දහසකුත් මහ සෙනඟ මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ
“ගෙවී යන කාලයට
බොහෝ දේ කළ හැකිය...
සදා සපථ වූවන්
ලිහා වෙන් කළ හැකිය...”
නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද
මායිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව
රඟ මඬල හස කැන් මැද
ළඟින් රඟ දුන් මිතු සඳ
සිමෙන්ති වේදිකාවෙන්
තවමත් නැගෙනවද අපෙ කට හඬ
එක්ව කළ අරගල වල
පින්සල් පහර -රතු සායමේ පැල්ලම
තවමත් ඇඟලි තුඩු අග
බොඳව ගිය මුත් නොමැකුණ
පාසලේ අවන්හල කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ට්ය
රස සිහිව උගුරෙහිම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ
මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත
හෙම්බත්ව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නොකියා
මග වැටුණු කවිය ලියමි මම
රැගෙන හෙමිහිට ඉවතට
ලොව කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment