Sunday, May 31, 2009

ඔටුන්න හිමි කුමාරයා නික්ම ගියේ ය - ප‍්‍රභාත් කරුණාරත්න

කුමාර කරුණාරත්න


හැළ මල්වලට තාත්තා කවදත් ආසා කළා. හරියට ඒක දැනගෙන වගේ අදත් බරට බරේ ඇහැළ මල් පාරට නමා වැටිලා. වැහි අඳුර අතරින් සැරින් සැරේ ඉකිගහන ආකහේ හඬා වැටෙන්න ඔන්න මෙන්න. ආදාහනාගාරයේ චිමිනියෙන් මෑත්වුණු තුනී දුම් රැල්ලක් හීන් සීරුවේ ඇතුගල දිහාවට පාවෙලා ගියා. හරියට තාත්තා ගියා වගේ. යනවා දැක්කා. ඒත් නතර කරගන්න බැරි වුණා.

ආදරය හඳුනන සුවහසක් පාඨක හදවත් සියුම් ලෙස සුසර කළ මානවවාදී ලේඛකයා, පෙ‍්‍ර්මකතා සාහිත්‍යය ඔස්සේ සමාජ අසාධාරණයට අභියෝග කළ විප්ලවවාදී ලේඛකයා ප‍්‍රබුද්ධ යැයි කියාගන්නා අතලොස්සකගේ මුවග නිරතුරු බයිට් වූ බොළඳ පෙ‍්‍ර්මකතා රචකයා, පොත් රාක්ක අතරේ වේලෙන්නට නොව මිනිසුන් හට කියවන්නට පොත් ලියූ ආදරණීය තාත්තා අන්තිමේ දී ඒ පොත්වල මතකය අතරේ ම සැඟ වී යන්න ගියා.

හත්වැනිදා උදේ මාමාගේ පුතා සුමින්ද කතා කළා. දරුවකුට ජීවිතයේ දී අහන්න ලැබෙන අවාසනාවන්තම පණිවිඩය රිසීවරය ඔස්සේ ගලාගෙන ආවා. තාත්තාගේ පුළුල් නළල් තලය ආධ්‍යාත්මය විනිවිද දකින තීක්ෂණ බැල්ම ලෙංගතු මන්දස්මිතය මා ඉදිරියේ සැණෙකින් ඇඳි විදුලි වේගයෙන් මැකී ගියා. උදාවෙමින් තිබෙන සිංහල අලුත් අවුරුද්දේ රබන් හඩින්වත් කොවුල් ගීයෙන්වත් යළිත් කිසිදා අවදි නොවන තාත්තා බලන්න යන්නට මම හිස් අතින් ම බස් රියට ගොඩවුණා. මීගමු පාර දිගේ හැල්මේ ගිය නොම්මර පහ කුරුණෑගල බස් රිය ජා-ඇලින් හැරිලා මිනුවන්ගොඩ, දිවුලපිටිය පහුකරගෙන කොටදෙනියාවේ නතර කළා. පුංචි එවුන් සන්දියේදී අම්මයි තාත්තයි එක්ක අපි නිවාඩුවට ගමේ යනකොටත් බස් එක මේ වගේ ම කොටදෙනියාවේ නතර කරනවා මට මතකයි.

තාත්තා පිළිබඳ මතකය මා විසින් අනාගතයට රැගෙන යා යුත්තේ කෙසේද? මගේ මතකය විය යුත්තේ අවසන් නින්දේ නිසලව සැතපෙන තාත්තා ද? නොඑසේ නම් මා සමඟ සදාතනික වූ මතවාදී යුද්ධයකට එළැඹි දැඩි මතධාරී තාත්තා ද? එසේත් නැත්නම් ජීවන යුද්ධය හමුවේ විටෙක පසුබසිමින් සහ තවත් විටෙක ඉදිරියට යමින් අප ජීවත් කරවූ තාත්තා ද? පරස්පර වූ සිතුවිලි සමුදායක් තුළ අතරමං ව පැමිණි මම බස් එකෙන් බැස්සා. උඹ වැරදි බස් එකේ නැගලා හැමදාම වැරදි තැනකින් බහින මිනිහෙක්. තාත්තා මට බොහෝ විට කිව්වා. වැරදි බස් එකේ නැග්ග මිනිහෙකුට හරි තැනින් බහින්න පුළුවන්ද තාත්තේ? බැරි ම තැන මමත් තර්ක කළා. තාත්තාත් මාත් අතර පැවැති ඇතැම් මත ගැටුම් සම්බන්ධයෙන් මා නිවැරැදි යැයි බොහෝ විට උපකල්පනය කරන මට එදා වැරැදුණා. හරි බස් එකේ ඇවිල්ලත් මම බැහැලා තිබුණේ ගව් ගාණක් දුර වැරදි බස් නැවතුමකින්. හැමදාමත් වගේ තාත්තාත් මාත් අතර පැවැති දුරස්ථ බව දෛවය විසින් අන්තිම මොහොතේදීත් තීරණය කළේ එහෙමයි.

අනෝරා වැස්සේ තෙමීගෙන මම ගෙට ගොඩ වුණා. තාත්තාගේ පොත් කියැවූ සුවහසක් පාඨකයන්ගෙන් පැමිණ සිටියේ තුන්හතර දෙනෙක් විතරයි. මම ගේ ඇතුළට ගියා. හිරිමල් යොවුන් පෙ‍්‍ර්මයේ පූජනීය යථාර්ථය හෝටල් කාමරයක් තුළ කිරුළු දරන උපත් පාලන කොපුවකින් ඔබ්බට රැගෙන ගිය අපූරු ලේඛකයා උඩුකුරු ව නිදා සිටියා. සමාජ අසාධාරණයෙන් හෙම්බත් වුණු යෞවයන්ගේ ඛේදවාචකයේ අලගිය මුලගිය හේතු හෙළිදරව් කරන්නට පෙ‍්‍ර්මකතාව මාධ්‍යයක් කොටගත් අදීන ලේඛකයාගේ නිසල සුරත ළය මත රැඳී තිබුණා. සිය කෘතීන් ඔස්සේ නවමු මතවාදී විප්ලවයක් හා පොදුජන ශක්තිය තුළින් මතුවන තරුණ දේශපාලන ප‍්‍රවාහයක් පිළිබඳ පෙරනිමිති දුටු ජනතාවාදී ලේඛකයාගේ දෑස් පියවී තිබුණා. දේශපාලන පිම්පිකම් කොට ගුරුකුලයන්ට කත් ඇද ලබන සම්මානයට වඩා ලේඛකයකු හැටියට මිනිස්සුන්ගේ සිත් තුළ පැළපදියම් වූ මතකයෙන් ලබන සම්මාන කෙරෙහි විශ්වාසය තැබූ තාත්තාගේ සිරුර මිනිසුන්ගෙනුත් ඈත එක් හුදෙකලා ගම් පියසෙක තනි වී තිබුණා.

තාත්තා ගේ අඩු ව හැබෑවට ම දැණුනු සමකාලීන හා යොවුන් ලේඛක ලේඛිකාවන් කීප දෙනෙක් සමඟ තාත්තාට හිතවත් පුවත්පත් කලාවේදීන් අතලොස්සක් දෙනා ඔවුන්ගේ ආදරණීය කුමාරයියාට අවසන් ගෞරව දක්වන්නට තකහනියක් ඇවිත් හිටියා. ලක්ෂ්මන් මල්ලවාරච්චි, එඩවඩ් මල්ලවාරච්චි, උපුල් ශාන්ත සන්නස්ගල, චන්දි කොඩිකාර, ගාමිණී අබේවික‍්‍රම, ශාන්ත කුමාර විතාන, රොඩ්නි විදානපතිරණ, අනුල ද සිල්වා, කරුණාරත්න ඩී.පිලිප්, රන්ජන් ද සිල්වා සහ කවදත් තාත්තාගේ හෙවනැල්ල වගේ හිටපු සුනිල් දයා අල්විස් වැනි අතේ ඇඟිලි ගාණටත් අඩු ප‍්‍රමාණයක්. ඒ හැමෝම වගේ ඉස්සරත් අපේ ගෙදරට නිතර දෙවේලේ ආ ගිය උදවිය.

මුල් යුගයේ දී තාත්තාගේ පොත් ප‍්‍රකාශයට පත්කරපු දයාවංශ ජයකොඩි මහත්තයාත් පසු කාලීන ව තාත්තාගේ පොත් පළ කළ එස්.ගොඩගේ, අතුල ජයකොඩි, රෝලන්ඩ් ප‍්‍රනාන්දු යන මහත්වරුත් තාත්තාගේ පොත් මුද්‍රණය කළ සමයවර්ධන හා එස් ඇන්ඩ් එස් යන ආයතනවල මහත්වරුත් ඇවිත් හිටියා. අම්මා මිය ගිය දා තාත්තා සමඟ දුක බෙදාගැනීමට යැයි පැමිණි බොහෝ ආචාර්ය මහාචාර්ය කලාකරුවන් සහ මාධ්‍යවේදීන් තාත්තා අවසන් ගමන් යද්දී පැමිණ සිටියේ නැහැ. ගම්මුලාදෑනිය ගේ බල්ලගේ මරණෙට ගම ම උන්නලු. ගම්මුලාදෑනියගේ මරණෙට බල්ලෙක්වත් උන්නෙ නැතිලු. ඒක අපේ ගම් පළාත්වල කියැවෙන ප‍්‍රසිද්ධ උපහැරණයක්. තාත්තාගෙන් පිං බත් කාපු පිං අඩි ගහපු ඇතැම් ඊනියා කලාකාර පිනාලාගේ නම් ගම් බොහොමයක් මට තවමත් මතක්වෙනවා.

තාත්තාගේ නිසල සිරුර දිහා බලාගෙන සැරින් සැරේ හූල්ලපු නංගි ඇරෙන්න රෑ එළිවෙනතුරු මිනියට තනි රැක්කේ පොල්තෙල් පහන් දෙකකුයි මදුරුවො කීප දෙනකුයි විතරයි. තාත්තාගේ ඇඟේ ලේ නෑ කියල දැනගත්ත මදුරුවො ටික ලේ තියෙන තැන් හොයාගෙන ගියා වගේ ම රෑ බෝ වෙන කොට නෑයොත් එකා දෙන්නා හොරෙන් ම ලිස්සලා ගිහිං. දැන් ඉතිං ලොකු තාත්තා ඉවරයි. ලොකු මාමා ඉවරයි. උන්දැගෙ දරුවන්ගෙන් දෙන්නෙක් ඉන්නෙ කොළඹ. තව දෙන්නෙක් ඉන්නෙ ඒරොප්පෙ. කුරුණෑගල ඉන්නෙ දෝනියැන්දැ විතරයි. අදින් පස්සෙ ඕකුංගෙං වැඩක් ඇතැයි කියල උන්ට වුණත් හිතෙන්න ඇති. හිතේ ඇතිවුණ වේගය කේන්තියකටත් කේන්තිය කලකිරීමකටත් කලකිරීම ආත්මානුකම්පාවකටත් ඒ ආත්මානුකම්පාව දැඩි ශුන්‍යත්වයක් බවටත් පරිවර්තනය වෙන්නට ගියේ පුංචි වෙලාවක් විතරයි.

පොල්පිටියෙ පන්සලේ ලොකු හාමුදුරුවො පාංශුකූලෙට වැඩම කළා. කුඩා අවදියේ ඉඳන් ම තාත්තාගේ හිතවතකු වන පොල්පිටියෙ පන්සලේ ලොකු හාමුදුරුවො ගැන තාත්තා තුළ කවදත් පැවතියේ විශාල ගෞරවයක්. මතක වස්ත‍්‍ර පූජාව පිළිඅරගෙන පැන් වඩලා මියගිය තාත්තාට පිං අනුමෝදනා කළේ උන්වහන්සේයි. ජීවිතයේ හිස් බව ඔස්සේ සසර දුක පසක් කරගන්නට වෙර දරන පැවිදි උතුමකු වුවත් උන්වහන්සේගේ කටහඬත් හිතවතකුගේ සදාතනික සමුගැනීම නිසා බිඳී ගිහින් තිබුණා.

පියෙහි විප්පයොගො දුක්ඛො.

අඳුරු වැහි වලාකුළු මහා වරුසාවකට අර අඳිනවා. තාත්තාගේ අවමඟුල් උත්සවය වීඩියෝගත කරන කැමරාව යොමුවන පැතිවලින් විතරක් විලාප හඬ ඇහෙනවා. මුහුණ පුරා සායම් තවරාගෙන වැලමිට ළඟට ම රත්තරං වළළු දමාගත් ශෝකප‍්‍රාප්ත ගැහැනු සොටු කඳුළු වගුරුවමින් තාත්තාගේ මළ ගේ නමැති මෙගා ටෙලිනාටකයට සිය උපරිම රංගන කුසලතා දායක කරමින් සිටිනවා. තාත්තා ජීවත් වූ කාලයේත් තාත්තා රැවටූ ඔවුන්ගෙන් ඇතැමකු තාත්තා මිය ගිය පසුව රවටන්නට වෙර දරන්නේ කාවදැයි මට වැටහුණේ නෑ.

එකිනෙකා රවටමින් තමන් ද රැවටෙමින් මරු කතරක් මැදින් ඇදෙන මේ ජීවන ගමන පිළිබඳව මීට වසර හතළිහකට පමණ පෙර තාත්තාගේ අතින් ලියැවුණු ජීවන ගමන සහ මරුකතර යන කෙටිකතා සංග‍්‍රහයේ ලියැවී තිබුණේත් මේ සදාතනික රැවටිල්ල ගැන ම නොවේද? තුන් කල් විනිවිද දුටු මහා දාර්ශනිකයාගේ නිදන නෙත් සඟල දෙසත් ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව උපේක්ෂාවෙන් සටහන් තැබූ නිසල සුරත දෙසත් මම මොහොතක් බලා සිටියා. ජීවිතයේ අනේකවිධ හැලහැප්පීම් මැද තරණය කළ දිගු ගමනේ විඩාව දැන් තාත්තාගේ මුහුණේ පෙනෙන්නට නෑ. ඒ වෙනුවට දැන් ඒ මුහුණේ තියෙන්නේ නිවී සැනසී ගිය තෘප්තිමත් පෙනුමක්.

බර්නාඩ් අයියා අවමංගල සභාව මෙහෙයවන්නට පටන් ගත්තා. අපේ ජනාධිපතිතුමා විසින් එවා තිබූ ශෝක පණිවිඩය කියවනු ලැබුවේ කුරුණෑගල නගරාධිපතිතුමා විසින්. ගිහි ශෝක ප‍්‍රකාශ සහ පැවිදි අනුශාසනා සියල්ල ම ඉතාමත් කෙටියෙන් සිදු කෙරුණා. හාමුදුරුවරු සිය අසුන්වලින් නැගිට එළියට වැඩම කරන්නට පටන්ගත්තා. හීන් ඉකියක් මහා විලාපයකට පෙරළුණා. ඒ නංගී. තාත්තාගේ පණ. තාත්තා වැඩිපුර ම රණ්ඩු වුණේ නංගිත් එක්ක. වැඩිපුර ම ආදරේ කළේත් නංගිට. නංගිත් එහෙමයි. දෙන්නට දෙන්නා නැතුව බෑ. වෙලාවට බේත් හේත් ටික දීල කෑම බීම ටික ළඟට ගෙනත් දීල තාත්තගේ හැම ඕනෑ එපාකමක් ම හොයා බැලුවෙ නංගි.

ගුරුවරියක් වන නංගි දවල්ට ඉස්කෝලෙ ඇරිල එනකල් තාත්තා බරාඳයේ හාන්සි පුටුවේ වාඩිවෙලා පාර දිහා බලා ඉන්නවා. නංගි දැක්ක ම ඇස් දෙකේ දහසක් මල් පිපෙනවා. ගෙට ගොඩ වෙන නංගි පස්සෙන් අම්මා කෙනෙකුගෙන් බත් ඉල්ලන පුංචි දරුවෙක් වගේ හීන් සීරුවේ ඇදිලා එන හැටි මට මැවිලා පේනවා. මගේ උගුරේ උණු අලගෙඩියක් හිරවෙලා වගේ. හිත ඇතුලේ කැකෑරෙන මහෝඝයක් එකපාරට ම එළියට පනින්න දඟලනවා. අදින් පස්සෙ ඔය පුටුවට වෙලා තාත්තා උඹ එනකල් පාර බලන්නෙ නෑ නංගියේ. ගෙට ගොඩවෙලා ආපහු හැරිලා බලාපන්. බත් දෙකටක් ඉල්ලගෙන උඹ පස්සෙන් ආපු තාත්තා උඹට ආපහු කවදාවත් පෙනේවිද නංගියේ? තාත්තේ බත් කමු කියලා හෙට රෑටත් උඹ තාත්තට අඬගහන හැටි මට මේ දැනුත් ඇහෙනවා වගේ.

මල්වත්තක් වගේ සුන්දර මල්කඩුවාවේ සොහොන් බිමේ අරලිය මල් පිපිලා. ඇහැලමලට පෙම්බැඳි කුමාරයා එන පෙර මඟ ඇහැල මල් පාවාඩ එළලා. තමන්ට දාව උපන් ආදරණීය පුත් කුමාරයා සිය උණුසුම් තුරුලේ හොවා සතපන්නට පාරමී පුරන ඇතින්නක සේ තුමුළ ඇතුගල ඈතින් බලා ඉන්නවා. ආදාහනාගාරයේ චිමිනියෙන් අන්තිම දුම් රැල්ලත් හුළඟට මුසු වුණා. ආපහු කවදාවත් විඳින්න බැරි දුම් රැල්ලේ සුවඳ මගේ අධ්‍යාත්මයට උරාගන්න මම අසාර්ථක උත්සාහයක යෙදුණා. යමුනා.. සමාධියෝ.. හංස පැටියෝ.. චාමර බයියෝ.. ආං බලාපල්ලා.. අපේ තාත්තා හීන් දුමක් වෙලා අර ඇතුගල දිහාවට පාවෙලා යනවා. උඹලට පේනවද? අර.. අර.. අර යන්නේ. ඒ අපේ තාත්තා බං.

නම කියපු ගමන් රට ම දන්න තාත්තා... කෙල්ලන්ගේ කොල්ලන්ගේ පපුවලට කතා කරපු වරදට බොළඳ පෙ‍්‍ර්මකතා රචකයෙක් කියලා හංවඩු වැදුණු තාත්තා.. මෙලෝ රහක් නැති ගුරුකුලවල ප‍්‍රබුද්ධයන්ට අජීර්ණයක් වුණු තාත්තා.. රෑ තුන්තිස්පැයක් ඇඟිලි ගෙවෙනකං ලියලා ලියලා අපිට කන්න දීපු තාත්තා.. උඹලට මතකද.. ලොකු අයියත් එක්ක හැමදාම කොක්ක දාගත්ත තාත්තා මතකද.. අපි කාටවත් හරියට අඳුරගන්න බැරිවුණ අපේ තාත්තා.. අර .. මේ දැන් හීන් සීරුවේ අතනින් පාවෙලා ගියේ. කෝ .. උඹල තාම දැක්කෙ නැද්ද බං?

(සිළුමිණ - මැයි 24, 2009)

කවියාගේ බිරිඳ - ජයරත්න සමරසේකර

කවියාගේ බිරිඳ

”කවි ලියන බමුණකුට විරුද්ධව බැමිණිය මෙසේ දොස් නැගුවා ය.. කවියෙන් කුමන එලක් ද? ඕනෑ හාල් ය.”

මේ රුදුරු කටු ඇනෙන දිවි මග
අහස පොළොව ද එකට කැටි කොට
විශ්වය ම තුරුලට රැුගෙන මම
ලියමි කවියක් හිස නමා ගෙන

තවුස් අරණක සේම ගේ තුළ
නිසල බව හිස පැළඳ ගෙන ඇත

නොහඬවා පුතු ළමැඬියෙන් ගෙන
හෙමි හෙමින් පියවර තබා ගෙන
පවන් රැුල්ලක් විලස අවුදින
බලයි ඔබ මා ලියන කව දෙස

බත් උලක් කැඳ සරලුවක් මුත්
දිව බොජුන් විය ඔබට කවදත්
එහෙත් කවියා වුණ ද පොහොසත්
ගෙ තුළ නැත සුණු සහල් ඇටයක්

මා අසල මිටි බංකුවේ ඉඳ
සෙමිින් කියවත මා ලියූ කව
දකින්නෙමි ඔබෙ සිනා වත තුළ
සොඳුරු වන ලොව හෙට උදෑසන

සඳ නැගී විත් වළාකුළු මැද
එළිය වී ඇත ඔබේ හද ගැබ

ලියන මේ කව රැගෙන මතු දින
ගම් දනව් සැරි සරා යමි මම
එකම කුස ඔත් සෝවුරන් වී
ඔවුන් දෙනු ඇත හාල් මිට මිට

කවුළුවෙන් එන සිහිල් පවනක්
හොරෙන් හිනැහෙන සඳ ඇබින්දක්
ලෙසින් මා ළඟ සෙමෙන් වැතිරී
හිඳී ඔබ මා කවි ලියන තෙක්..

ජයරත්න සමරසේකර

ශෝකාන්තයේ රාත‍්‍රිය - 1995

Saturday, May 30, 2009

ඇසළ කළුවර - එම්.එච්.එම්. ෂම්ස්

අසල්වැසියාගේ හද ගැහෙන රාවය හඳුනා ගන්නට... කවි..

එම්.එච්.එම්. ෂම්ස්

සුප‍්‍රකට මුස්ලිම් කවීන් බහුතරයක් නැගෙනහිර පළාත නියෝජනය කළ ද එම්.එච්.එම්. ෂම්ස් මාතර, දික්වැල්ල ප‍්‍රදේශයේ උපත ලද්දෙකි. දික්වැල්ල ලේඛක පරපුරෙහි පුරෝගාමිකයෙකු වූ ඔහු කෙටිකතාකරුවකු, නවකතාකරුවකු. ගීත රචකයකු හා මාධ්‍යවේදියෙකු වශයෙන්ද කීර්තියක් හිමි කර ගෙන සිටියේය.

දශක ගණනාවක් තිස්සේ දෙමළ පද්‍යයේ ආකෘතිකමය පර්යේෂණ වල නිරත වූ ෂම්ස්ගේ කවි එකතුවක් පොතක් ලෙස සංග‍්‍රහ නොවීම ද විශේෂයකි. ලේක්හවුස් ආයතනයේ ’තිනකරන්’ ජාතික පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා ලෙස ද ඔහු කලක් කටයුතු කළේ ය. සිංහල සාහිත්‍යකරුවන් සහ සාහිත්‍ය නිර්මාණ දෙමළ බසට හඳුන්වා දීම ද ඔහුගෙන් සිදු වූ තවත් මෙහෙවරකි. මාතර, වැලිගම ප‍්‍රදේශයේ පදිංචි ව සිටි ෂම්ස් මීට වසර කීපයකට දපර අප අතරින් සදහටම සමුගත්තේ ය.

ඇසළ කළුවර

කළු වළාකුළු කැලම විසිරිලා නොයාවි ද
චන්ඩ වූ කුණාටුව ක්‍ෂය වෙලා නොයාවි ද
සහෝදර සුගන්ධය හමා ආ අතීතේ මතකයන්
ඉතිං යළි නොයේවි ද?

මල් උයන් වල රනින් මල් වැලක් පිපෙන්නයි
මාරුතය හෙමින් විත් දැලි කහට මකන්නයි
කෝවිලේ සීනු හඬ බෙර හඬක වෙළෙන විට
සාමයේ සත්සරය අවදි වෙයි
නෙතු කුසුම් වල අඳුන් බොඳ නොවුණු
අතීතේ මතකයන්
ඉතිං යළි නොයේවි ද?

පහන් වැට දරා හුන් පහන් සිළු උදුරනා කුණාටුව
යළි යළිදු නොඑනු මැන !
අරුණු ලියගේ දෙපා සළඹ සර
සහෝදර පණිවුඩය රැුගෙන එයි
මීරි මී ඉතිර යයි
ප‍්‍රමෝදේ මං දෙපස මිනිස්කම ගීයක්ව
සෝසතන් නිවාලන නැළවිල්ල ගයාවි ද?

පරිවර්තනය: නිලාර්. එන්. කාසිම්

සහෝදර පියාපත්

Tuesday, May 19, 2009

විස්මිත පිහාටුව - තරංග ජයසේන

විස්මිත පිහාටුව

පාඨකය, නවතිනු!
විස්මිත පිහාටුවක් අප‘තින් ගිලිහී බිම වැටී තිබේ. එන්න- එය අහුලා ගනිමු.

විස්මිත පිහාටුව
බැද්දේ මහ නුග ය මුල වතළ.

අඩවන් නෙතට ඉඳුනිල්
ඇල නෙතට ස්වර්ණ වර්ණ
පළල් නෙතට මයුර නිල්.

හිරු රැසට ෂඞ් වර්ණ රශ්මි
පවන් රැල්ලට ද තීක්ෂණ වර්ණාවලී.

භ‍්‍රාන්තියට පත් වීමි
අතල මත තබාගෙන.

ප‍්‍රලාපයක් විය බොල්
මොහොතකින්
නූතන සකල උත්තුංග
තාක්ෂණ වික‍්‍රම.1

පිහාටුවකට අපේ් දිවිල්ල නැවතිය හැකි නම්, නැවතී අහුලාගෙන විඳින්නට කිසිවක් ප‍්‍රදානය කළ හැකි නම්, නෙක වර්ණ මවා විශ්මයෙන් ද සොඳුරු සංකල්පනාවන්ගෙන් ද අප පුරවාලිය හැකි නම්... එ කවර නම් ආශ්චර්යයක්ද? සොබා දහම යනු එ පෙළහරයි. ගුප්ත වූ ද එපමණකටම සොඳුරු වූ ද රහස් ප‍්‍රකෝටි සංඛ්‍යාවක් ගැබ් කොට තැනූ නිධානයයි!

එ අපූර්වත්වය විඳ ගන්නට නම් මේ දිවිල්ල නැවතිය යුතුය. අපි මත බලෙන් පැටවූ මේ ක‍්‍රමය සමග නිවට ලෙස එකඟව නිදි වැද, එයින් ම පහර කා ආතුර ව හති හලමින් නැවත නැවතත් මේ බඩජාරි ධාවනයටම එකතු වෙන්නෙමෝ නොවෙමුද? ඔරලෝසු සමග යුද වදිමින් අසීමිත අවශ්‍යතා ලූහු බඳිමින් දුවන මේ දිවිල්ලේ ඉම කොහේ්ද? අපේ මුල් පිටපත ඇත්තේ සොබා දහමේය! අප එ බලෙන් අමතක කර දමා වෙනත් දේ පස්සේ හඹා යන්නෙමු. ලැබෙන සුළු හෝ ඉසිඹුවක දී අම්මා සොයා ඇදෙන දරුවෙකු වාගේ අප සොබා දහමට ඇදී යන්නේ එ නිසාවෙන්ම නොවේද?
මේ වග විත්තිය මුදලාලි කෙනෙක් ගැනය!

”හොරෙන් කැලෑව කැපූ මුදලාලි ලී ලොරිය කොළඹ යවා, එ කටයුතු නිමා කර මේ පල්ලම් බහින්නේ හැඩ ඔයෙන් නා ගන්නටය.

නිල් පාට පිරිසිදු වතුරෙන් ඔයේ පත්ලත්, හදිසියේ මෙන් එහාට මෙහාට දුවන මත්ස්‍යයනුත් දුටු මුදලාලිට ”ෂා අගේ ඇති වතුර ටික”යි කියවෙයි. තමන් නෙත ගැටුණු- තමන් සොයා ගත් මෙම සෞන්දර්යය පෙන්වන්නට කෙනෙක් ළඟ ඇත් දැයි ඔහු වට පිට බලයි. කිසිවෙක් අහලකවත් නැත. ගෙදර කට්ටිය සමග ආවා නම් හොඳ යයි ඔහුට සිතේ. හැඩ ඔයේ ම ඇඳි ඉරක් සේ මේ හැඟීම් මුදලාලි තුළ ඇති වී නැති වී ගියමුත්, මෙම ක්ෂණිකාලෝකය සදාකාලික ලෙස රඳවා ගැනීමට කලා රසාස්වාදයෙහි නිරත වී සිටින ඔබට අපහසු වන්නේ කෙසේ ද?”2

සැබෑ වශයෙන්ම කවියෙකු කවියට නගන්නේත් සිත්තරෙකු කැන්වසය මත සිත්තම් කරන්නේත් මේ හැඟීමය! සිය පෞද්ගලික වින්දනය මුළු මහත් ලෝකය සමග නිර්ලෝභී ලෙස බෙදා ගැනීමේ තීරණය විසින් කලාව උපද්දවයි. එ තීරක මොහොත මිනිස්කමේත් ආදරයේත් මොහොතයි! අපේ ආත්මයන් සොබා දහමේ ම දිගුවකි. කලා නිමැවුමක් යනු එ ආත්මීය ප‍්‍රකාශනය නිදන් කොට නිපැයූ කිසිවකි. සැබැවින්ම කලාවත් අපත් අතර ඇති නොසිඳෙන ලේ නෑකම මෙයම නොවේද? පාරිභෝජනවාදයේ කර වටක් ගිලී හුස්මක් අයදිමින් සිටින මේ වත්මන් මොහොතෙහි පවා කවියක්, සිත්තමක් හෝ වෙන යම් කලාංගයක් විසින් අප සුවපත් කෙරයි. කලාව හුදු වෙළඳ භාණ්ඩයක් ලෙස වෙස් ගැන්වූ අවකාශයක එ වෙස් ඉරා වනසා සැබෑ විඳීම මතු කරගත යුතුව තිබේ.

හුදු උදරාර්ථය වෙනුවෙන් නැතක් වද වේදනා විඳින- ජීවිතයේ නොනිදන මුළු කාලයම එ වෙනුවෙන්ම ගෙවන බොහෝ දෙනෙකුට, සොබා දහම හෝ සාහිත්‍යය විඳීම වෙනුවෙන් කැප කරන්නට කාලයක් ඇත්තේ නොවේ. දින නියමයක් නැතුව ජීවිතය විඳීම කල් දමා බඩ- ඇඟ සහ බැංකු ගිණුම වෙනුවෙන් පමණක් ජීවත්වන මිනිසුන් සොයා ගොස් ඔවුන් විසින් අමතක කර දමා ආ මුල් පිටපත සිහි ගැන්වීම අද දවසේ කවීන්ගේ කලාකරුවන්ගේ දේ්ශපාලනයයි! වඳ පීදුනු අනාගතයට දෙස් තියමින් පැරණි රසාංග ගසමින් අලස සුව විඳීමෙන් සිදු වෙන වෙනසක් නැත. කළ හැකි ඉතාම සුළු දෙය හෝ කිරීම අද දවසේ අපේ යුතුකමයි.

සෙමෙන් එන්න ඔය සළු උනා- මේ සියළු සොඳුරු දේ ඔබටයි! අපි සෙමෙන් කියවමු.

සුන්දර ම බිම් කඩක
මේ නදී ඉවුරේ
කුඹුක් වියනක් යට සදා දාහනය නිවනා
නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ

අතරින් පතර රතු කොළ උඩු වියනෙහි
දිගු ඇඟිලි තුඩින් පවනේ සෙලවී මෑත් වී
පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක් සේ
එහි ම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී

හිරුගෙ තඹ රැුස් ගලන සඳ ගඟ ගලන දෙසට ම
උඩු වියන් යට මඳ අඳුර තුළ ගලන මිණි කඳ
මෙලෙස පැවසිය නොහැකි අසිරිය කවි බසින් මිස
සසර අන් බැමි බිඳී ආලෙන් බැඳෙයි මා සිත

සිනාසී පෙණ පිඬු සේ
දිය තත් ගල් අතර බිඳ දා නාද අනුනාද නංවා
කෝමල ව ඇඹරී විලියෙන් පවසනා
පසක් වේ ඔබේ බස - බසක් සේ සුපුරුදු

වීසිකර අත බැඳි ඔරලෝසුව
ගලවා දමමි මිරිවැඩි- කොහේ යන්න ද ඔබ හැර
උනන විට සළු එකිනෙක
පෙනේ අඳුරු සෙවණල්ලක්ව
ඡයාව මගේ ම සිරුරෙහි

තුරුළු වනු මිස
ආදරයෙන් සෙමෙන්
වෙද අන් මඟක්
මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා3

මේ වින්දනීය අවකාශයට ඇත්තේ් විශාල ඔඩොක්කුවකි! එහි හැම කෙනෙකුටම ඉඩ තිබේ. ඊට අවනත වෙන්න. අර කියූ විස්මිත පිහාටුව තරමටම කවි ද අසිරිමත් ය! ඔබ එය දුටුවා ද? ගං දිය දැක මුදලාලිට එ සොඳුරුබව තවකෙකුට පෙන්වන්නට සිත් වූ පරිද්දෙන්ම හොඳ කවක් දුටු සැණින් ඔබට මතු වන්නේ එය ඔබේ සමීපතමයන් සමග බෙදා ගැනීමේ හැඟීමක් නොවේද? ලෝකයේ ඇත්තේ මිනිස් වර්ග දෙකකි. එනම් ”විඳින්නන්” සහ ”නරුමයන්”ය. දෙවන කුලකය විශාලය. විඳින්නන්ගේ් කුලකය රතු දත්ත පොතට වැටෙන්නට ආසන්නය. මේ නිශ්චිත මොහොත වියදම් කළ යුත්තේ්, ”නරුමයන්ගේ” ගොඩට මිසයිල ගැසීමට නොව උන්ගෙන් එකෙකු දෙන්නෙකු හෝ ”විඳින්නන්”ගේ ගොඩට දිනා ගන්නටය. එසේ් දිනා ගැනීම අහඹුවකින් සිදු වෙන කිසිවක් නොවේ. එය විඳීමේ ”මැජික් එක” සමාජගත කිරීමේ දැනුවත් සාමූහික ව්‍යාපෘතියක් විය යුතුය. එ සඳහා මිනිසුන් නරුමයන් කිරීමට ක‍්‍රමය යොදන මූලෝපායන් ගැන නිසි තක්සේරුවක් සහිතව එ මූලෝපායන් සහ මාධ්‍යයන් ඇසුරෙන්ම නිපදවාගත් ප‍්‍රවේශයක් තිබිය යුතුය. ඌරාගේ මාළු වෙන වෙන ලෑලි මත තබා කැපීමෙන් පලක් නැත!

කිසිදිනෙක කවියක් නොකියවූ කෙනෙකු නරුමයන්ගේ ලෝකයේ සිට විඳින්නන්ගේ ලෝකයට දිනා දීමට තරම් අපූර්ව නිර්මාණයකි මේ. එය සැබැවින්ම විස්මිතය! විඳින්න!

අපමණ සිහින් බිඳු ලෙස
ඇද හැලෙන වැසි දිය
කිසිදු හැඩයක්
ඉතිරි නොකර ම
සැඟව යන වැසි දිය

කළ ඇතිළි නෙක බඳුන්
ළිං පැන් පොකුණු වෑතල
තම තමන් ගේ් හැඩයෙහි
එ ජලකඳ බහා ගෙන
උදම් වන

හිමි කරුවෝ ද තුටු වෙති
මේ අපේ් ළිඳ යැ යි
අපේ් පොකුණැ යි කියමිනි

නිලන අතු පතරෙහි
සෙමෙන් මිමිනෙන රහසකි
”හැඩයක් ඉතිරි නොකර ම
පොළවට උරා ගන්නා
වැසි දහර ම ය ඉමිහිරි
එවන් වැසි සුව වළඳමි”4

විඳීමේ ඉම කොහේද? ඉහළින් වලා වියන සෙවිලි කළ නිල් අහසත් පහළින් නිම්නැති ජීවයෙන් ගැබ් ගත් මහ පොළොවත් අතර වූ අවකාශයම අපේ්ය. අපේ විඳීම් අපරිමිතය. ඇතැම් කවියක් එ සොඳුරු බව යළි උපද්දවා ඔබට වැස්සේ පිණි පාගන්නට අඬ ගසයි! මේ බලන්න.

කඩියෙක් දෙන්නෙක් කෑවා ම මක්වෙයිද
කඩිසරයි උන් හරියට
හීතයි ටිකක් වැඩිය නොව
සුළඟත් තවම අළුත් පිට
පිණිත් තණ පත් මත.
ඉර එන්න තව කල් ඇත
ආසා නැද්ද නිකමට
පා සඟවන්න පිණි යට
එන්න අනේ
වැතිරෙන්න තණ පලස මත
ඉර සැර වෙන්න පළමුව.5

සොබා දහමේ අපූර්වත්වයෙන් තිගැස්සෙන්න! එන්න. හීතල පිණි වැටුණු තණකොළ ගොල්ලේ් දිව යන්න. බිම තණ පත් අතුරුණුවක වැටී ඇති කුරුළු බිත්තරයක පුදුම පැහැය ගැන විමසන්න. තණ පලසේ් උඩුබැලිව හැරී නිදමින් නිල් අහස නරඹන්න. අහසේ් වලා අඳින යෝධ සිත්තම් දැක විස්මයෙන් ගොළු වෙන්න.

ඉහළ නිල් තලය පෙර සේ්ම
නොසැලී ගනව පැතිරෙන ඈතට
පහළ සුදු වලා සෙන් සැදී පානා
රැුඟුම් නරඹමි තනි ව ම

මහ උරග, ඇත්, අස් රූප හා
ධවල පර්වත මවයි පෙරළයි
රජුන් රකුසන්
යෝධ පිළි රූ
සදා සැණෙකින්
විසුනු කරලයි

එක ම හැඩයක
තිර ව නො රඳයි
සියළු රූ අන්තර්ධාන කොට
ලිහී සුළෙඟහි අදිසි වී යන
වලාකුළුවල
බස ඇසෙයි!6


උපුටන-
1. ”කුදු බව”- බණ්ඩාර සෙනෙවිරත්න (ඉඳුවර පොකුණ. විහිදුම. 2008.01*
2. ලාල් හෑගොඩගේ ”මා මිනිසෙක් ඔබ ගඟක් නිසා” කාව්‍ය සංග‍්‍රහයේ් පෙරවදනෙන්.
3. ලාල් හෑගොඩගේ ”මා මිනිසෙක් ඔබ ගඟක් නිසා” කාව්‍ය සංග‍්‍රහයේ එම නමින්ම යුතු කව.
4. නන්දන වීරසිංහගේ ”චන්ද්‍ර බිම්බ” කාව්‍ය සංග‍්‍රහයේ ”වැසි” නමින් යුතු කව.
5. ආරියවංශ රණවීරගේ ”එළිමහන් කවි සහ ගුහා කවි” කාව්‍ය සංග‍්‍රහයේ ”උදය” නමින් යුතු කව.
6. නන්දන වීරසිංහගේ ”චන්ද්‍ර බිම්බ” කාව්‍ය සංග‍්‍රහයේ ”සුදු වලා රංගනය” නමින් යුතු කව.

තරංග ජයසේන

Monday, May 18, 2009

සුවඳ රැගෙන පරව යන්න - සුජීවා ප‍්‍රියදර්ශනී ඉලංගතිලක

සුවඳ රැගෙන පරව යන්න

මලයි සුවඳයි නුඹයි මමයි නම්
සුවඳ කොයින්දෝ මලේ නුඹ නැති දා
සුවඳ නැති මලක් නැත
බුදු පුදට ගන්නේ

ඉතින් මලේ සුවඳ රැගෙන
පිපියන් සුවඳ මල් දෙන වැලක
එපා පිපෙන්නට සුවඳ නැති
මල් ගෙනෙන මල් වැලක

මලේ ලස්සන තිබුනට මදිය
සුවඳ නැති නම්
ලොව සුවඳවත් කල හැකි වන්නේ
මලේ නුඹේ සුවඳටයි

සුවඳ නොදන්න මිනිසුන් ඇති
මේ ලොවේ
එපා පිපෙන්න සුවඳ නැති
ලස්සන මල් සොයන ලොවේ

එපා බිදෙන්න සුවඳ මලේ
සුවඳ නොදන්න අතකට
සුවඳ රැගෙන පරව යන්න
තවත් සුවඳ මල් දෙන වැලකට


සුජීවා ප‍්‍රියදර්ශනී ඉලංගතිලක

කුට්ටම් ලේ පොකුණ - ඩෝසන් ප‍්‍රීති

කුට්ටම් ලේ පොකුණ

පොලොව මත අලුත් ආවාට
පරදාද සඳ මතුපිට සිසි රුව?
උල්කා නොව ෂෙල් පතිත
ඒ ආවාට සඳ මත මෙන් නොව
උණු රුහිරෙන් පිරී ඇති
රුධිර ස්නානයට සූදානම්
යකඩ කැබලි මූණිස්සම් අහුරු
ඇග මත උලා ස්නානයට
කුට්ටම් පොකුණ සූදානම්
ඇග උලන්නට වෙඩි බෙහෙත්
කන් සුද්ද කරනට
බයිනෙත්තු ද සමග
උණු රුහිරු පොකුණ සූදානම්

රාජ රාජාධි මහේෂාක්‍යයෝ
සහ දහස් අන්තඃපුර ලියෝ
ගිලි ගිලී නෑ ඒ කුට්ටම් ලේ පොකුණ
සූදානම්
සුමංගල මොහොත දැං දැං උදාවන තුරු
නැකැත් ගණින්නනි
අන්න අර බලන් අහස
කාල සර්ප යෝගය උදාවන රග
ගිල දමා ග‍්‍රහ මඩුලු;
එක් පසක
රාහු සහ කේතු

ඩෝසන් ප‍්‍රීති 200905

Thursday, May 14, 2009

යාත්‍රා 2 - බුද්ධදාස ගලප්පත්ති

video

පරිවාර සම්මුතිය

ඔටෝ රෙනෙ කැස්ටිලෝ - මහේෂ් මුණසිංහ


ඔටෝ රෙනෙ කැස්ටිලෝ
1936 දී උපත ලැබූ ඔටෝ රෙනෙ කැස්ටිලෝ ගුවාතමාලානු විප්ලවාදියෙකි. ගරිල්ලා සටන්කරුවෙකි. කවියෙකි. 1954 දී සී.අයි.ඒ. සංවිධානයේ සහයෝගයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආර්බෙන්ස් රජය බලයෙන් පහකරනු ලැබීමෙන් පසු කැස්ටිලෝ එල් සැල්වදෝරයට පලාගිය අතර 1956 දී ජර්මනියට ඇතුළු වී සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය. 1964 දී නැවතත් ඔහු ගුවාතමාලාවට පැමිණ කම්කරු පක්‍ෂයේ කි‍්‍රයාකාරීව වුවද නොබෝදිනකින්ම රාජ්‍ය විරෝධී ප‍්‍රකාශන නිසා අත්අඩංගුවට පත්විය. එහෙත් අත්අඩංගුවෙන් මිදීමට සමත් වූ කැස්ටිලෝ යුරෝපයට පලා ගියේය. පසුකාලීනව රහසිගතව ගුවාතමාලාවට පැමිණ සැකේපා කඳුවැටිය ආශි‍්‍රත සන්නද්ධ ගරිල්ලා මෙහෙයුම් කණ්ඩායමකට සම්බන්ධව කි‍්‍රයාකාරීව සිටියදී 1967 දී සහෝදර කාඩර් වරුන් සමඟ කැස්ටිලෝ අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව අමානුශික ලෙස වදදී පනපිටින් පුළුස්සා මරා දමන ලදි.
කැස්ටිලෝ ගේ බොහෝ කවි ජර්මනියේ දී හා ඔහු ගුවාතමාලාවේ කම්කරු පක්‍ෂයේ කි‍්‍රයාකාරීව සිටියදී ප‍්‍රකාශයට පත්වූවා වේ.

අදේශපාලනික බුද්ධිමතුන් - trans. by මහේෂ් මුණසිංහ


එමඟ බිහි වන මුල - සුසන්ත ජානක


Tuesday, May 12, 2009

නගුල් තරුව - රවී සිරිවර්ධන

එකමත් එක බෝ ගසකට

(නිමිත්තඃ නුගේගොඩ බෝ ගස)

ළතෝනි තියමින් එන රථ
හුස්ම ගන්නා තැන ම නිසලව
දුක්ඛ සත්‍යය ම අතු රිකිලි වන
තිත්ත කුණුහරුප ය මතක බණ...

අට අනූවක් පෙර නිමිති රැස
දැක පලා නොගොසින දිවිය හැර
කැඩී අත පය හිඳින බුදුනට
දිවා රෑ රැකවරණ සලසන

පැට්‍රෝල් දුම් සුවඳ ධූපය
ශ්වාස රෝධක වුණත් පිළිගෙන
අතැඹුලක් කොට අෂ්ට ලෝ දම
උපන් දා සිට තනිව වළඳන

පුද බිමක සැප උරා බැජඹෙන
බෝ රුකට කිසි කලෙක නොපෙනෙන
සදාකාලික සත්‍ය තිස්පැය
කරන්නෙ ය වණ පොත් සොඳින් නුඹ

රවී සිරිවර්ධන
1999

පන්හිඳම කග පතක් කළ මැනව - ලක්‍ෂ්මන් කහටපිටිය

පන්හිඳම කග පතක් කළ මැනව

කටු කොහොල් ගල් බොරලු පිරී ගිය මේ බිමේ
ගමන් මග දුෂ්කරය විඩා සිත ඉකි බිඳී
මකාලනු පිණිස නෙතු කොණේ රැඳු කඳුළු බිඳ
උපන්නෙය පෙර දිනෙක මේ බිමේ නමින් ඔබ

රැඳුණු ගන අඳුරු තිර ඉරා කළුවර මකා
දල්වමින් ප්‍රභාතයේ අනවරත බුද්ධියේ
කතරකට වට සිහිල් මුතු වැස්ස වූ ලෙසේ
දොරට වැඩි දින ලැබූ සතුට පවසමි කෙලෙස

සිතින් සිත දොරින් දොර ගමින් ගම පහන් කළ
බුද්ධිමය ප්‍රබෝධය ඔබම විය නිබඳවම
ඉනික්බිති කල් පිරී මල් නැකැත් කල් එළැඹ
මල්වරව සිනාසෙන දින දුටිමි ඔන රුසිරි

නොකිළිටිය - පිවිතිරිය - එඩිතරය මුව මඬල
නොපැකිළය කරන්නට - කළ යුතු වූ යුග මෙහෙය
ඔබ අගය හැඳින දත් වියත් මුව හස මැදින්
පිරුණ'යුරු හැඳින්නෙමි තුටු කඳුළු නෙතු කොණේ

මතකයට තුරුළු වූ නැවුම් සුවඳක විලස
සෙනෙහසින් සිත පිරූ දයාබර සබැඳියේ
ඔබ ළඟින් හිඳින්නම් එදා අද මෙන් හෙට ද
දෙනු මැනව අප සිතට නිබඳ නව ප්‍රබෝධය

පරපුරින් පැවත ආ ඔබ මෙහෙය හැඳිණූ බව
සුනිල දිය කඩිත්තක් විලස්නෙන් පැහැදිලිය
හෙට පිපෙන පරපුරට නව ලොවක් තනන්නට
සුරත ගත් පන්හිඳම කග පතක් කළ මැනව..


ලක්‍ෂ්මන් කහටපිටිය
1989 ඔක්.

Friday, May 8, 2009

වැන්දඹු වෙසක් සඳවත- රත්න ශ‍්‍රී විජේසිංහ

අලූත් රතුපස් ගොඩ ළග
නැඹුරුව සෙමෙන් දණ ඇන
එල්ලා වැටෙන කලිසම
එක’තකින් හීලෑ කර
එල්ලයි බකට් පහන
දරුවා ඇසක් පිසිමින
තාත්තාගේ් තනියට

මතක පිටු පෙරළේ්
බුද්ධාගම් පොතේ්
කුසිනාරා නුවර
උපවර්තන සල්උයන
පිරිණිවන් මංචකය
වැළපෙන අනඳතෙර

හඩා වැළපී රතුවුණ
අවර දිග අහස් ගොංගොඩ
ජනේ්ලයෙන් එබී බලනා
වැන්දඹු වෙසක් සඳවත

රත්න ශ‍්‍රී විජේසිංහ
මධ්‍යම යාමය

භගවත් සඳ පායා - ඩෝසන් ප‍්‍රීති

භගවත් සඳ පායා

එසඳ
බුදු හිමි නගා කිත් ගොස
ඇවුරු පියුමක නිකෙලෙස පිනි ලෙස
වදාරා සද්ධර්ම සත වෙත
පවාරා සත් කිරිය ලෝ වෙත

කාල කල්ප යුග ගෙවී අද ඇත
ඇද වැටී සත් දහම් පිලිරුව
මෝහාන්ධකාර වෘත ද ලැග දොස
අපිස් සැනැහුම් සැගව අවසග

පංච වර්ණෙන් වෙලී තිර පට
නැගී තුගු බඳ සැලී මදනල
පවන් සේ ඇල් හමා දස දෙස
නිවී යයි මැටි පහන් තිර රැස

අවිදු අඳුරෙ දනන් රොද බැඳ
දෙව්දතුන් සිල්වතුන් වෙස් බැඳ
අමදිමින් වැලි මළුව මනු බිම
දහ අතේ පට සිවුරු ගැට නැග

බලව සකියනි වෙසක් සඳ අද
නගර බිහිදොර නැගුනු අරමෙක
වැඩ සිටින අර දෙව්දතුන් තෙර
නොහැක හැඳිනිය; වැදුම් පිදුමෙන

මහ පොලොව දෙදරා ද ඒ සඳ
දෙව්දතුන් ඇද වැටුන රසතල
එමත අප හැම වැටී දණ ඇන
වදිමු බග සඳ නොදැක මොක් පුර

ඩෝසන් ප‍්‍රීති
200905

වෙසක් !!

වෙසක්

දුටු දුටු අත
පන්සල් ය, කෝවිල් ය..
වන්දනාමාන කරන
බැතිමතුන් පිරි
දෙව් මැදුරු ය..
ඇසෙන්නේ ද,
දකින්නේ ද,
කරන්නේ ද,
පස්පව්ම ය..
පන්සිල්, අටසිල්, දසසිල්
සෙත් පිරිත් ?
දිවා නිදි නැතිව
ගුවන් විදුලියෙන්
රූපවාහිනියෙන්..
ධර්මය ම
ඇසුරු කරත්
මුද්‍ර‍්‍රිත මාධ්‍යයෙන් ද..
බුදු බණ ද
බොදු ගී ද
වෙනත් ආගම් ද
පැතිර යේ... #
එහෙත්,
තත්පරයට අවුරුදු වේගයෙන්
රට ම පිරිහෙයි

කිමැ කරුණු
සමිඳුනි
ඔබ සිටියා නම්
ගලනු නැති ද
කඳුළු

තුෂාරි පි‍්‍රයංගිකා