Sunday, August 30, 2009

නූගත් ඝාතකයාගේ කවිය - ජගත් ජේ එදිරිසිංහ


නූගත් ඝාතකයාගේ කවිය


නීතිඥයන් දෙදෙනෙකු මැරුවෙමි ඊයේ
දොස්තර කෙනෙකු අළු කෙරුවෙමි දර සෑයේ
සගය බලව අර මුල්ලේ ගැහෙන්නේ
ඉංජිනේරුවෙකි අත් පා කපා දැමූ

කඩුවෙන් කළ යුත්ත පෑනෙන් වලකන්න
වැර දැරු උන්ට කර ඇති දේ බලපන්න
මුර දේවතාවන් කුමටද මේ දැයට
බණ පොත් ගිණි තබමි උණුසුම ලැබ ගන්න

උපාධිය සමග කඩුවක් නොදෙන නිසා
බොහෝ පහසු විය කරනට මගෙ සේවේ
මගේ අසිපතට නැත කිසි අභියෝගේ
උගත් කම මොටද කඩුවක් නොමැතිකොට

නිමා කොට රැුයක් බොහො වෙහෙසයි සගය
විවේකයට සැතපෙමි කහවනු මත්තේ
හෙටත් නැවත ඕනෑවෙන නිසාවට
මුවත් තබමි අසිපත ඇහැරුණ පසුව

බලකොටුව -මහේෂ් මුණසිංහ

බලකොටුව

ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ‍්‍රී ලංකාවේ.
-පුවතක්

මිලිටරි මැති ඇමති
මිලිටරි තානාපති
මිලිටරි දිසාපති
දිනෙන් දින වැඩි වෙති

මිලිටරි හාමුදුරුවරු
මිලිටරි ගරු ගුරුවරු
මිලිටරි පුවත් කතුවරු
අපේ මොළ සෝදයි. මරු !

මිලිටරි විද්‍යුත් මාධ්‍යය
මිලිටරි ගේය කාව්‍යය
මිලිටරි ටෙලි නාට්‍යය
සොඳුරුයි. වඩවයි හාස්‍යය

මිලිටරි ඉස්සිලි
මිලිටරි වැනසිලි
මිලිටරි ගිනිකෙළි
කෝ කොහෙද මැසිවිලි

මිලිටරි සිතිවිලි
මිලිටරි දෙඩවිලි
මිලිටරි සැනකෙළි
ගෙනෙයි ගත සැනසිලි

මිලිටරි අවි ඇති අත්
මිලිටරි ඔලූ බලයලත්
නොතකයි නීති පොත්
ඒත් කිසිවෙක් නොසලකත්

බලන් සකියනි, අපි තෘප්තිමත් !


මහේෂ් මුණසිංහ
2009 08

Saturday, August 8, 2009

මගේ ජන්මය හෙවත් 1971 - මංජුල වෙඩිවර්ධන



ප්‍රභාවතී නොකී කව - සුදාර මුතුහෙට්ටි

ප්‍රභාවතී නොකී කව

කටු යහනකැයි නුඹ අවමන් කෙරුවාට
ප්‍රභාවතී හැඬුවේ නෑ කිසිදාක
නුඹෙ හද මඩලෙ ඇති විස කටු දුටුවාට
ප්‍රභාවතී ගොළු වූවා හැමදාම

සංකර ලොවේ පෙම්බර මගෙ හිත රිදුනේ
නුඹ දුටු පසුව එය නුඹ ලඟමයි රැඳුනේ
නොකල වරදකට ඇයි නුඹ දොස් නැඟුවේ
මෙතුවක් කල් ගොසින්දෝ නුඹ කටු දුටුවේ

පවලම් පොටින් ගිලිහුන බව දැන දැනම
නුඹමයි ඇවිත් රැඳුනේ තරු ඇස ගාව
රොන් ගෙන බමරු සැඟවෙයි ඝන අඳුරේම
මල්වල තමයි පව බමරුයි පින්කාර...!

සුදාර මුතුහෙට්ටි