සොඳුරු කවියාගේ සමුගැනීම ඔස්ටේ‍්‍රලියාවෙන් පිළිතුරක්
(උදේනි සරත්චන්ද්‍රගේ ‘පුරඟන නැඟණියෝ’ කාව්‍ය සංග‍්‍රහයේ එන ‘සොඳුරු කවියාගේ සමු ගැනීම’ යන ප‍්‍රබන්ධයේදී කවියා ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන සුනිල් ගෝවින්නගේ මිතුරු කවියා ගෙන් තියුණු පැනයක් විමසයි.)
‘ඔබ කවියෙකි සොඳුරු
පර්ත් පුරවර වෙසෙන
පැන විසඳන දැනුම
දරා ඔබ අප අතර
සැණින් එසැණින් පෙනී
යන්ට කාරණ කිම ද?’
‘පුරඟන නැඟණියෝ’ කාව්‍ය සංග‍්‍රහය - උදේනි සරත්චන්ද්‍ර
තව ම නොදනිමි නැගෙන නිරතුරු
මතක දිවයින දැවෙන පැනයන්
සැණින් එසැණින් පෙනී
යන්ට කාරණ පැමිණි විගසින්
දනී නම් ඔබ හඬයි සුමිතුර
යුද බියක් නැති වුව ද මේ රට
වෙතියි නෙක පැන විසඳ ගන්නට
ආදි වාසින් මෙරට වෙසෙනා
මැරෙයි නිරතුර යුදක් නැති වුව!
මගේ කළු හම දකින මිතුරන්
සිතේ සැකයක් නැගෙයි නිරතුරු
මතක දිවයින අතැර ආ මා
සිංහ පෝතක - කොටියකු ද වග!
මගේ පුත් රුව අකුරු කළ සොඳ
පාසැලේ සිටි සුදු ගුරුන් කැළ
ඉවත් කොට ඔහු පංතියෙන් දින
යැවී නිවසට කළු හමට බැන
මට උඩින් සිට නිතර අණ දෙන
සිවිල් සේවේ සුදු ම මිතුරන්
යවයි පිට රට මෙරට පස් නිධි
රටේ හැම තැන තිබේ වලවල්
මතක දිවයින වෙතත් නෙක පැන
එසැම විසඳන නුවණ නැති මට
සැණින් යන්නට මගේ රට ගම
විසඳ ගත යුතු පැනය අපමණ!
සුනිල් ගෝවින්නගේ
පර්ත්, බටහිර ඕස්ටේ‍්‍රලියාව
http://www.silumina.lk/punkalasa/20090607/_art.asp?fn=ar09060711
මෙම සුනිලුන්ගේ නිර්මාණය කියවද්දී මට නැගුනු අදහස් කීපයක් ලියා එවන්නට සිතුනි.
නිර්මාණකරණයේ යෙදෙන සහෘදයන් සිය නිර්මාණ හරහා එකිනෙකා අමතා ගන්නා විරල අවස්ථාවක් මෙ නිර්මාණය තුල වීම මගේ සතුටට හේතු වෙ. එබඳු දෙබසක් කාව්‍ය නිර්මාණ තුල ගොඩනැගීමෙ වැදගත්කමක් වෙයි. කාලයක් ගෙවුනම අතීත නිර්මාණ ස්මරණය කරන්නට යෙදෙන විටෙක මෙබඳු දේ බොහෝ සංවෙදනාත්මක මතකයන් අවුස්සනු නොඅනුමාන බැවිනි. එමෙන්ම එතනිනුත් කලක් ඉක්ම ගිය පසු තුන්වැනි පාර්ශවකරුවකුට කිසියම් යුගයක එනම් අද මා කතා කරන මෙ යුගය අතීතයට එක් වූ කාලෙක, ඒ යුගයේ සමකාලීන කවියන් හදාරන විටෙක ඔවුනොවුන් එකම යුගයක නියෝජනය කළ බව සිය පර්යේෂණයක උපුටා දක්වන්නට ද මෙ බඳු නිර්මාණ නිහඩ වගකීමකින් පොත් පත් සහ හාඩ් ඩිස්ක වල බැඳීවෙළී ජීවත් වනු ඇත.
එබඳු සාහිත්‍ය පර්යේෂණයක යෙදෙන්නන්ට මහෝපකාරී වන මෙකල සැබෑ ලෝක තතු අනාවරණය කර ගැනීමට හේතු යුක්ති වන දැනුමක් ද මෙ කවි සංවාදය තුල කැටි වී තිබීම වඩාත් වැදගත් කාරණාවකි. අප මෙ ගත කරන යුගයේ මනුෂ්‍ය ජීවිතය සිය සංස්කෘති දේශ සීමා මායිම් අතික‍්‍රමණය කර විස්ථාපනය වී අවතැන් වී මනසින් මවා ගත් සිය ජන්ම ගති ගුණ සමග විලෝපිත පවුල නමැති විසිරුණු සංස්ථාවෙ සංතාපය කොතරම් ඉහලට බුර බුරා නැගෙන ගිනි කඳක් වන්නේ ද යන යථාව පැරෂුටයක එල්ලා පොලවට පතිත කරන්නට වාගාලංකාර ඇවැසි නොවන වග නිෂ්ඨාවට පත් වීම ද මෙබඳු නිර්මාණයකින් සිදුවෙ. එක් අතීත සමයක භූගෝලීය පෙදෙසක කලෙක කෙම් බිමක්ව පැවැති මනෝ මන්දිරයක හෝ යුටෝපියාවක සැබෑ තතු ගවෙෂණයක යෙදෙන එක්තරා සාහිත පිරියෙසුම්කරුවකු එය කෙසේ අනාවරණය කරගන්නට මෙ නිර්මාණය භාවිතා කරන්නේ දැයි කීමට මට නොහැකි වුව ද නියතයෙන්ම ගාමිණි වියන්ගොඩයන් විසින් පරිවර්තිත පීටර් ඇකෝරයිඩ් ගේ ප්ලේටො පත‍්‍රිකා හි දැක්වෙන ආකාරයෙන් නම් අරුම විකාර ලෙස විකේතනය නොවනු ඇත.
කවියකුගේ සැබෑ වෑයම කුමක් දැයි කවියන් විසින් තම තම නැණ පමණින් වටහා ගෙන ඇති හෙයින්, එමෙන්ම අද යුගයේ සියළු කාරණාවන් සම්බන්ධව ද ඒ සැබෑ බව විතැන් වී අනන්‍යකරණය වී ඇති හෙයින් ද මෙ කවිය හෝ කවියා සැබෑ කවියා යැයි ද මෙ කවිය හෝ නිර්මාණය සැබෑ කවිය හෝ නිර්මාණය යැයි කීමට ද මට කලබල විය නොහැකිය.
කෙසේ වුවද සයුරෙන් එහා රටකට වි සුනිලුන් තම මතක දිවයින සහ ස්වාත්මය කෙරෙහි යොමන මෙ සානුකම්පනය සිය නිර්මාණකරණයේ ආත්මය ලෙස වන්දනාමාන කරන මෙ අතීතකාමය කවර ලෙසක හෝ අඩුවෙන් තැකිය හැකි මානයක් නම් නොවන වග ඉඳුරා කියමි.
ඩෝසන් ප්‍රීති
2009.05.07
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment