Saturday, January 23, 2010

තාත්තේ - ජූඩ් ප්‍රේමන්


නුඹ නොමළ බව දනිමි
නෙතට කඳුළු උණයි
නුඹේ ජීවිතය අප සතු වූවත්
හදවත ඉකි ගසයි

බීජයක් නොමළොත්
පැළයක් කොයින්ද
බිත්තරයක් නොබිඳුනොත්
කුරුල්ලෙකු කොයින්ද
උල්පතින් ගලන දියබිඳක්
එලෙසින්ම සිඳුණහොත්

ගංගාවක් කොයින්ද
එහෙත් කඳුළු උණයි

නුඹ හෙළු දහදියෙන්
පවස නිවුවෝ අපිමය
නුඹේ අතේ කරගැටෙන්
දිවි ලැබූවෝ අපමයග
නුඹේ බිලිපිත්තෙන්
පෝෂණය වුවෝ අපමය
නුඹ ලද ජීවිතයේ අරුත පිරිපුන්ය
එහෙත් කඳුළු උණයි

ඒ නුඹේ මරණයේ අරුත
අපට නොවැටහුණ හෙයිනි‍
මෙලොවදී ජීවිතය දිනු නුඹට
සග සුව පතන්නේ කෙලෙසද
නුඹ මළවුන් අතර නොවේ
ජීවිතය අපට දී
හැරී ගියා පමණි

ජූඩ් ප්‍රේමන්

18.01.2010

Thursday, January 21, 2010

යාළුවන් ගේ දැනුම හරි මිළයි - ගැමුණු පී. දසනායක


කර කියා ගත නො හී
හිත නිඳද්දී වැතිරී
හැර දමා ගර්වය ආත්මාභිමානය
ඔබේ ගෙදරට පැමිණෙමි
සිඟමන් පිණිස ඥානය

නමයෙදී කවි බැරුව
අව්වෙ දණ ගහපුවා
මං කාටවත් කියන්නෑ
වට පිට බලා මගෙ
ඕ ලෙවල් පිටුවක් ම
උදුර ගත් එකත් අනෙ කියන්නෑ
මා යාළු මහත්තයෝ
පිනට ඔබෙ ඥානය
මිටක් මට දෙන්නකෝ

ගෙම්බෙක්වත් කැපුවේ නෑ ජීවක
ඌට වමනෙ එනවා එතකොට මතකද
බ‍්‍රහස්පතිට වැඩි ලොකු ඔළු-වක්
තිබුණේ තාරකයට
ලෝකෙ බෝලයක් බවවත්
දැනගෙන හිටියේ නැතුවට

ඒ උනාට උන්ට තිබුණ
මහ විසාල ප‍්‍රාර්ථනා
නමින් වාසගමින් ලැබුණ
ඒ නිසා ම උන්ගෙ
සමා-ගමයට මං ආස කළා
බැරි පාඩම් හෙමි හෙමිහිට
කියා දුන්න හිස අත ගා

ඉස්කෝලෙන් කට්ටි පැන-චිත‍්‍රපටි බලන්නට
පික් පොකට් ගහන කොට- මං උඹට බැන්නා
ගුරු සිත රිදවලා- වෙලාවත් වරදවා
දහමාට ගහද්දී- මං උඹ අල්ලලත් දුන්නා
අයි වෝන්ට් ටු බී කියලා
නිහ`ඩ හිස්තැනක් තියලා
නුඹ ආපහු වාඩි වෙද්දි
අපි හයියෙන් හිනා වුණා

මං ඊයෙ ගියා ජීවකලහ
(ඊට කළින් තාරකලහ දහමයලහ
සමාවෙන්න දහම් මහත්තයලගෙ අහ)
උන් උන්නේ අඩි ගාණක් උඩ පොළොවෙන්
මං ඉල්ලූවාම ගන්න කිව්ව
ඒත් හරිම මිළයි එව්ව- මං ආපහු ආවා

මට මතකයි ධනය ගෙනැත්
අගේ කෙරුව හැටි පේන්න
රම්බෝගේ ස්ටිකරය
පස්සෙන්දා නුඹ ගෙනැවිත්
ස්ටිකර් ම ලොකු කොළයක්
පංතියට ම බෙදුවා

ඊට පස්සෙ ගුටි කෑවා ලොකු සර්ගෙන්
පදික වෙළෙන්දා ඇවිදින් පැමිණිලි කරලා
උගෙ ඔළුවත් පැළිලා

මං ඉදිරියෙ මේ ඉන්නේ
ඒ රම්බො ම වෙන්නට ඇති
බය වෙයන් කියල කිව්වත් මං
බය වෙන්නේ නැති

කට්ට අව්වෙ කෑ ගහලා
කට්ට මුසා වැකි අහලා
කට්ට කාල කට්ට කාල
රජ මැති ඇමතිල එක්කත්
ඔට්ටු වෙලා ඇති මං

කළු ගල් ගෙඩි වගෙ මස් ගොබ
දම්වැල සුදු යකඩ මහත
පපුව පුරා මකරාක්ෂ
බය කළාට කියන්න මං
බය වෙන්නේ නැති

බය නැතුවයි මං ආවේ
ලැජ්ජා නැතුවයි ආවේ
පිනට යමක් ඉල්ලන්නයි
නෑවිත් බැරි තැන ආවේ


ගැමුණු පී. දසනායක

කිවිඳිය - ටි. ස. ප‍්‍රියන්ත කුමාර ‐


ඇළ දොලක කඳු පෙතක ගැටෙන මඳ පවන ගැන
පුරසඳක පිපි මලෙක ගැමි සිරිය මවන තැන
සිල්වතක සිනාවක කුරුලූ කිචි ඛිචිය ගැන
යස රඟට රසකෙරූ කිවිඳි කොයි ඉන්න තැන

සොඳුරු සිත අහිමි පෙම ළසෝ දුක දැනෙන ඉම
හදබිලෙක ඇති පහස සිත රැඳුනු පළමු පෙම
විනිවිදව යන ලෙසින් චිත්ත රූ මැවූ එම
රසවදන් ලොවට දුන් කිවිඳි කොයි ඉන්න බිම

නුරාවක නෙත්සරක මුල්ම හාදුවක රඟ
ලියන සිත තැබූ තිත රැගෙන මුනිවතක මඟ
ඉරුනු හදවත් රුවල පාවෙනා ළසෝ ගඟ
ඉමක් නොදකින අපේ කිවිඳි දුර නොවේ ළඟ


ටි. ස. ප‍්‍රියන්ත කුමාර ‐
ගැබරෝන් ‐ බොට්ස්වානා

Thursday, January 7, 2010

අවසාන සාදය - සුභද්‍රා ජයසුන්දර


දැන දැනත් හිස් බවෙක මහ අපුල
ඇවිද යමි ඒ තුළ ට
සාලයේ මහ පහන් සැර එළිය
බුදු සිරස මුවාකර දිස්න දෙයි
ජැණ්ඩියට හිඳින පිත්තල පහන
ගෙදර අයගේ සිරිය කියා දෙයි

ඝන සැරට මුහුණු පින්තාරු කළ
කාන්තා සබා මැද
මම හිඳිමි අසරණව

අඳුන් නැති මා ඇස් ද
පාට වැඩ නැති වත ද - දකින්නී
විස්මයෙන් මෙන් බලයි
විස්මයම සිනාවක් ලෙස නගයි

මා නග්න දෑසට
පෙම් කරන නුඹ සිහිව
සිතම උතුරා ගලයි
සාංකා මොහොතක ට දුරුව යයි

‘දැකල නෑ පන්සලෙත්’
කියන්නී සුරඟන ක
‘යන්නෙ නෑ පන්සල් නම්’
බිත්තියේ වැඩමවන බුදු දෑස
මඳ සිනා පානු වැනි මට සිතේ

ඇඟ සිහින් වන ක‍්‍රම ද
කෙස්ස සකසන ක‍්‍රම ද
අවසන් ය
කේක් පාඩම හඬින් ඇරඹේ

කේක් නොහදන දෑත
එකට බැඳගමි තදින
අඳුන් නැති මා දෑස
වසා ගන්නෙමි තදින
කෝපයක් අවදි වන’යුරු දැනේ

සිහිනයෙන් සිහිනයක් සොයන ලෙස
නුඹ සොයා නැගිට යමි
‘කම්මැලිද’
පුරුදු ආදර දෑස
මගේ මුහුණට එබෙයි

‘ගෙදර යං’
තිර හඬින් මම කියමි

2009 දෙසැම්බර්