Tuesday, April 27, 2010

ඈත සිට ඈත වෙත - අජිත් සී හේරත්


ඈත සිට ඈත වෙත


අපේ‍්‍රල් අහස හිස් වේ.
වළා කෙන්දක්
කන්දකට ඉහළින් පාවේ.
බස් රියක් කඳු වෙත ඇදෙයි.
නොලියු කවියක් කීතු වී
කවුළුවෙන් ඈතට පියාඹයි.

දූවිල්ල සහ දුමාරය.
රිදුම් දෙන මගේ හිස
නමක්වත් නැති කන්දකට වාරු කර
මහා දිගු හෙවණැල්ලක්ව
ඉපනැල්ල ශේෂ වූ
වෙල්යාය හරහා වැතිරගමි

මම මා නොවූයෙන්
මගේ සෙවනැල්ල වූයෙමි
මහ පොළොව මත වැතිරුණෙන්
මම මහ පොළොව වූයෙමි.

මම වැතිරී සිටිමි.
හැමෝටම පෑගිණි
මම සුසුම් ලමි
කිසිවෙකුට නෑසිණ.

හිස අද්දරින් පාවෙන
කළු වළා තුළ කැටිවුන
ශෝකී සිහින වැගිරී
මගේ නෙතු අග පිරෙයි.
පතන් බිම් හරහා ගලා යයි.

සෙවණැලි කුඩා වී
තණ පඳුරු යට සැවෙන
හිරු රැුසින් පිරි උදාසනකදි
ඒ සුනිල දිය දහරදිග
ඔබ ඇවිද යයි.

අළුපාට සැඳෑවක
සෝබරව පැමිණ ඔබ
මගේ ළය මඬළ කැණ
ඔබේ මළවුන් වළදමයි.
නෑ සියන් නික්ම ගිය පසු
නොනැවතී සිනහ සෙයි.

සෙවණැළි දිය වී දිය වී
අඳුරත් සමග මුසු වෙයි
නිල් අහස පිස ලන
සසල තුරු මුදුනත ගැටී
තාරුකාවක් බිම වැටෙයි.

දෑස පිස ලා
නියර මත වාඩිවීමී.
ඉදින් මම මහ පොළොව වූයෙම්ද
නැත එයට බොහෝ ඉහළින්
හිස් රෑ අහස වූයෙමි.

සෙමින් කඳු බැස යන
පාන්දර බසයක
මීදුම් පහන් දැල්වේ
මීදුම තවත් දැඩි වේත්‍ව.

අජිත් සී හේරත්

කුරුල්ලකු ගැන මතකය - මංජුල වෙඩිවර්ධන


කුරුල්ලකු ගැන මතකය


වරෝ වර කී සැණින් රොද බැන්ඳ
අරෝවක් නොවුණු විහඟුණි මන්ද
ඔරෝගෙන කැටපතට සිහිනෙන්ද
ඉරෝ කහවණු සමඟ ස්නේහෙන් ද

ඉපල් තුරු දලු දමන වැහි පොදට
අතුල් පහරක් ගසන සුළඟට ද
විසල් ගණ අඳුර යට කවි ලියන
විකල් වුණු කුරුල්ලා අමතක ද

අත්තටුත් දන් දෙන්න පේ වෙච්ච
නෙත් වලින් ස්වප්නයන් වෑහිච්ච
අත් අකුරු මේ තරම් ඇද වෙච්ච
හිත් තැවුල් පිරිමදින පොල් කිච්ච

ගී නොවේ උස් හඬින් හඬ නැගුව
ජීවිතය අතර මග හැර දැමුව
මීවිතට කඳුළු බිඳු මුහු කෙරුව
සීතලට බොඳ ඇහින් ඉඟි මැරුව

තටු අතර සඟව ගෙන වසන්තය
පටු මගක සිට සෙවූ අනන්තය
දුටු මතින් වියැකුණ ද මහන්සිය
ඉටු දෙවුන් සිහිනයෙන් වහන් විය

අසුරු සැණෙකින් සිතැඟි තෙත් කරන
විසිර ගිය තටු රැගෙන අත් දෙකට
අඳුර මැද පියඹන්න තැත් කරන
මිතුරු විහඟෙකි මිතුර අත හැරුණ

මංජුල වෙඩිවර්ධන
2010/04

එලාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ!


එලාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ!


ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ
බනිස් ගෙඩිය ඛෙදන් කාපු
පයිප්පයෙන් වතුර බීපු
එළාර ලෙස රඟපානා
මගෙ මිතුරා දයාලන් ගෙ ගෙල සිඳින්න බෑ

තැන් තැන්වල ලොකු බෝම්බ පුපුර ගත්තෙ නෑ
බංකර් යට හැංගි හැංගී සටන් කලෙත් නෑ
සැප විඳ විඳ පොඩි එවුන් ව බිලි දුන්නේ නෑ
ලොවට කියා උපන් රටත් පාව දුන්නෙ නෑ

මුහුණ ට මුහුණත දීලා
පපුව ට පපුව ම දීලා
එළාර ලෙස රඟපානා
අනේ සර් දයාලන් ට හතුරු වෙන්න බෑ
ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් මට නම් දුටුගැමුණු වෙන්න බෑ
ගැමුණු වෙලා එළාර ගේ ගෙල සිඳින්න බෑ

රංඩු කරන් තරහ වෙලා එක පේලියෙ හිටියා
හොරෙන් බලා දුක් වීලා හිතින් කඳුළු සැලූවා
වෛරයෙ විෂ බැන්දෙත් නෑ
පලි ගන්නට හිතුවෙත් නෑ
කිසි කෙනෙකුට කිව්වෙත් නෑ
ලොකු සර් ල දන්නෙත් නෑ
මේ නාටකෙ රඟපානා
හොඳ මිතුරෝ අපි දෙන්නා
අපි ගහේ වැලේ ගෙඟ් ෙදාලේ සෙල්ලම් කෙරුවා

ඉස්කෝලෙ ප්‍රසංගේ
දුටුගැමුණු නාටකේ
අනේ සර් අපි නාටකෙ වෙනස් කරමුකෝ
එළාරවයි දුටුගැමුණු යි යාළු කරමුකෝ


පද රචනය: ලක්ෂ්මන් කොඩිතුවක්කු
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
ගායනය: තිසල් වංසජ පාදුක්කවිදාන

සන්ධ්‍යා අක්කේ..., - කුමාරි ප්‍රනාන්දු


සන්ධ්‍යා අක්කේ...,

පපු කුහර වල
නලියන
විරහව,
බය,
එකට
ගුලි කරන් ..

දිග නොහැර
කඳුළු කැට..
සඟවගෙන
නුඹ සිටිනකොට
අපි ලඟම,.
බෝඩ් අල්ලගෙන
පෙළපාලි වල,
හරි අමාරුයි ..
කතා නොකළත් ..
නුඹේ
සුසුම
දැනෙනකොට ...

කුමාරි ප්‍රනාන්දු

ඊඩිපස් - ඊ ඒ ඩෝසන් ප්‍රීති


ඊඩිපස්


පොලිබස් තවම ජීවතුන් අතර
බේරගත්තත් රට තීබය
නපුරු මායාකාරියට දී නිසි උත්තර

සිවුපා යුගය
දෙපා යුගයට වැටෙන
තෙපා යුගයේ අන්ධකාරය
තුල තවමත් ඒ "මිනිසා"
අන්ධව සැරි සරයි තීබය

ඒ මිනිසාමය තැනුවේ නුඹේ ඉරණම
නොවැසිය හැකිය අන්ධව ඉරණමේ දැකුම
නුඹෙ ඇස් නුඹතින් අන්ධ වූව
එය නොවේ අවසන ඊඩිපස් මහ රජ

සැරිසරයි තවමත් ඒ අන්ධ මිනිසා‍ තීබ බිම මත

ආනන්තරීය මහා පාපතරයා බවට පත්වූ
කිසිවක් නොදැන තම හාත්පස
මරා පිය රජ ද
දරුවන් හදා ලෙයින් තමා ද හැදුන ගැබ
පාපතරයකු වීය ඊඩිපස් මෙලෝ කුහර ගැබ

නුඹ නොනිදන හැම රැයකම
මව් දේවිය සුරැකේය පාපයෙන් සාපිත
යොකොස්ටා දැන වුනිද විස්තර
නුඹ ගමන් කළ ඒ ගමන දුෂ්කර

ඊඩිපස්

හදා ගනින් හිත
රජසිරි පෑ වුවද තම ගත
ඉරණම ඇත බලා ඈත දුර සිට

ඊඩිපස්
පොලිබස් තවම ජීවතුන් අතර

ඊ ඒ ඩෝසන් ප්‍රීති

කෙටි කවි කිහිපයක් - තරංග ජයසේන


කවි ලාබයි

අකුරු නැති කවක්
සිරව ඇත
වම් කර්ණිකාවේ
සැතකින් පලා හද
එළියට ගෙන ඒ කව
විකුණා-
ලොකු ගෙයක්
ගමු සොඳුර


උඩ සහ යට

ඇඳ උඩ -
ගෙරවිලි සමග
සුබ සිහින
ඇඳ යට -
දැල් වියති
බඩගිනිකාර
මකුළුවන්


කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා

මම
මිය ගියහොත්
භූමදානය
අනිද්දා
වහාම
එන්න


මල් සහ පණුවෝ

බිම පතිත
මල් යට
රමණය කරති
පණුවෝ-
එ මල්
නොබලති
කිසිදාක
හොරැහින්


එළිය

හඳට
බැරි-වෙයිද
ලොකුවෙන්න
තව ටිකක්-
ගමට
ලයිට් එනතුරු

-තරංග ජයසේන-

Friday, February 5, 2010

කිරුළක උරුමය! - කේ නයනා එල් පෙරේරා


කිරුළක උරුමය!

ගූමු ගූමු නද මල් ගොමු තූල
නෙක පහැයන් සුවඳ පෙරා
අම්මේ නුඹ පෙවු කිරිවල
සුවඳ දැනේ මසිත පුරා

ගණඳුර පිරි මිනිස් භවේ
පුන් සඳ ලෙස නුඹ දිලූනේ
හිමකිරණෙන් ගූලිවෙන විට
නුඹේ උණුසුම අප රැක්කේ

කටු අග පිරි නටුවේමයි
සුවදැති ඒ මල් පිපුනේ
ඒ මල්මයි ඵලයන් වී
ලෝකෙට ජීවය දුන්නේ

මව් පදවිය එලෙසින්මයි
නුඹේ දෙනෙතින් මා දුටුවේ
මගේ දියණිය ඉපදුනදා
නුඹේ කිරුළයි උරුම වුනේ

නෙක සිතූවිලි පදවැල් වී
ලියවෙන විට කොළය පුරා
පෙවු රන්කිරි දුන් සෙනෙහස
මැනිය හැකිද මෙතෙක් කියා

දරු පැටවුන් නික්මුන දා
උන්ගේ ලොවේ කැදලි තනා
ගැලූ කදුළේ උණුසුම ඇත
අම්මේ මා මියෙන තූරා

මගේ දියණිය හෙට යනව්ට
මගේ ලොවෙන් මෙලෙස පලා
නුඹ පෙළනා තනිකම මිස
ඉතිරිවේද සතූට සදා?


කේ නයනා එල් පෙරේරා

Saturday, January 23, 2010

තාත්තේ - ජූඩ් ප්‍රේමන්


නුඹ නොමළ බව දනිමි
නෙතට කඳුළු උණයි
නුඹේ ජීවිතය අප සතු වූවත්
හදවත ඉකි ගසයි

බීජයක් නොමළොත්
පැළයක් කොයින්ද
බිත්තරයක් නොබිඳුනොත්
කුරුල්ලෙකු කොයින්ද
උල්පතින් ගලන දියබිඳක්
එලෙසින්ම සිඳුණහොත්

ගංගාවක් කොයින්ද
එහෙත් කඳුළු උණයි

නුඹ හෙළු දහදියෙන්
පවස නිවුවෝ අපිමය
නුඹේ අතේ කරගැටෙන්
දිවි ලැබූවෝ අපමයග
නුඹේ බිලිපිත්තෙන්
පෝෂණය වුවෝ අපමය
නුඹ ලද ජීවිතයේ අරුත පිරිපුන්ය
එහෙත් කඳුළු උණයි

ඒ නුඹේ මරණයේ අරුත
අපට නොවැටහුණ හෙයිනි‍
මෙලොවදී ජීවිතය දිනු නුඹට
සග සුව පතන්නේ කෙලෙසද
නුඹ මළවුන් අතර නොවේ
ජීවිතය අපට දී
හැරී ගියා පමණි

ජූඩ් ප්‍රේමන්

18.01.2010

Thursday, January 21, 2010

යාළුවන් ගේ දැනුම හරි මිළයි - ගැමුණු පී. දසනායක


කර කියා ගත නො හී
හිත නිඳද්දී වැතිරී
හැර දමා ගර්වය ආත්මාභිමානය
ඔබේ ගෙදරට පැමිණෙමි
සිඟමන් පිණිස ඥානය

නමයෙදී කවි බැරුව
අව්වෙ දණ ගහපුවා
මං කාටවත් කියන්නෑ
වට පිට බලා මගෙ
ඕ ලෙවල් පිටුවක් ම
උදුර ගත් එකත් අනෙ කියන්නෑ
මා යාළු මහත්තයෝ
පිනට ඔබෙ ඥානය
මිටක් මට දෙන්නකෝ

ගෙම්බෙක්වත් කැපුවේ නෑ ජීවක
ඌට වමනෙ එනවා එතකොට මතකද
බ‍්‍රහස්පතිට වැඩි ලොකු ඔළු-වක්
තිබුණේ තාරකයට
ලෝකෙ බෝලයක් බවවත්
දැනගෙන හිටියේ නැතුවට

ඒ උනාට උන්ට තිබුණ
මහ විසාල ප‍්‍රාර්ථනා
නමින් වාසගමින් ලැබුණ
ඒ නිසා ම උන්ගෙ
සමා-ගමයට මං ආස කළා
බැරි පාඩම් හෙමි හෙමිහිට
කියා දුන්න හිස අත ගා

ඉස්කෝලෙන් කට්ටි පැන-චිත‍්‍රපටි බලන්නට
පික් පොකට් ගහන කොට- මං උඹට බැන්නා
ගුරු සිත රිදවලා- වෙලාවත් වරදවා
දහමාට ගහද්දී- මං උඹ අල්ලලත් දුන්නා
අයි වෝන්ට් ටු බී කියලා
නිහ`ඩ හිස්තැනක් තියලා
නුඹ ආපහු වාඩි වෙද්දි
අපි හයියෙන් හිනා වුණා

මං ඊයෙ ගියා ජීවකලහ
(ඊට කළින් තාරකලහ දහමයලහ
සමාවෙන්න දහම් මහත්තයලගෙ අහ)
උන් උන්නේ අඩි ගාණක් උඩ පොළොවෙන්
මං ඉල්ලූවාම ගන්න කිව්ව
ඒත් හරිම මිළයි එව්ව- මං ආපහු ආවා

මට මතකයි ධනය ගෙනැත්
අගේ කෙරුව හැටි පේන්න
රම්බෝගේ ස්ටිකරය
පස්සෙන්දා නුඹ ගෙනැවිත්
ස්ටිකර් ම ලොකු කොළයක්
පංතියට ම බෙදුවා

ඊට පස්සෙ ගුටි කෑවා ලොකු සර්ගෙන්
පදික වෙළෙන්දා ඇවිදින් පැමිණිලි කරලා
උගෙ ඔළුවත් පැළිලා

මං ඉදිරියෙ මේ ඉන්නේ
ඒ රම්බො ම වෙන්නට ඇති
බය වෙයන් කියල කිව්වත් මං
බය වෙන්නේ නැති

කට්ට අව්වෙ කෑ ගහලා
කට්ට මුසා වැකි අහලා
කට්ට කාල කට්ට කාල
රජ මැති ඇමතිල එක්කත්
ඔට්ටු වෙලා ඇති මං

කළු ගල් ගෙඩි වගෙ මස් ගොබ
දම්වැල සුදු යකඩ මහත
පපුව පුරා මකරාක්ෂ
බය කළාට කියන්න මං
බය වෙන්නේ නැති

බය නැතුවයි මං ආවේ
ලැජ්ජා නැතුවයි ආවේ
පිනට යමක් ඉල්ලන්නයි
නෑවිත් බැරි තැන ආවේ


ගැමුණු පී. දසනායක

කිවිඳිය - ටි. ස. ප‍්‍රියන්ත කුමාර ‐


ඇළ දොලක කඳු පෙතක ගැටෙන මඳ පවන ගැන
පුරසඳක පිපි මලෙක ගැමි සිරිය මවන තැන
සිල්වතක සිනාවක කුරුලූ කිචි ඛිචිය ගැන
යස රඟට රසකෙරූ කිවිඳි කොයි ඉන්න තැන

සොඳුරු සිත අහිමි පෙම ළසෝ දුක දැනෙන ඉම
හදබිලෙක ඇති පහස සිත රැඳුනු පළමු පෙම
විනිවිදව යන ලෙසින් චිත්ත රූ මැවූ එම
රසවදන් ලොවට දුන් කිවිඳි කොයි ඉන්න බිම

නුරාවක නෙත්සරක මුල්ම හාදුවක රඟ
ලියන සිත තැබූ තිත රැගෙන මුනිවතක මඟ
ඉරුනු හදවත් රුවල පාවෙනා ළසෝ ගඟ
ඉමක් නොදකින අපේ කිවිඳි දුර නොවේ ළඟ


ටි. ස. ප‍්‍රියන්ත කුමාර ‐
ගැබරෝන් ‐ බොට්ස්වානා

Thursday, January 7, 2010

අවසාන සාදය - සුභද්‍රා ජයසුන්දර


දැන දැනත් හිස් බවෙක මහ අපුල
ඇවිද යමි ඒ තුළ ට
සාලයේ මහ පහන් සැර එළිය
බුදු සිරස මුවාකර දිස්න දෙයි
ජැණ්ඩියට හිඳින පිත්තල පහන
ගෙදර අයගේ සිරිය කියා දෙයි

ඝන සැරට මුහුණු පින්තාරු කළ
කාන්තා සබා මැද
මම හිඳිමි අසරණව

අඳුන් නැති මා ඇස් ද
පාට වැඩ නැති වත ද - දකින්නී
විස්මයෙන් මෙන් බලයි
විස්මයම සිනාවක් ලෙස නගයි

මා නග්න දෑසට
පෙම් කරන නුඹ සිහිව
සිතම උතුරා ගලයි
සාංකා මොහොතක ට දුරුව යයි

‘දැකල නෑ පන්සලෙත්’
කියන්නී සුරඟන ක
‘යන්නෙ නෑ පන්සල් නම්’
බිත්තියේ වැඩමවන බුදු දෑස
මඳ සිනා පානු වැනි මට සිතේ

ඇඟ සිහින් වන ක‍්‍රම ද
කෙස්ස සකසන ක‍්‍රම ද
අවසන් ය
කේක් පාඩම හඬින් ඇරඹේ

කේක් නොහදන දෑත
එකට බැඳගමි තදින
අඳුන් නැති මා දෑස
වසා ගන්නෙමි තදින
කෝපයක් අවදි වන’යුරු දැනේ

සිහිනයෙන් සිහිනයක් සොයන ලෙස
නුඹ සොයා නැගිට යමි
‘කම්මැලිද’
පුරුදු ආදර දෑස
මගේ මුහුණට එබෙයි

‘ගෙදර යං’
තිර හඬින් මම කියමි

2009 දෙසැම්බර්