Tuesday, November 17, 2009

නිසල හිතට - සිතිජ

‍හදෙහි වැඩ උන් සකි සඳ - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

දහසකුත් මහ සෙනඟ මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ

“ගෙවී යන කාලයට
බො‍හෝ දේ කළ හැකිය...
සදා සපථ වූවන්
ලිහා වෙන් කළ හැකිය...”
නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද

මායිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව

රඟ මඬල හස කැන් මැද
ළඟින් රඟ දුන් මිතු සඳ
සිමෙන්ති වේදිකාවෙන්
තවමත් නැගෙනවද අපෙ කට හඬ

එක්ව කළ අරගල වල
පින්සල් පහර -රතු සායමේ පැල්ලම
තවමත් ඇඟලි තුඩු අග
බොඳව ගිය මුත් නොමැකුණ

පාසලේ අවන්හල ‍කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ට්ය
රස සිහිව උගුරෙහිම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ

මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත

හෙම්බත්ව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නොකියා
මග වැටුණු කවිය ලියමි මම

රැගෙන හෙමිහිට ඉවතට
ලොව කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ

මලක්..! (ලොකූ)

නිසල අහසේ වලාකුළු නැති
සඳක තරුවක සෙවනැලිත් නැති
හෙවන යට තනිවී එවයි ඔබ
හිතම උතුරා ගලන කව් ගී
පන්හි‍ඳේ තුඩගින් ලියා

හමන මදනල පත් ඉරුයි
රැගෙන එන ඒ මහරු සිතුවම්
මගේ නෙතගට පාවෙලා
රැයේ සිසිලස කැටිවෙලා
පිපේ සිතුවම් සැනසිලා

ඇඟිලි තුඩගින් වෙරල වැලි මත
ඇඳෙන රේඛා අතර රැඳවෙද
පලිඟු කැටයේ ජී‍විතේ
මැවෙන මැකෙනා යලිත් පිපෙනා
සිහින ඡායා වල අරුත්

රළක දියවර මකන ඉරි යලි
යලි අඳින්නට දුවන සිතුවිලි
ඇඟිලි තුඩු අල්ලා
මගේ දෙතොලග තබා සිපගෙන
පියා ගමි නෙත් සැනසුමෙන්

ජී‍විතේ මහ විසල් සිතුවම
දිග හැරේ මුළු නෙත් පුරා
අගක් ‍නොපෙනෙන තණ නිල්ල අග
නිල් අහස පවුරක් ව විහිදෙයි
නිමක් නැත නිම් වලල්ලත් නැත
කොහේදෝ නොදනිමි නමුත්

අග මුලක් ගැන කෙලවරක් ගැන
වෙහෙස නැත සිත පිරී ඉතිරෙයි
සුවය සැනසුම ඒ විසල් බව
හිත පුරා රඳනා

ආදරේ මහ විසල් ගඟුලකි
‍ජීවිතේ සුවිශාල තණ බිම
දිය දෙවා ගලනා
‍රඳන්නට ඒ ගඟේ දියවර
සයුරු දහසක් එක්කලත්
නොහැකි වේමයි කෙදිනකත්

පිරී හැම සාගරයක්ම හමුවන
ග‍ෙඟ් දියවර තුල ගිලී යයි
ගලයි ඒ ගඟ කෙලවරක් නැති
ජීවිතය නම්වූ මහා
විසල් තණබිම සියළු තණ පත්
පවස නිවමින් සිහිලඹින්
වියලි පරඬැල් පුබුදුවා
හරිත සළුවෙන් සරසවා

වියලි අසරණ තණ පතක් වෙමි
ගඟුල් දිය බිඳු ‍සුවඳ සිපගෙන
නැගෙමි මදනල හා සැලී
පිපෙමි පිබිදී සැඟව යනමුත්
නැගෙන අපමණ තණ පතින්
හිස නගා මම අත දරා
ඔබ නමින් පිපිලා පරව යන
එහෙත් හැමදා යලි යලිත් පිපෙනා
සිඟිති
සුදුපෙති
සුවඳ මල්.

Thursday, November 12, 2009

අසඩක් - [ජගත් ජේ එදිරිසිංහ]

අසඩක්

විනිසුරු අසුනසල
වැතිර සිටියෙමි එදවස
තබා අත හිස මත
මහා බර කටහඬ අවදිකොට
කීවෝය සැනසුම් බසක්
අසඩක් විනිසුරාණෝ

හදවත පෙලූ බර පොදි
එකිනෙක අතින් ගෙන
තබා බිම මා ඉදිරියේ
සිනාසුණහ බෝ සැහැල්ලූවෙන්
අසඩක් විනිසුරාණෝ

වියපත් මගේ හද තුළ
මේසා කළක් රැක ගත්
දුටුවෙද මෙබර නිම්නැති
සසඳා බැලියැකිද
වෙනත් හදවතක බර හා
අසා සිටියෝය හිනැහී
අසඩක් විනිසුරාණෝ

බිම තබා බර පැස
විනිසුරු අසුණින් බැස
දැන් බෝ දුරක් ගොස් ඇත
අසඩක් විනිසුරාණෝ

තවමත් මෙතැනමය මම

ජගත් ජේ එදිරිසිංහ
2009 නොවැම්බර් 11

Monday, November 9, 2009

නිහඬ තිමිරය ගලා එයි - ලොකු-

නිහඬ තිමිරය ගලා එයි

තඳුමුදුනතින් බැස

තුරු පඳුරු හිස්

දයාවෙන්

සිඹිමින් ගලාවිත්

කැටි ගැසෙයි

මිටියාවතේ


නොගැඹුරු තණ පඳුරු

වසාගෙන තැන තැන එකතුවන

ශ්වේත වර්ණ දිය කඩිති

සෙමින් සෙමින් ඉතිරී ගලත්

පිරී ඉතිරෙන්න නිම්නයම

විසල් පෙණ බුබලකින්


සිහිල් අතැඟිලි තුඩින්

දෙකම්මුල් කිති කවන

සරාගී නල රැල් මෙන්

මා ගතට නොදැනුනත්

හමා විත් රහස් කොඳුරන

අදිසි මදනල මෙන් නොව

තිමිරය මා නෙත් පුරා ගලයි


වසා පියවා මා නෙත්

දුහුළු සුදු සේද සළුවෙන්

විශ්වයම බොඳව යයි

දිදුලමින් පෙණ බුබුලක්ව

අන්ධය මා දෙනෙත්

උකුව යන ශ්වේතය

තිරි සයුර සේ නැගෙයි


මත්ස්‍යයෙක් වෙමි

පිහින යමි
කිරි බඳුන තුල

හාත් පස වසා ගත්

උකුව යන සුදු පැහැය මිස

කිසිවක්, කිසිවක් ම නැත


ඔබේ ස්පර්ශය දැනෙයි

විහිද යනු මා නෙත් තුලින්

පිබිද ගලාවිත්

ඈත ගැඹුරු පතුලේ සිට

මා ඇතුලාන්තයෙන්


ආලෝක පුංඤ්ඤයක්

පිපී විහිදී

සියොලඟම වැලඳ ගනී

දිව්‍යමය වූ සිසිලසකින්

හදවතේ ගැඹුරුම ගැඹුරු

පතුලතත් පිරිමැදෙයි


මා සිරුර

අත පය ඇස් කන් නාසය

සියල්ල දියව යයි

ආලෝක බිඳුවක්ව

පිරී සපි‍රී

මහා ආලෝකයක් වී

විශ්වයම එකළු වෙයි

ජීවිතය

හඟිමි.