Friday, June 5, 2009

අත් අඩංගුවේ මියැදෙමින් - කෝ.ආනන්ද

අත් අඩංගුවේ මියැදෙමින්

අපි ගේ කුරුල්ලන් වගේ
වියැට අහුලා කුස පිරෙව්වෙමු
අපි අපිට වූ නියමයන්
සත්‍යයේ නාමයෙන්
දරු සෙනෙහසින් වටුවකු බිජු රකිනා සේ
සපුරමින් සිටියෙමු

ඒ මහා පරිමාණ යන්ත‍්‍රයට
මම මුරිචචි ඇණයක් වූවා පමණි
සොයුරනි !
ඔබ සැවොම එකතු වී
දැවැන්ත දැති රෝදයක්ම වනු මැනවි

එදා මා සොයා ආවෝ මෘගයෝ ය
මුරු මුරු කරණයෙන් මාංස භක්‍ෂණයට පුරුදු ඇත්තෝ ය
මා ළය පළා උර පළා අතුල් පතුල් පළා
දෙතිස් වදයම දුන්හ ඔවුන්ගේ නියමයන් අනුව
පාහරයෝ පහර දෙති
නීහරයෝ නහර අදිති
එහෙත් සොයුරනි !
මම ඉතිරි කර ගත්තෙමි
ඔබ වෙනුවෙන්
හරය

මේ දැන් ලේ සොලවා
පණ වනසා
පණ කඳ මළ කඳක් කිරීමට
කුරිරු රංගන රඟති නැගී සිට
පිට මත වේදිකාවක් තනා

මොහොතක විරාමයකි
සමුගන්න අවසර යි
පන්නරයේ ගාමක ශක්තිය
තව මත් නලිය යි
සොයුරනි!
එය ඔබට එළිය යි.

කෝ.ආනන්ද
-මහ පොළොව අලුත් කිරීම 1994-

No comments:

Post a Comment