන කවි

මාවිල් ඔයේ වක්කඩ හැංගූ හකුරූ
පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද? මිතුරූ

අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
අවසානයේ උන් හැම අවියෙන් නසිතී
ලෝක සොබාවය එහෙමයි දන කියතී
මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
ඇස් අන්ධව කන් බිහිරිව නොයාවිද
සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
මොන හිතකින් කිරිබත් රස විඳින්නද?

යුධයට අරන් ගිය කඩු මුවහත ඇතුව
ගෙදර තියන් ඉන්නද? අද යු නැතුව
හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

ගසා දුම් බඹර පරපුර එලවාපං
කඩා ගත් මීය රස කරමින් කාපං
මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
එපා ලෙවකන්න කෑ අත හෝදාපං

මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

රසික සූරියආරච්චි

Friday, June 5, 2009

ජපන් හයිකු කාව්‍යය - මුරකමි කිජෝ

ජපන් හයිකු කාව්‍යය

ජල මකුළුවෙක්
ජලය මත හැපී උඩට විසි වෙයි
ජලය වානේ බඳු ය.

---------------

පස් පිඩක් බදා ගත් ගමන්
මිය ගොස් සිටින
තණ කොළ පෙත්තෙකි

මුරකමි කිජෝ
1865 - 1938

-ජපන් හයිකු කාව්‍යය-
පරි: ආරිය රාජකරුණා

අත් අඩංගුවේ මියැදෙමින් - කෝ.ආනන්ද

අත් අඩංගුවේ මියැදෙමින්

අපි ගේ කුරුල්ලන් වගේ
වියැට අහුලා කුස පිරෙව්වෙමු
අපි අපිට වූ නියමයන්
සත්‍යයේ නාමයෙන්
දරු සෙනෙහසින් වටුවකු බිජු රකිනා සේ
සපුරමින් සිටියෙමු

ඒ මහා පරිමාණ යන්ත‍්‍රයට
මම මුරිචචි ඇණයක් වූවා පමණි
සොයුරනි !
ඔබ සැවොම එකතු වී
දැවැන්ත දැති රෝදයක්ම වනු මැනවි

එදා මා සොයා ආවෝ මෘගයෝ ය
මුරු මුරු කරණයෙන් මාංස භක්‍ෂණයට පුරුදු ඇත්තෝ ය
මා ළය පළා උර පළා අතුල් පතුල් පළා
දෙතිස් වදයම දුන්හ ඔවුන්ගේ නියමයන් අනුව
පාහරයෝ පහර දෙති
නීහරයෝ නහර අදිති
එහෙත් සොයුරනි !
මම ඉතිරි කර ගත්තෙමි
ඔබ වෙනුවෙන්
හරය

මේ දැන් ලේ සොලවා
පණ වනසා
පණ කඳ මළ කඳක් කිරීමට
කුරිරු රංගන රඟති නැගී සිට
පිට මත වේදිකාවක් තනා

මොහොතක විරාමයකි
සමුගන්න අවසර යි
පන්නරයේ ගාමක ශක්තිය
තව මත් නලිය යි
සොයුරනි!
එය ඔබට එළිය යි.

කෝ.ආනන්ද
-මහ පොළොව අලුත් කිරීම 1994-

Thursday, June 4, 2009

පිනෝකියෝ - සඳුන්

http://img198.imageshack.us/img198/2518/pinokiyo.jpg

මගේ සිත.....! - වර්ණ රසිකා

මගේ සිත.....!

උදේට
වෙරදමා අමදින
හවසට
ආයෙමත්
හැඩිවෙන
සූදූ වැලි මිදූල..........!

වර්ණ රසිකා

වල්මත් වූ වස්සානය - චන්දි‍්‍රකා ද සිල්වා

වල්මත් වූ වස්සානය

කුරුළු ගී අයෝමය
ගිනි වැදුනු අහස යට
වළාකුළු තිර ඉරී
විරාමය නැත ඇසට..
සිත සසල වෙයි නිතර
නොපැහැදිලි සිහිනයක
අදිසි හඬකින් දෙඩූ
රහසක්ද මේ රැුයක.
නියං සායට වැටුන
කඳුළු සිසිලක මතක
දේදුන්න මෙන් නැගී
පායනා කල සිතක..
වස්සානයට පිපෙන
මල් අතර කහපාට
වසන්තේ මල් කිමද
පිපෙන්නේ ලේ පාට.

චන්දි‍්‍රකා ද සිල්වා

-- UNTITLED - අංජන ජයවීර

[94+Mangawa.jpg]

ඔවුහු යදින්නේ ජීවිතයයි!


ඔවුහු යදින්නේ ජීවිතයයි!
- සහෝදරත්වයෙන් ආයාචනා කරමු-

උතුරේ යුධ මුක්ත කලාපයේ සිට පැමිණ කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන සහෝදර ජනතාව විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම පිණිස එම රෝහලෙන් දන්වා එවූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක් මේ.

රෝහලෙන් දන්වා එවන ලද ද්‍රව්‍ය ලැයිස්තුව-

Dust Bin (Large) - 20
Rubber slippers (Size 4 - 10) (Size 5 - 10)
Combs (large) - 100
Lactogen 1 (dark blue packs) - 10
Anchor Full Cream Milk Powder - 50 packets
Shampoo packets (Sashay) - 150
Hair oil - 50 bottles
Ordinary colongue - 10 bottles
Sanitary pads - 50 packets
Coconut oil - 2 bottles
Bed Jackets (large) - 10
Skirts and blouses - 50
Baby dresses (under 12) - 25
Sarongs - 100
Shirts - 100
Bed sheets - 290
Underwear (S,M & L) - As much as possible
Tooth paste - 200
Tooth brushes - 270
Lifebouy Soap - 300
Baby Soap - 40
Nestomalt 400g - 12

නෙක දුක් ගැහැට මැද යුද ගින්නෙන් දැවුණු මේ මිනිසුන් වෙනුවෙන් ඔබට කළ හැකි අවම උපකාරයක් හෝ වේ නම් කරුණාකර හැකි ඉක්මනින් අප අමතන්න.

දුර ඇමතුම්- 071 2424709 (සංඛ)


email: info@ketapathpawra.com

Wednesday, June 3, 2009

මහාකවි පබ්ලෝ නෙරුඩා - ඉන්ද්‍රානි රත්නසේකර


අති පූජනීය වූ මනෝහර දීපයක්
මහාකවි පබ්ලෝ නෙරුඩ


නෙරුඩා සිය පද්‍ය රචනාවලද මිතුරන්ට යැවූ ලිපි වල ද ඉතා රසවත් ලෙස සිරිලක් බිමේ තමා ගත කළ අයුරු සටහන් කොට තිබේ. එකල තමාට එලන්, පැට්සි, අර්තියා (ELLEN, PATSY, ARTIYA) නමින් ශී‍්‍ර ලාංකික මිතුරියන් සිටි බවත් තනිකම නිසා මරදානේ පොත්හල්වලින් මලු ගණන් පොත් ගෙන්වාගෙන කියැවූ බවත් ලංකාවෙන් ඉන්දුනීසියාවට මාරු වූ දිනයේ ‘කිරියා’ නම් මුගටි පැටවා ද ගෙන ගිය බවත් කියැවෙන ඔහුගේ කවි සටහන් ඇත්තෙන් ම ලාංකේය හදවත්හි අභිමානයක් දනවන සුලු ය.

මීට අසූ වසරකට පමණ පෙර මෙ වැනි ම සීතල දුරුත්තක සිට කහ වන් මලින් තුරු වදුළු සැරසුණු පොසොන් සඳ දකිනා තුරු ම සිරි ලක් වෙරළේ සුන්දරත්වය මෙන් ම විටෙක සැඩ පරුෂ ලෙසින් නැගුණු මුහුදු රැළි ගැන සිය කවි සංකල්පනා අපූරුවට පෙළ ගැස් වු චිලි ජාතික මහාකවි පබ්ලෝ නෙරුඩා පිළිබඳ මෙ වැනි සටහනක් තැබීමට මට සිත් වූයේ ඔහුගේ එවන් කව් පෙළක් නෙත ගැටීමෙන් අනතුරුව ය.

එවකට දකුණු ලක වෙරළ බඩ ප‍්‍රදේශයේ දිවි ගෙවා ඇති මේ මහා කවියා වෙරළ සිප ගන්නා සාගර ජල කඳ පිළිබඳ කළ වැනුම සුනාමියෙන් කැළැඹුණු සයුරේ ස්වභාවය ගැන පෑ ඉඟියක් සේ හැඟේ.

මගේ වාසය වෙනස් වී ඇත
එක ම පොළොවේ වෙනත් දේසෙක
ලවණ මුසු වූ සුළඟ නටනා
සුසුදු දිය රැළි නිබඳ ගැටෙනා
වෙරළ අසබඩ රැඳුණු පියසක

තේජසින් පිරි හිරු උදා වී
විසුළ රන් කෙස් පිරි හිසක් මෙන්
කිරණ විහිදා රුක් මුදුන් මත
සදයි ඡායා දසුන් තරු මෙන්
කොරල් දිළෙනා සයුරු පත්ලේ

එහෙත් ඒ මහ මුහුද රළු වී
නීලවන් ගල් තලාවක් සේ
බියකරයි මා හද විටින් විට
මහා බල ඇති යෝධ රළ පෙළ
පුපුර පුපුරා දිවෙයි වෙරළට
මර හඬක් නංවමින් වාතල

නෙරුඩා ගේ මෙවැනි ගද්‍ය හා පද්‍ය සටහන් පිළිබඳ ව වරක් ස්පාඤ්ඤ රූපවාහිනී සේවය (TELEVISION OF SPAIN) මඟින් ගාලු මුවදොර වෙරළේ දී පටිගත කරන ලද වැඩ සටහනක් සඳහා කවි ගායනයෙන් සහභාගි වීමට මට ද අවස්ථාවක් ලැබුණි. මේ විශ්වීය කවියා අපේ මව්බිමේ සුන්දරත්වය මෙන් ම වෙරළබඩ දිවියේ දුක සතුට මුසු හුදෙකලා බව ගැන ලියූ කියූ දෑ කියවන විට මේ අපේ පුංචි දිවයින පිළිබඳ මහත් ආඩම්බරයක් දැනුණි.

මහාකවි පබ්ලෝ නෙරුඩා විසිවන සියවසේ හොඳ ම ලතින් ඇමෙරිකානු කවිය බිහි කළ ජාතික වීරයා ලෙස චිලි රටේ පැසසුමට පාත‍්‍ර වූවෙකි. ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ නෙරුඩා සැලැකෙන්නේ ‘ස්පාඤ්ඤ කවිය නවීකරණය කළ මහා කවියා’ ලෙසිනි. ඔහු ගේ කවිය කෙතරම් උසස් වූවා ද කිවහොත් 1971 වසරේ සාහිත්‍ය පිළිබඳ නොබෙල් (Nobel) ත්‍යාගයට පවා හිමිකම් කීමට හෙතෙම සමත්විය.

දිවි ගමන

1904 චිලි (CHILE) රටේ පර්රාල් (ර්‍ථඒඅඅඒඹ්) නම් ග‍්‍රාමයේ ගොවි පවුලකට දාව රිකර්දෝ එලිඑසේර් නෙෆ්තාලි රේයේස් බසො අල්තෝ (RICARDO ELIECER NEFTALI REYES BASO ALTO) නමින් බිළිඳෙක් උපන. ළදරු වියේදී ම මව මිය ගියෙන් කම්කරුවකු වූ පියා ගේ සෙවණේ හැදී වැඩෙන්නට මේ දරුවාට සිදු විය. පාසල් විය එළඹෙත් ම සාහිත්‍යය විෂය භාර ගුරුතුමිය විසින් කළ පෙළැඹවීම් මත කුඩා කල සිට ම මෙතෙමේ කවි ලිවීමට පටන් ගත්තේ ය. ඔහු ගේ කුළුඳුල් කවිය ගෙතී ඇත්තේ දහඩිය හෙළමින් දුම්රිය මාර්ගයේ වැඩ කරමින් සිටි තම පියා ගැන ය. කවි ලියා නම සහ අත්සන යෙදීමට වන අවස්ථාවල ‘මගේ නම හරියට කෝච්චියක් වගේ දිගයි නේ’ යනුවෙන් මැසිවිලි නැගි හෙතෙම එවකට තමා වඩාත් රුචිකළ චෙකොස්ලෝවෙකියානු ජාතික කවි ජාන් නෙරුඩා (JAN NERUDA) ගේ නමෙන් කොටසකුත් සිය පියා විසින් තමා අමතන ලැබූ පබ්ලෝ නාමයත් එකට ඈඳ්‍ර ගනිමින් ‘පබ්ලෝ නෙරුඩා’ නමින් හඳුන්වා ගත්තේ ය. එදා පටන් මුළු මහත් විශ්ව සාහිත්‍යයට ම හෙතෙම පබ්ලෝ නෙරුඩා නම් විය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ප‍්‍රංශයේ ගුරු අභ්‍යාස විද්‍යාලයක පුහුණුව ලැබූ දිනවල නෙරුඩාට ලතින් ඇමෙරිකානු කවීන් හඳුනාගැනීමට අවස්ථාවක් උදාවිය. එම අවධියේ ම චිලි රට නියෝජනය කරමින් තානාපති සේවයට බැඳුණු හෙතෙමේ ස්පාඤ්ඤය, මෙක්සිකෝව, ඉංදුනීසියාව, බුරුමය, ප‍්‍රංශය හා ශී‍්‍ර ලංකාව එවකට (CEYLON) යන රටවල සේවය කර ඇත.

ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ ‘නෙරුඩි’ නාමය

ස්පාඤ්ඤයේ ගත කළ කාලය නෙරුඩාගේ කවි දිවියේ වසන්තය විය. චිලි රටේ භාවිතා කළ ස්පාඤ්ඤ භාෂාවත් ස්පාඤ්ඤයේ හැසිර වූ භාෂාවත් අතර බොහෝ වෙනස් කම් දැකිය හැකි වූයෙන් නිවැරැදි භාෂා ව්‍යවහාරය සඳහා ස්පාඤ්ඤ ජාතික මිතුරන්ගේ සහාය නෙරුඩාට නො අඩුව ලැබුණි. එවකට බිහි වී තිබූ ‘1927 කවි පරම්පරාවේ’ මහා කවි ගර්සියා ලොර්කා ප‍්‍රමුඛ ලේඛකයන් අතර නෙරුඩා කොතරම් ජනපි‍්‍රය වී සිටියා ද කිවහොත් ඒ සෑම ලේඛකයකු ම පාහේ සිය ග‍්‍රන්ථවල නෙරුඩා ගැන සඳහනක් කිරීමට අමතක නොකළහ.

අල්බෙර්නි (RAFAEL ALBERTI) කවියා සිය කෘතියක (LA ARBOLEDA PERDIDA (නොපෙනී ගිය ලන්ද) ‘නෙරුඩා හමුව‘ රසවත් කොට ඇත්තේ මෙසේ ය.

’සිවිල් යුදමය වාතාවරණය යටතේ පැරිස් නගරයට පිටුවහල් වූ මම දිනක් වීදියක ඇවිදිමින් සිටියදී මහා මනුෂ්‍යත්වයකින් පිරි මිනිසකු දිටිමි. ඔහු ස්පාඤ්ඤ ජාතිකයිනට සත්‍ය සුර දූතයකු වූ ‘පබ්ලෝ නෙරුඩා’ යි.

එකල ගර්සියා ලොර්කා විසින් ලියන ලද ග‍්‍රන්‍ථයක් (පිකාසෝ ගේ චිත‍්‍ර කලාව) ස්පාඤ්ඤ බසින් ලතින් බසට පරිවර්තනය කර ගනු වස් ලේඛකයෙකු සොයමිනුයි සිටියේ. පසුව පබ්ලෝ කළ පරිවර්තනය කෙතරම් සාර්ථක වුණා ද කිවහොත් ග‍්‍රන්‍ථයේ පිටපත් විශාල සංඛ්‍යාවක් අලෙවි වී තිබුණා. පබ්ලෝ අපේ 1927 පරම්පරාවට ඈඳුණේ ඉන් පසුව යි. සීත ඍතුවේ වැහි බර රැයක යළිත් මට ඔහු හමු වුණා. පබ්ලෝ ගේ කවි ස්පාඤ්ඤ විලාසයට තරමක් දුරයි. චිලි රටේ දේශගුණය මෙන් ම භාෂා උච්චාරණය වෙනස්. පබ්ලෝ සිය නිර්මාණවල ව්‍යාකරණ දෝෂ තිබේවි යැයි සිතා නිතර ළතැවුණා. එදා ඔහු මගෙන් ශබ්ද කෝෂයකුත් ඉල්ලාගෙන ගියා.





පබ්ලෝ චිලි ජාතිකයෙක්. නිතර දෙවේලේ මධුවිත තොල ගානවා. ඒ රාති‍්‍රය කෙසේ අමතක කරන්නද? අප එකට ඇවිදින්ට ගියා. රුක් සෙවණක් යටට වී හිමිදිරිය උදා වන තුරු ම කවි හා මධුවිතෙහි රස විඳිමින් ගත කළා. මොහොතින් අප දෙදෙනා ම වෙරි වෙලා... පොලිසියේ රැහැනට අසු වුණා. එය අවාසනාවක්. ඒත් සොදුරු මතකයක්.’

නෙරුඩා ගේ කවිය

පබ්ලෝ නෙරුඩා සිය කාව්‍ය නිර්මාණ විශ්ව සාහිත්‍යයට තිළිණ කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. ඔහුගේ කවි සරල ය. වැඩි ප‍්‍රමාණයක් නිසඳැස් ආකාරයට ලියූ ඉතා දිගු පදවැල් ය. ඒවා කථාකරන භාෂාවෙන් ලියා ඇති බවට විවේචකයින් දොස් නඟතත් ඔහුගේ භාෂාව පාඨක හදවත්වලට අමතන විලාසයක් ගනී. නෙරුඩා ස්පාඤ්ඤ කවියේ උපමා උපමේය හා සංකේතාදිය භාවිතා කරමින් සිය කවිය ඉහළ තලයකට ගෙන ගියේ ය. ලතින්, ප‍්‍රංශ, ඉංගී‍්‍රසි ආදී භාෂාවන් මනාව දැන සිටියත් හෙතෙම දැඩි ඇල්මක් චක්වූයේ ස්පාඤ්ඤ භාෂාවට ය. ඔහුගේ කවියට තේමා වූයේ හුදෙකලාව, දේශදේශයන්හි මතක සටහන්, දේශපාලනය, දේශාලය, ආදරය ආදිය යි. නෙරුඩා ගේ ජනපි‍්‍රය කාව්‍ය සංග‍්‍රහයන් අතර ’MEMORIAL DE ISLA NEGRA (ආසියාවේ තිස් වසරක මතක සටහන්), ’CIEN SONETOS DE AMOR’’(පෙම් කවි සියයක්), හා ’Veinte Poemas de amor’පෙම් කවි විස්සක්) ප‍්‍රධාන තැනක් ගනී.

අහිමි වී ගිය ප‍්‍රථම පෙ‍්‍ර්මයේ අත්දැකීම් වඩාත් සංවේදීව හෙතෙම කාව්‍ය තුළ රස ගන්වා ඇත.

කෙසේ නම් ළං වෙම් ද
මා ඇගේ තුරුල්ලට
මගේ නෙත මගේ හද
සොයයි ඇය නිරතුරු ව
ඉතින් ඇය තවත් නම්
මගේ ළඟ නැති සේ ය

දැනේ මට පාළුවක්
නිමාවක් නොමැතිව ම
පවසන්ට ඒ බවක්
වදන් එකිනෙක නැඟේ
තැනි බිමේ තණ මතට
පිනි වැටෙන විලාසෙන්

ආදරය පිළිබඳ නෙරුඩා ලියූ කවි තුරුණු හදවත් පුබුදු කරවන සුලු ය. දේශාලයෙන් පිරි සෞන්දර්යාත්මක ගද්‍ය රචනා ද ඔහු විසින් නිර්මාණය කොට තිබේ. ’RESIDENCAI DE TIERRA(භූමියක වාසය) නම් කාව්‍ය සංග‍්‍රහයේ හුදෙකලා වූ මිනිස් මනසක් දෙස ශුභවාදී දෘෂ්ටියකින් බලා ඇති අයුරු දක්නට ලැබේ.

පබ්ලෝ නෙරුඩා සාමය ඉතා අගය කළ කවියෙකි. ’POESIA ES UNA ACCION DEL PAZ’(කාව්‍යය යනු සාමයේ කි‍්‍රයාවක්) කවියකු වීමට සාමය හදවතට ඇතල් විය යුතුය. පාන් හදන්ට පිටි උපකාර වෙනවා වගේ’ පබ්ලෝ සාමය දුටුවේ එලෙසිනි.

ලක්බිමේ වාසය

වසරක් පමණ වූ කෙටි කාලයක් තුළ (1929-1930) නෙරුඩා මෙරට ගත කොට ඇත්තේ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශයේ ය. සුනාමි ව්‍යසනය වූ සමයේ ස්පාඤ්ඤ පුවත්පතක (EL PAIS) පළ වී තිබූ ලිපියක මෙවන් සටහනක් විය.

’සුනාමියෙන් එරට වඩාත් විනාශ වී ඇත්තේ මුහුදුබඩ ප‍්‍රදේශය යි. නෙරුඩා ගේ කවිලොව සැරි සැරුවේ ද ඒ මුහුදුබඩ තීරුවයි.’

නෙරුඩා සිය පද්‍ය රචනාවලද මිතුරන්ට යැවූ ලිපි වල ද ඉතා රසවත් ලෙස සිරිලක් බිමේ තමා ගත කළ අයුරු සටහන් කොට තිබේ. එකල තමාට එලන්, පැට්සි, අර්තියා (ELLEN, PATSY, ARTIYA) නමින් ශී‍්‍ර ලාංකික මිතුරියන් සිටි බවත් තනිකම නිසා මරදානේ පොත්හල්වලින් මලු ගණන් පොත් ගෙන්වාගෙන කියැවූ බවත් ලංකාවෙන් ඉන්දුනීසියාවට මාරු වූ දිනයේ ‘කිරියා’ නම් මුගටි පැටවා ද ගෙන ගිය බවත් කියැවෙන ඔහුගේ කවි සටහන් ඇත්තෙන් ම ලාංකේය හදවත් තුළ අභිමානයක් දනවන සුලු ය.

En donde estuve recuerdo la tierra
come si me mandara todavia
Pasan los rostros – Patsy, Ellen, Artiya
Memorial de isla Negra
(කළු දිවයිනේ මතක) නෙරුඩා ශී‍්‍ර ලංකාවේ දේශීය සංස්කෘතියට දැක්වූයේ දැඩි ඇල්මකි. එම්පයර්, ලයනල් වෙන්ඩ්ට් ආදී ශාලාවල නාට්‍ය බැලීම විනෝදාංශක් වූ බව හෙතෙම කියයි. ඔහු අපේ මව්බිමට කෙතරම්, කැමැත්තක් දැක්වූවාද යන්න’ODA A LA ISLA DE CEILAN (ලක් බිමට උපහාර) නම් කවි පෙළින් පැහැදිලි වේ.

යළිඳු එමි ඔබ සොයා
මහ සයුරු තරණයෙන්
තෙමි තෙමී වැහි පොදින්
හිමිදිරියෙ අඳුර මැද
සහන් එළි දකින්නට
දිස්වන්නෙ, අර ඈත
සුවඳ සුදු පෙණ නගන
හරිතවන් රැළි, පෙළක්!
ඔහෝ! ‘සෙයිලාන්’
අතිපූජනීය වූ
මනෝහර දීපයක්!

1929 මාර්තු මස දහ හතර වැනිදා ටි‍්‍රනිඩඩ් (Trinidad) හි විසූ මිතුරියක් (CANDIA) වෙතැ යැවූ හසුනක මෙසේ සඳහන් වේ.

මා දින ගෙවන්නේ ගම්මානයක සිරිය ගත් කුඩා නගරය (වැල්ලවත්ත) කයි. එය මගේ මව ඉපැදුණු තොටුපලේ (Puerto) සිරියාවට නෑකම් කියන්නක්. දවසේ නැවුම් හෝරාව ප‍්‍රයෝජනයට ගනිමින් මා නාන ඇඳුමින් ම වෙරළ දිගේ පියවර මනිනවා. වෙරළේ සුන්දරත්වය මගේ කවි සිත පුබුදු කරනවා. අහසට නැගුණු පොල් රුප්පා, ජලජ ශාක පත‍්‍ර, වැටකෙයා පඳුරු මාව වටකරගෙන! පොස්පරස් කැවුණු කොරල් පර තරු වගෙයි. මල් වගෙයි. මා ඉදිරියේ සුදු පාට පෙණ බුබුළු වේගයෙන් කැඩී විසිරෙනවා. පේනතෙක් මානයේ නීලවර්ණ ක්‍ෂතිජය...

දයාබර මිතුරියේ, මෙය නම් දිව්‍යමය පාරාදීසයක් ම තමයි’

1929 වසර අග භාගයේ හෙක්ටර් (HECTOR) නම් ස්පාඤ්ඤ මිතුරෙකුට ලියූ ලිපියක මෙසේ දැක්වෙයි.

’දිනපතා ම වාගේ මා මුහුදු රැල්ලේ එතී පීනනවා. පසුව සෙවණක වාඩිගෙන බියර්, විස්කි හෝ සෝඩා පානය කරනවා. දිවා ආහාරය සඳහා බැහැරව පයින් ම ඇවිද ගොස් රටේ දේශීය කෑමක රස බලනවා. බත් පිගාන වටේ ට බෙදූ එළවළු, අළුත් මාළු, පපඩම්... කන්නෙ හරි ම ආශාවෙනුයි.

දැන් වැහි කාලය යි. මෙහාට තදින් වහිනවා. ගොරවන, විදුලි කොටන, දිය නොනවතින මහා වැස්ස... එය නරක තෙතමනයක්. රාති‍්‍රයේ භයානක කුණාටුවකින් පසුව මගේ නිවස වතුරෙන් යට වුණා. වත්තේ පොල් ගස් දෙකක් විදුලි සැර වැදී, පිච්චිලා ගියා. මුහුද ඝන යි. නිල් පැහැය නැවතිලා...’

පබ්ලෝ නෙරුඩාට මුල්වරට ලක්බිම හඳුනා ගන්නට ලැබී ඇත්තේ එවකට චිලි රටේ ජනපි‍්‍රය ව තිබූ ලංකාවේ තේ (CEYLON TEA) පානය නිසා බව ඔහු පවසයි. තමා ගෙන ගිය තේ පැකැට්ටුවක් පසු කලෙක අල්මාරියේ කොණක තිබී හමු වූ මොහොතේ ඔහු අතින් ලියැවුණු ’ODA A LA CAJA DE TE’ (තේ පානයට උපහාර) කවි පෙළක් මෙසේයි.

අලි වෙසෙනා බිමේ උපන්
තේ කොළ ග‍්‍රහ ලෝක වගෙයි
නැත සුවඳේ සීමාවක්
පූජනීය බවක් හැඟෙයි

මා ගත සිත සුවපත් කළ
නැවුම් රසැති තේ පානය!
ඔබ වෙනුවෙන් මා හද තුළ
කවි වැල් එතනෙවා වගේ...
අහිමි ව ගිය ඔබෙ සුවඳත්
මල් පෙති නෙත් දුන් සුවඳත්
සමන් පිච්ච සුවඳ මුසු ව
මගෙ කුටියට හමා ඇවිත්!

මෙසේ සොඳුරු මතකයන් ඔස්සේ විසිතුරු කවි සිතුවම් ඇඳ මේ පුංචි දිවයින විශ්ව සාහිත්‍යයේ ඉහළ ම තැනක රඳවා ලන්නට දායක වී ඇති පබ්ලෝ නෙරුඩා අප විසින් සදා සැමරිය යුතු මහා කවියෙකි.

(උපුටා ගැනීම : සිළුමිණ, ජනවාරි...)