Wednesday, September 9, 2009

මාතෘකාවක් නැති මාතෘ භූමිය-මංජුල වෙඩිවර්ධන

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවිය..

සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳ..

බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්

දස දහස් ගණනෙකි යග
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි ය..

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැඟෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුද ඇඳුම..

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවිය..


මංජුල වෙඩිවර්ධන
(2009 සැප්තැම්බර්)

No comments:

Post a Comment