Wednesday, September 9, 2009

ඉතිහාස පාඩම-මහේෂ් මුණසිංහ

ඉතිහාස පාඩම

ජාතික ඇඳුම
ජැන්ඩියට ඇන්ද
රණසිංහ සර්
උස්සං සරම කොණකින් - පපුව දික් කරමින්
ඩෙස් බංකු වල හැපෙමින් - වේවැල් අසිපත වනමින්
ඉගැන්වූ
ඉතිහාස පාඩම
මට මතකය
මයිල් කෙළින් වී
පුටුවෙන් ද පස්ස ඉස්සුණු
ඉතිහාස පාඩම
මට මතකය

කපා කොටා පිළිමලූන් - ලේ බේරෙන අසිපතින්
නොසලකා දරුවන් මහල්ලන් - වනසා ගම් පිටින්
අල්ලං ඇවිත්, ඇතුන් ලවා පාගවා ද්‍රෝහීන්
දික් විජය කර ඇත දෙරණ ම
බලකොටු බැඳ
ගම්වල උස් තැන් වල

වැසියෝ ප‍්‍රීතියෙන් ඉපිලේ
මහන්තත්ව ය අඬබෙර ගහන
නගර වල තැන් තැන් වල
සංදර්ශනය ජය පැන් බොන, නොනවතින

රජු නිදොස්ය
කේවට්ටයෝ පෙරට එති රකින්න ට
වැරැද්දක් කළොත් ගෝලයෝ ය බාලයෝ ය
වැසියෝ වීදි වල රැස් වී ඇත
උද්ඝෝෂණය ට
එරෙහිව
දිනෙන් දින වැඩිවෙන
රජුගේ කීර්තිය නසන්නන් ට

බන්දවා වෙහෙර, රටේ අට කොණ
පූජා කොට ඇත් පැටව් දේවාලෙ ට
වාත්තු කොට රන් රිදී - ඔබ්බවා මිණි දියමන්ති
නිමවා ඔටුන්නක් අසිපතක්
රට දිනූ මහරජු ට

රණසිංහ සර් දැං නැත - ඉතිහාසයට ගොස් ඇත
ඔක්කොම දේවල් දන්න
රණසිංහ සර් වත් දන්නැති
අත්දැකීමක් මට දැං ඇත.

මහේෂ් මුණසිංහ
2009 09

No comments:

Post a Comment