නිහඬ තිමිරය ගලා එයි
තඳුමුදුනතින් බැස
තුරු පඳුරු හිස්
දයාවෙන්
සිඹිමින් ගලාවිත්
කැටි ගැසෙයි
මිටියාවතේ
නොගැඹුරු තණ පඳුරු
වසාගෙන තැන තැන එකතුවන
ශ්වේත වර්ණ දිය කඩිති
සෙමින් සෙමින් ඉතිරී ගලත්
පිරී ඉතිරෙන්න නිම්නයම
විසල් පෙණ බුබලකින්
සිහිල් අතැඟිලි තුඩින්
දෙකම්මුල් කිති කවන
සරාගී නල රැල් මෙන්
මා ගතට නොදැනුනත්
හමා විත් රහස් කොඳුරන
අදිසි මදනල මෙන් නොව
තිමිරය මා නෙත් පුරා ගලයි
වසා පියවා මා නෙත්
දුහුළු සුදු සේද සළුවෙන්
විශ්වයම බොඳව යයි
දිදුලමින් පෙණ බුබුලක්ව
අන්ධය මා දෙනෙත්
උකුව යන ශ්වේතය
තිරි සයුර සේ නැගෙයි
මත්ස්‍යයෙක් වෙමි
හාත් පස වසා ගත්
උකුව යන සුදු පැහැය මිස
කිසිවක්, කිසිවක් ම නැත
ඔබේ ස්පර්ශය දැනෙයි
විහිද යනු මා නෙත් තුලින්
පිබිද ගලාවිත්
ඈත ගැඹුරු පතුලේ සිට
මා ඇතුලාන්තයෙන්
ආලෝක පුංඤ්ඤයක්
පිපී විහිදී
සියොලඟම වැලඳ ගනී
දිව්‍යමය වූ සිසිලසකින්
හදවතේ ගැඹුරුම ගැඹුරු
පතුලතත් පිරිමැදෙයි
අත පය ඇස් කන් නාසය
සියල්ල දියව යයි
ආලෝක බිඳුවක්ව
පිරී සපිරී
මහා ආලෝකයක් වී
ජීවිතය
හඟිමි.
No comments:
Post a Comment