නිසල අහසේ වලාකුළු නැති
සඳක තරුවක සෙවනැලිත් නැති
හෙවන යට තනිවී එවයි ඔබ
හිතම උතුරා ගලන කව් ගී
පන්හිඳේ තුඩගින් ලියා
හමන මදනල පත් ඉරුයි
රැගෙන එන ඒ මහරු සිතුවම්
මගේ නෙතගට පාවෙලා
රැයේ සිසිලස කැටිවෙලා
පිපේ සිතුවම් සැනසිලා
ඇඟිලි තුඩගින් වෙරල වැලි මත
ඇඳෙන රේඛා අතර රැඳවෙද
පලිඟු කැටයේ ජීවිතේ
මැවෙන මැකෙනා යලිත් පිපෙනා
සිහින ඡායා වල අරුත්
රළක දියවර මකන ඉරි යලි
යලි අඳින්නට දුවන සිතුවිලි
ඇඟිලි තුඩු අල්ලා
මගේ දෙතොලග තබා සිපගෙන
පියා ගමි නෙත් සැනසුමෙන්
ජීවිතේ මහ විසල් සිතුවම
දිග හැරේ මුළු නෙත් පුරා
අගක් නොපෙනෙන තණ නිල්ල අග
නිල් අහස පවුරක් ව විහිදෙයි
නිමක් නැත නිම් වලල්ලත් නැත
කොහේදෝ නොදනිමි නමුත්
අග මුලක් ගැන කෙලවරක් ගැන
වෙහෙස නැත සිත පිරී ඉතිරෙයි
සුවය සැනසුම ඒ විසල් බව
හිත පුරා රඳනා
ආදරේ මහ විසල් ගඟුලකි
ජීවිතේ සුවිශාල තණ බිම
දිය දෙවා ගලනා
රඳන්නට ඒ ගඟේ දියවර
සයුරු දහසක් එක්කලත්
නොහැකි වේමයි කෙදිනකත්
පිරී හැම සාගරයක්ම හමුවන
ගෙඟ් දියවර තුල ගිලී යයි
ගලයි ඒ ගඟ කෙලවරක් නැති
ජීවිතය නම්වූ මහා
විසල් තණබිම සියළු තණ පත්
පවස නිවමින් සිහිලඹින්
වියලි පරඬැල් පුබුදුවා
හරිත සළුවෙන් සරසවා
වියලි අසරණ තණ පතක් වෙමි
ගඟුල් දිය බිඳු සුවඳ සිපගෙන
නැගෙමි මදනල හා සැලී
පිපෙමි පිබිදී සැඟව යනමුත්
නැගෙන අපමණ තණ පතින්
හිස නගා මම අත දරා
ඔබ නමින් පිපිලා පරව යන
එහෙත් හැමදා යලි යලිත් පිපෙනා
සිඟිති
සුදුපෙති
සුවඳ මල්.
Tuesday, November 17, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment