Wednesday, June 3, 2009

මහාකවි පබ්ලෝ නෙරුඩා - ඉන්ද්‍රානි රත්නසේකර


අති පූජනීය වූ මනෝහර දීපයක්
මහාකවි පබ්ලෝ නෙරුඩ


නෙරුඩා සිය පද්‍ය රචනාවලද මිතුරන්ට යැවූ ලිපි වල ද ඉතා රසවත් ලෙස සිරිලක් බිමේ තමා ගත කළ අයුරු සටහන් කොට තිබේ. එකල තමාට එලන්, පැට්සි, අර්තියා (ELLEN, PATSY, ARTIYA) නමින් ශී‍්‍ර ලාංකික මිතුරියන් සිටි බවත් තනිකම නිසා මරදානේ පොත්හල්වලින් මලු ගණන් පොත් ගෙන්වාගෙන කියැවූ බවත් ලංකාවෙන් ඉන්දුනීසියාවට මාරු වූ දිනයේ ‘කිරියා’ නම් මුගටි පැටවා ද ගෙන ගිය බවත් කියැවෙන ඔහුගේ කවි සටහන් ඇත්තෙන් ම ලාංකේය හදවත්හි අභිමානයක් දනවන සුලු ය.

මීට අසූ වසරකට පමණ පෙර මෙ වැනි ම සීතල දුරුත්තක සිට කහ වන් මලින් තුරු වදුළු සැරසුණු පොසොන් සඳ දකිනා තුරු ම සිරි ලක් වෙරළේ සුන්දරත්වය මෙන් ම විටෙක සැඩ පරුෂ ලෙසින් නැගුණු මුහුදු රැළි ගැන සිය කවි සංකල්පනා අපූරුවට පෙළ ගැස් වු චිලි ජාතික මහාකවි පබ්ලෝ නෙරුඩා පිළිබඳ මෙ වැනි සටහනක් තැබීමට මට සිත් වූයේ ඔහුගේ එවන් කව් පෙළක් නෙත ගැටීමෙන් අනතුරුව ය.

එවකට දකුණු ලක වෙරළ බඩ ප‍්‍රදේශයේ දිවි ගෙවා ඇති මේ මහා කවියා වෙරළ සිප ගන්නා සාගර ජල කඳ පිළිබඳ කළ වැනුම සුනාමියෙන් කැළැඹුණු සයුරේ ස්වභාවය ගැන පෑ ඉඟියක් සේ හැඟේ.

මගේ වාසය වෙනස් වී ඇත
එක ම පොළොවේ වෙනත් දේසෙක
ලවණ මුසු වූ සුළඟ නටනා
සුසුදු දිය රැළි නිබඳ ගැටෙනා
වෙරළ අසබඩ රැඳුණු පියසක

තේජසින් පිරි හිරු උදා වී
විසුළ රන් කෙස් පිරි හිසක් මෙන්
කිරණ විහිදා රුක් මුදුන් මත
සදයි ඡායා දසුන් තරු මෙන්
කොරල් දිළෙනා සයුරු පත්ලේ

එහෙත් ඒ මහ මුහුද රළු වී
නීලවන් ගල් තලාවක් සේ
බියකරයි මා හද විටින් විට
මහා බල ඇති යෝධ රළ පෙළ
පුපුර පුපුරා දිවෙයි වෙරළට
මර හඬක් නංවමින් වාතල

නෙරුඩා ගේ මෙවැනි ගද්‍ය හා පද්‍ය සටහන් පිළිබඳ ව වරක් ස්පාඤ්ඤ රූපවාහිනී සේවය (TELEVISION OF SPAIN) මඟින් ගාලු මුවදොර වෙරළේ දී පටිගත කරන ලද වැඩ සටහනක් සඳහා කවි ගායනයෙන් සහභාගි වීමට මට ද අවස්ථාවක් ලැබුණි. මේ විශ්වීය කවියා අපේ මව්බිමේ සුන්දරත්වය මෙන් ම වෙරළබඩ දිවියේ දුක සතුට මුසු හුදෙකලා බව ගැන ලියූ කියූ දෑ කියවන විට මේ අපේ පුංචි දිවයින පිළිබඳ මහත් ආඩම්බරයක් දැනුණි.

මහාකවි පබ්ලෝ නෙරුඩා විසිවන සියවසේ හොඳ ම ලතින් ඇමෙරිකානු කවිය බිහි කළ ජාතික වීරයා ලෙස චිලි රටේ පැසසුමට පාත‍්‍ර වූවෙකි. ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ නෙරුඩා සැලැකෙන්නේ ‘ස්පාඤ්ඤ කවිය නවීකරණය කළ මහා කවියා’ ලෙසිනි. ඔහු ගේ කවිය කෙතරම් උසස් වූවා ද කිවහොත් 1971 වසරේ සාහිත්‍ය පිළිබඳ නොබෙල් (Nobel) ත්‍යාගයට පවා හිමිකම් කීමට හෙතෙම සමත්විය.

දිවි ගමන

1904 චිලි (CHILE) රටේ පර්රාල් (ර්‍ථඒඅඅඒඹ්) නම් ග‍්‍රාමයේ ගොවි පවුලකට දාව රිකර්දෝ එලිඑසේර් නෙෆ්තාලි රේයේස් බසො අල්තෝ (RICARDO ELIECER NEFTALI REYES BASO ALTO) නමින් බිළිඳෙක් උපන. ළදරු වියේදී ම මව මිය ගියෙන් කම්කරුවකු වූ පියා ගේ සෙවණේ හැදී වැඩෙන්නට මේ දරුවාට සිදු විය. පාසල් විය එළඹෙත් ම සාහිත්‍යය විෂය භාර ගුරුතුමිය විසින් කළ පෙළැඹවීම් මත කුඩා කල සිට ම මෙතෙමේ කවි ලිවීමට පටන් ගත්තේ ය. ඔහු ගේ කුළුඳුල් කවිය ගෙතී ඇත්තේ දහඩිය හෙළමින් දුම්රිය මාර්ගයේ වැඩ කරමින් සිටි තම පියා ගැන ය. කවි ලියා නම සහ අත්සන යෙදීමට වන අවස්ථාවල ‘මගේ නම හරියට කෝච්චියක් වගේ දිගයි නේ’ යනුවෙන් මැසිවිලි නැගි හෙතෙම එවකට තමා වඩාත් රුචිකළ චෙකොස්ලෝවෙකියානු ජාතික කවි ජාන් නෙරුඩා (JAN NERUDA) ගේ නමෙන් කොටසකුත් සිය පියා විසින් තමා අමතන ලැබූ පබ්ලෝ නාමයත් එකට ඈඳ්‍ර ගනිමින් ‘පබ්ලෝ නෙරුඩා’ නමින් හඳුන්වා ගත්තේ ය. එදා පටන් මුළු මහත් විශ්ව සාහිත්‍යයට ම හෙතෙම පබ්ලෝ නෙරුඩා නම් විය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ප‍්‍රංශයේ ගුරු අභ්‍යාස විද්‍යාලයක පුහුණුව ලැබූ දිනවල නෙරුඩාට ලතින් ඇමෙරිකානු කවීන් හඳුනාගැනීමට අවස්ථාවක් උදාවිය. එම අවධියේ ම චිලි රට නියෝජනය කරමින් තානාපති සේවයට බැඳුණු හෙතෙමේ ස්පාඤ්ඤය, මෙක්සිකෝව, ඉංදුනීසියාව, බුරුමය, ප‍්‍රංශය හා ශී‍්‍ර ලංකාව එවකට (CEYLON) යන රටවල සේවය කර ඇත.

ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ ‘නෙරුඩි’ නාමය

ස්පාඤ්ඤයේ ගත කළ කාලය නෙරුඩාගේ කවි දිවියේ වසන්තය විය. චිලි රටේ භාවිතා කළ ස්පාඤ්ඤ භාෂාවත් ස්පාඤ්ඤයේ හැසිර වූ භාෂාවත් අතර බොහෝ වෙනස් කම් දැකිය හැකි වූයෙන් නිවැරැදි භාෂා ව්‍යවහාරය සඳහා ස්පාඤ්ඤ ජාතික මිතුරන්ගේ සහාය නෙරුඩාට නො අඩුව ලැබුණි. එවකට බිහි වී තිබූ ‘1927 කවි පරම්පරාවේ’ මහා කවි ගර්සියා ලොර්කා ප‍්‍රමුඛ ලේඛකයන් අතර නෙරුඩා කොතරම් ජනපි‍්‍රය වී සිටියා ද කිවහොත් ඒ සෑම ලේඛකයකු ම පාහේ සිය ග‍්‍රන්ථවල නෙරුඩා ගැන සඳහනක් කිරීමට අමතක නොකළහ.

අල්බෙර්නි (RAFAEL ALBERTI) කවියා සිය කෘතියක (LA ARBOLEDA PERDIDA (නොපෙනී ගිය ලන්ද) ‘නෙරුඩා හමුව‘ රසවත් කොට ඇත්තේ මෙසේ ය.

’සිවිල් යුදමය වාතාවරණය යටතේ පැරිස් නගරයට පිටුවහල් වූ මම දිනක් වීදියක ඇවිදිමින් සිටියදී මහා මනුෂ්‍යත්වයකින් පිරි මිනිසකු දිටිමි. ඔහු ස්පාඤ්ඤ ජාතිකයිනට සත්‍ය සුර දූතයකු වූ ‘පබ්ලෝ නෙරුඩා’ යි.

එකල ගර්සියා ලොර්කා විසින් ලියන ලද ග‍්‍රන්‍ථයක් (පිකාසෝ ගේ චිත‍්‍ර කලාව) ස්පාඤ්ඤ බසින් ලතින් බසට පරිවර්තනය කර ගනු වස් ලේඛකයෙකු සොයමිනුයි සිටියේ. පසුව පබ්ලෝ කළ පරිවර්තනය කෙතරම් සාර්ථක වුණා ද කිවහොත් ග‍්‍රන්‍ථයේ පිටපත් විශාල සංඛ්‍යාවක් අලෙවි වී තිබුණා. පබ්ලෝ අපේ 1927 පරම්පරාවට ඈඳුණේ ඉන් පසුව යි. සීත ඍතුවේ වැහි බර රැයක යළිත් මට ඔහු හමු වුණා. පබ්ලෝ ගේ කවි ස්පාඤ්ඤ විලාසයට තරමක් දුරයි. චිලි රටේ දේශගුණය මෙන් ම භාෂා උච්චාරණය වෙනස්. පබ්ලෝ සිය නිර්මාණවල ව්‍යාකරණ දෝෂ තිබේවි යැයි සිතා නිතර ළතැවුණා. එදා ඔහු මගෙන් ශබ්ද කෝෂයකුත් ඉල්ලාගෙන ගියා.





පබ්ලෝ චිලි ජාතිකයෙක්. නිතර දෙවේලේ මධුවිත තොල ගානවා. ඒ රාති‍්‍රය කෙසේ අමතක කරන්නද? අප එකට ඇවිදින්ට ගියා. රුක් සෙවණක් යටට වී හිමිදිරිය උදා වන තුරු ම කවි හා මධුවිතෙහි රස විඳිමින් ගත කළා. මොහොතින් අප දෙදෙනා ම වෙරි වෙලා... පොලිසියේ රැහැනට අසු වුණා. එය අවාසනාවක්. ඒත් සොදුරු මතකයක්.’

නෙරුඩා ගේ කවිය

පබ්ලෝ නෙරුඩා සිය කාව්‍ය නිර්මාණ විශ්ව සාහිත්‍යයට තිළිණ කළේ ස්පාඤ්ඤ භාෂාවෙනි. ඔහුගේ කවි සරල ය. වැඩි ප‍්‍රමාණයක් නිසඳැස් ආකාරයට ලියූ ඉතා දිගු පදවැල් ය. ඒවා කථාකරන භාෂාවෙන් ලියා ඇති බවට විවේචකයින් දොස් නඟතත් ඔහුගේ භාෂාව පාඨක හදවත්වලට අමතන විලාසයක් ගනී. නෙරුඩා ස්පාඤ්ඤ කවියේ උපමා උපමේය හා සංකේතාදිය භාවිතා කරමින් සිය කවිය ඉහළ තලයකට ගෙන ගියේ ය. ලතින්, ප‍්‍රංශ, ඉංගී‍්‍රසි ආදී භාෂාවන් මනාව දැන සිටියත් හෙතෙම දැඩි ඇල්මක් චක්වූයේ ස්පාඤ්ඤ භාෂාවට ය. ඔහුගේ කවියට තේමා වූයේ හුදෙකලාව, දේශදේශයන්හි මතක සටහන්, දේශපාලනය, දේශාලය, ආදරය ආදිය යි. නෙරුඩා ගේ ජනපි‍්‍රය කාව්‍ය සංග‍්‍රහයන් අතර ’MEMORIAL DE ISLA NEGRA (ආසියාවේ තිස් වසරක මතක සටහන්), ’CIEN SONETOS DE AMOR’’(පෙම් කවි සියයක්), හා ’Veinte Poemas de amor’පෙම් කවි විස්සක්) ප‍්‍රධාන තැනක් ගනී.

අහිමි වී ගිය ප‍්‍රථම පෙ‍්‍ර්මයේ අත්දැකීම් වඩාත් සංවේදීව හෙතෙම කාව්‍ය තුළ රස ගන්වා ඇත.

කෙසේ නම් ළං වෙම් ද
මා ඇගේ තුරුල්ලට
මගේ නෙත මගේ හද
සොයයි ඇය නිරතුරු ව
ඉතින් ඇය තවත් නම්
මගේ ළඟ නැති සේ ය

දැනේ මට පාළුවක්
නිමාවක් නොමැතිව ම
පවසන්ට ඒ බවක්
වදන් එකිනෙක නැඟේ
තැනි බිමේ තණ මතට
පිනි වැටෙන විලාසෙන්

ආදරය පිළිබඳ නෙරුඩා ලියූ කවි තුරුණු හදවත් පුබුදු කරවන සුලු ය. දේශාලයෙන් පිරි සෞන්දර්යාත්මක ගද්‍ය රචනා ද ඔහු විසින් නිර්මාණය කොට තිබේ. ’RESIDENCAI DE TIERRA(භූමියක වාසය) නම් කාව්‍ය සංග‍්‍රහයේ හුදෙකලා වූ මිනිස් මනසක් දෙස ශුභවාදී දෘෂ්ටියකින් බලා ඇති අයුරු දක්නට ලැබේ.

පබ්ලෝ නෙරුඩා සාමය ඉතා අගය කළ කවියෙකි. ’POESIA ES UNA ACCION DEL PAZ’(කාව්‍යය යනු සාමයේ කි‍්‍රයාවක්) කවියකු වීමට සාමය හදවතට ඇතල් විය යුතුය. පාන් හදන්ට පිටි උපකාර වෙනවා වගේ’ පබ්ලෝ සාමය දුටුවේ එලෙසිනි.

ලක්බිමේ වාසය

වසරක් පමණ වූ කෙටි කාලයක් තුළ (1929-1930) නෙරුඩා මෙරට ගත කොට ඇත්තේ දකුණු මුහුදුබඩ ප‍්‍රදේශයේ ය. සුනාමි ව්‍යසනය වූ සමයේ ස්පාඤ්ඤ පුවත්පතක (EL PAIS) පළ වී තිබූ ලිපියක මෙවන් සටහනක් විය.

’සුනාමියෙන් එරට වඩාත් විනාශ වී ඇත්තේ මුහුදුබඩ ප‍්‍රදේශය යි. නෙරුඩා ගේ කවිලොව සැරි සැරුවේ ද ඒ මුහුදුබඩ තීරුවයි.’

නෙරුඩා සිය පද්‍ය රචනාවලද මිතුරන්ට යැවූ ලිපි වල ද ඉතා රසවත් ලෙස සිරිලක් බිමේ තමා ගත කළ අයුරු සටහන් කොට තිබේ. එකල තමාට එලන්, පැට්සි, අර්තියා (ELLEN, PATSY, ARTIYA) නමින් ශී‍්‍ර ලාංකික මිතුරියන් සිටි බවත් තනිකම නිසා මරදානේ පොත්හල්වලින් මලු ගණන් පොත් ගෙන්වාගෙන කියැවූ බවත් ලංකාවෙන් ඉන්දුනීසියාවට මාරු වූ දිනයේ ‘කිරියා’ නම් මුගටි පැටවා ද ගෙන ගිය බවත් කියැවෙන ඔහුගේ කවි සටහන් ඇත්තෙන් ම ලාංකේය හදවත් තුළ අභිමානයක් දනවන සුලු ය.

En donde estuve recuerdo la tierra
come si me mandara todavia
Pasan los rostros – Patsy, Ellen, Artiya
Memorial de isla Negra
(කළු දිවයිනේ මතක) නෙරුඩා ශී‍්‍ර ලංකාවේ දේශීය සංස්කෘතියට දැක්වූයේ දැඩි ඇල්මකි. එම්පයර්, ලයනල් වෙන්ඩ්ට් ආදී ශාලාවල නාට්‍ය බැලීම විනෝදාංශක් වූ බව හෙතෙම කියයි. ඔහු අපේ මව්බිමට කෙතරම්, කැමැත්තක් දැක්වූවාද යන්න’ODA A LA ISLA DE CEILAN (ලක් බිමට උපහාර) නම් කවි පෙළින් පැහැදිලි වේ.

යළිඳු එමි ඔබ සොයා
මහ සයුරු තරණයෙන්
තෙමි තෙමී වැහි පොදින්
හිමිදිරියෙ අඳුර මැද
සහන් එළි දකින්නට
දිස්වන්නෙ, අර ඈත
සුවඳ සුදු පෙණ නගන
හරිතවන් රැළි, පෙළක්!
ඔහෝ! ‘සෙයිලාන්’
අතිපූජනීය වූ
මනෝහර දීපයක්!

1929 මාර්තු මස දහ හතර වැනිදා ටි‍්‍රනිඩඩ් (Trinidad) හි විසූ මිතුරියක් (CANDIA) වෙතැ යැවූ හසුනක මෙසේ සඳහන් වේ.

මා දින ගෙවන්නේ ගම්මානයක සිරිය ගත් කුඩා නගරය (වැල්ලවත්ත) කයි. එය මගේ මව ඉපැදුණු තොටුපලේ (Puerto) සිරියාවට නෑකම් කියන්නක්. දවසේ නැවුම් හෝරාව ප‍්‍රයෝජනයට ගනිමින් මා නාන ඇඳුමින් ම වෙරළ දිගේ පියවර මනිනවා. වෙරළේ සුන්දරත්වය මගේ කවි සිත පුබුදු කරනවා. අහසට නැගුණු පොල් රුප්පා, ජලජ ශාක පත‍්‍ර, වැටකෙයා පඳුරු මාව වටකරගෙන! පොස්පරස් කැවුණු කොරල් පර තරු වගෙයි. මල් වගෙයි. මා ඉදිරියේ සුදු පාට පෙණ බුබුළු වේගයෙන් කැඩී විසිරෙනවා. පේනතෙක් මානයේ නීලවර්ණ ක්‍ෂතිජය...

දයාබර මිතුරියේ, මෙය නම් දිව්‍යමය පාරාදීසයක් ම තමයි’

1929 වසර අග භාගයේ හෙක්ටර් (HECTOR) නම් ස්පාඤ්ඤ මිතුරෙකුට ලියූ ලිපියක මෙසේ දැක්වෙයි.

’දිනපතා ම වාගේ මා මුහුදු රැල්ලේ එතී පීනනවා. පසුව සෙවණක වාඩිගෙන බියර්, විස්කි හෝ සෝඩා පානය කරනවා. දිවා ආහාරය සඳහා බැහැරව පයින් ම ඇවිද ගොස් රටේ දේශීය කෑමක රස බලනවා. බත් පිගාන වටේ ට බෙදූ එළවළු, අළුත් මාළු, පපඩම්... කන්නෙ හරි ම ආශාවෙනුයි.

දැන් වැහි කාලය යි. මෙහාට තදින් වහිනවා. ගොරවන, විදුලි කොටන, දිය නොනවතින මහා වැස්ස... එය නරක තෙතමනයක්. රාති‍්‍රයේ භයානක කුණාටුවකින් පසුව මගේ නිවස වතුරෙන් යට වුණා. වත්තේ පොල් ගස් දෙකක් විදුලි සැර වැදී, පිච්චිලා ගියා. මුහුද ඝන යි. නිල් පැහැය නැවතිලා...’

පබ්ලෝ නෙරුඩාට මුල්වරට ලක්බිම හඳුනා ගන්නට ලැබී ඇත්තේ එවකට චිලි රටේ ජනපි‍්‍රය ව තිබූ ලංකාවේ තේ (CEYLON TEA) පානය නිසා බව ඔහු පවසයි. තමා ගෙන ගිය තේ පැකැට්ටුවක් පසු කලෙක අල්මාරියේ කොණක තිබී හමු වූ මොහොතේ ඔහු අතින් ලියැවුණු ’ODA A LA CAJA DE TE’ (තේ පානයට උපහාර) කවි පෙළක් මෙසේයි.

අලි වෙසෙනා බිමේ උපන්
තේ කොළ ග‍්‍රහ ලෝක වගෙයි
නැත සුවඳේ සීමාවක්
පූජනීය බවක් හැඟෙයි

මා ගත සිත සුවපත් කළ
නැවුම් රසැති තේ පානය!
ඔබ වෙනුවෙන් මා හද තුළ
කවි වැල් එතනෙවා වගේ...
අහිමි ව ගිය ඔබෙ සුවඳත්
මල් පෙති නෙත් දුන් සුවඳත්
සමන් පිච්ච සුවඳ මුසු ව
මගෙ කුටියට හමා ඇවිත්!

මෙසේ සොඳුරු මතකයන් ඔස්සේ විසිතුරු කවි සිතුවම් ඇඳ මේ පුංචි දිවයින විශ්ව සාහිත්‍යයේ ඉහළ ම තැනක රඳවා ලන්නට දායක වී ඇති පබ්ලෝ නෙරුඩා අප විසින් සදා සැමරිය යුතු මහා කවියෙකි.

(උපුටා ගැනීම : සිළුමිණ, ජනවාරි...)

No comments:

Post a Comment