Sunday, May 31, 2009

ඔටුන්න හිමි කුමාරයා නික්ම ගියේ ය - ප‍්‍රභාත් කරුණාරත්න

කුමාර කරුණාරත්න


හැළ මල්වලට තාත්තා කවදත් ආසා කළා. හරියට ඒක දැනගෙන වගේ අදත් බරට බරේ ඇහැළ මල් පාරට නමා වැටිලා. වැහි අඳුර අතරින් සැරින් සැරේ ඉකිගහන ආකහේ හඬා වැටෙන්න ඔන්න මෙන්න. ආදාහනාගාරයේ චිමිනියෙන් මෑත්වුණු තුනී දුම් රැල්ලක් හීන් සීරුවේ ඇතුගල දිහාවට පාවෙලා ගියා. හරියට තාත්තා ගියා වගේ. යනවා දැක්කා. ඒත් නතර කරගන්න බැරි වුණා.

ආදරය හඳුනන සුවහසක් පාඨක හදවත් සියුම් ලෙස සුසර කළ මානවවාදී ලේඛකයා, පෙ‍්‍ර්මකතා සාහිත්‍යය ඔස්සේ සමාජ අසාධාරණයට අභියෝග කළ විප්ලවවාදී ලේඛකයා ප‍්‍රබුද්ධ යැයි කියාගන්නා අතලොස්සකගේ මුවග නිරතුරු බයිට් වූ බොළඳ පෙ‍්‍ර්මකතා රචකයා, පොත් රාක්ක අතරේ වේලෙන්නට නොව මිනිසුන් හට කියවන්නට පොත් ලියූ ආදරණීය තාත්තා අන්තිමේ දී ඒ පොත්වල මතකය අතරේ ම සැඟ වී යන්න ගියා.

හත්වැනිදා උදේ මාමාගේ පුතා සුමින්ද කතා කළා. දරුවකුට ජීවිතයේ දී අහන්න ලැබෙන අවාසනාවන්තම පණිවිඩය රිසීවරය ඔස්සේ ගලාගෙන ආවා. තාත්තාගේ පුළුල් නළල් තලය ආධ්‍යාත්මය විනිවිද දකින තීක්ෂණ බැල්ම ලෙංගතු මන්දස්මිතය මා ඉදිරියේ සැණෙකින් ඇඳි විදුලි වේගයෙන් මැකී ගියා. උදාවෙමින් තිබෙන සිංහල අලුත් අවුරුද්දේ රබන් හඩින්වත් කොවුල් ගීයෙන්වත් යළිත් කිසිදා අවදි නොවන තාත්තා බලන්න යන්නට මම හිස් අතින් ම බස් රියට ගොඩවුණා. මීගමු පාර දිගේ හැල්මේ ගිය නොම්මර පහ කුරුණෑගල බස් රිය ජා-ඇලින් හැරිලා මිනුවන්ගොඩ, දිවුලපිටිය පහුකරගෙන කොටදෙනියාවේ නතර කළා. පුංචි එවුන් සන්දියේදී අම්මයි තාත්තයි එක්ක අපි නිවාඩුවට ගමේ යනකොටත් බස් එක මේ වගේ ම කොටදෙනියාවේ නතර කරනවා මට මතකයි.

තාත්තා පිළිබඳ මතකය මා විසින් අනාගතයට රැගෙන යා යුත්තේ කෙසේද? මගේ මතකය විය යුත්තේ අවසන් නින්දේ නිසලව සැතපෙන තාත්තා ද? නොඑසේ නම් මා සමඟ සදාතනික වූ මතවාදී යුද්ධයකට එළැඹි දැඩි මතධාරී තාත්තා ද? එසේත් නැත්නම් ජීවන යුද්ධය හමුවේ විටෙක පසුබසිමින් සහ තවත් විටෙක ඉදිරියට යමින් අප ජීවත් කරවූ තාත්තා ද? පරස්පර වූ සිතුවිලි සමුදායක් තුළ අතරමං ව පැමිණි මම බස් එකෙන් බැස්සා. උඹ වැරදි බස් එකේ නැගලා හැමදාම වැරදි තැනකින් බහින මිනිහෙක්. තාත්තා මට බොහෝ විට කිව්වා. වැරදි බස් එකේ නැග්ග මිනිහෙකුට හරි තැනින් බහින්න පුළුවන්ද තාත්තේ? බැරි ම තැන මමත් තර්ක කළා. තාත්තාත් මාත් අතර පැවැති ඇතැම් මත ගැටුම් සම්බන්ධයෙන් මා නිවැරැදි යැයි බොහෝ විට උපකල්පනය කරන මට එදා වැරැදුණා. හරි බස් එකේ ඇවිල්ලත් මම බැහැලා තිබුණේ ගව් ගාණක් දුර වැරදි බස් නැවතුමකින්. හැමදාමත් වගේ තාත්තාත් මාත් අතර පැවැති දුරස්ථ බව දෛවය විසින් අන්තිම මොහොතේදීත් තීරණය කළේ එහෙමයි.

අනෝරා වැස්සේ තෙමීගෙන මම ගෙට ගොඩ වුණා. තාත්තාගේ පොත් කියැවූ සුවහසක් පාඨකයන්ගෙන් පැමිණ සිටියේ තුන්හතර දෙනෙක් විතරයි. මම ගේ ඇතුළට ගියා. හිරිමල් යොවුන් පෙ‍්‍ර්මයේ පූජනීය යථාර්ථය හෝටල් කාමරයක් තුළ කිරුළු දරන උපත් පාලන කොපුවකින් ඔබ්බට රැගෙන ගිය අපූරු ලේඛකයා උඩුකුරු ව නිදා සිටියා. සමාජ අසාධාරණයෙන් හෙම්බත් වුණු යෞවයන්ගේ ඛේදවාචකයේ අලගිය මුලගිය හේතු හෙළිදරව් කරන්නට පෙ‍්‍ර්මකතාව මාධ්‍යයක් කොටගත් අදීන ලේඛකයාගේ නිසල සුරත ළය මත රැඳී තිබුණා. සිය කෘතීන් ඔස්සේ නවමු මතවාදී විප්ලවයක් හා පොදුජන ශක්තිය තුළින් මතුවන තරුණ දේශපාලන ප‍්‍රවාහයක් පිළිබඳ පෙරනිමිති දුටු ජනතාවාදී ලේඛකයාගේ දෑස් පියවී තිබුණා. දේශපාලන පිම්පිකම් කොට ගුරුකුලයන්ට කත් ඇද ලබන සම්මානයට වඩා ලේඛකයකු හැටියට මිනිස්සුන්ගේ සිත් තුළ පැළපදියම් වූ මතකයෙන් ලබන සම්මාන කෙරෙහි විශ්වාසය තැබූ තාත්තාගේ සිරුර මිනිසුන්ගෙනුත් ඈත එක් හුදෙකලා ගම් පියසෙක තනි වී තිබුණා.

තාත්තා ගේ අඩු ව හැබෑවට ම දැණුනු සමකාලීන හා යොවුන් ලේඛක ලේඛිකාවන් කීප දෙනෙක් සමඟ තාත්තාට හිතවත් පුවත්පත් කලාවේදීන් අතලොස්සක් දෙනා ඔවුන්ගේ ආදරණීය කුමාරයියාට අවසන් ගෞරව දක්වන්නට තකහනියක් ඇවිත් හිටියා. ලක්ෂ්මන් මල්ලවාරච්චි, එඩවඩ් මල්ලවාරච්චි, උපුල් ශාන්ත සන්නස්ගල, චන්දි කොඩිකාර, ගාමිණී අබේවික‍්‍රම, ශාන්ත කුමාර විතාන, රොඩ්නි විදානපතිරණ, අනුල ද සිල්වා, කරුණාරත්න ඩී.පිලිප්, රන්ජන් ද සිල්වා සහ කවදත් තාත්තාගේ හෙවනැල්ල වගේ හිටපු සුනිල් දයා අල්විස් වැනි අතේ ඇඟිලි ගාණටත් අඩු ප‍්‍රමාණයක්. ඒ හැමෝම වගේ ඉස්සරත් අපේ ගෙදරට නිතර දෙවේලේ ආ ගිය උදවිය.

මුල් යුගයේ දී තාත්තාගේ පොත් ප‍්‍රකාශයට පත්කරපු දයාවංශ ජයකොඩි මහත්තයාත් පසු කාලීන ව තාත්තාගේ පොත් පළ කළ එස්.ගොඩගේ, අතුල ජයකොඩි, රෝලන්ඩ් ප‍්‍රනාන්දු යන මහත්වරුත් තාත්තාගේ පොත් මුද්‍රණය කළ සමයවර්ධන හා එස් ඇන්ඩ් එස් යන ආයතනවල මහත්වරුත් ඇවිත් හිටියා. අම්මා මිය ගිය දා තාත්තා සමඟ දුක බෙදාගැනීමට යැයි පැමිණි බොහෝ ආචාර්ය මහාචාර්ය කලාකරුවන් සහ මාධ්‍යවේදීන් තාත්තා අවසන් ගමන් යද්දී පැමිණ සිටියේ නැහැ. ගම්මුලාදෑනිය ගේ බල්ලගේ මරණෙට ගම ම උන්නලු. ගම්මුලාදෑනියගේ මරණෙට බල්ලෙක්වත් උන්නෙ නැතිලු. ඒක අපේ ගම් පළාත්වල කියැවෙන ප‍්‍රසිද්ධ උපහැරණයක්. තාත්තාගෙන් පිං බත් කාපු පිං අඩි ගහපු ඇතැම් ඊනියා කලාකාර පිනාලාගේ නම් ගම් බොහොමයක් මට තවමත් මතක්වෙනවා.

තාත්තාගේ නිසල සිරුර දිහා බලාගෙන සැරින් සැරේ හූල්ලපු නංගි ඇරෙන්න රෑ එළිවෙනතුරු මිනියට තනි රැක්කේ පොල්තෙල් පහන් දෙකකුයි මදුරුවො කීප දෙනකුයි විතරයි. තාත්තාගේ ඇඟේ ලේ නෑ කියල දැනගත්ත මදුරුවො ටික ලේ තියෙන තැන් හොයාගෙන ගියා වගේ ම රෑ බෝ වෙන කොට නෑයොත් එකා දෙන්නා හොරෙන් ම ලිස්සලා ගිහිං. දැන් ඉතිං ලොකු තාත්තා ඉවරයි. ලොකු මාමා ඉවරයි. උන්දැගෙ දරුවන්ගෙන් දෙන්නෙක් ඉන්නෙ කොළඹ. තව දෙන්නෙක් ඉන්නෙ ඒරොප්පෙ. කුරුණෑගල ඉන්නෙ දෝනියැන්දැ විතරයි. අදින් පස්සෙ ඕකුංගෙං වැඩක් ඇතැයි කියල උන්ට වුණත් හිතෙන්න ඇති. හිතේ ඇතිවුණ වේගය කේන්තියකටත් කේන්තිය කලකිරීමකටත් කලකිරීම ආත්මානුකම්පාවකටත් ඒ ආත්මානුකම්පාව දැඩි ශුන්‍යත්වයක් බවටත් පරිවර්තනය වෙන්නට ගියේ පුංචි වෙලාවක් විතරයි.

පොල්පිටියෙ පන්සලේ ලොකු හාමුදුරුවො පාංශුකූලෙට වැඩම කළා. කුඩා අවදියේ ඉඳන් ම තාත්තාගේ හිතවතකු වන පොල්පිටියෙ පන්සලේ ලොකු හාමුදුරුවො ගැන තාත්තා තුළ කවදත් පැවතියේ විශාල ගෞරවයක්. මතක වස්ත‍්‍ර පූජාව පිළිඅරගෙන පැන් වඩලා මියගිය තාත්තාට පිං අනුමෝදනා කළේ උන්වහන්සේයි. ජීවිතයේ හිස් බව ඔස්සේ සසර දුක පසක් කරගන්නට වෙර දරන පැවිදි උතුමකු වුවත් උන්වහන්සේගේ කටහඬත් හිතවතකුගේ සදාතනික සමුගැනීම නිසා බිඳී ගිහින් තිබුණා.

පියෙහි විප්පයොගො දුක්ඛො.

අඳුරු වැහි වලාකුළු මහා වරුසාවකට අර අඳිනවා. තාත්තාගේ අවමඟුල් උත්සවය වීඩියෝගත කරන කැමරාව යොමුවන පැතිවලින් විතරක් විලාප හඬ ඇහෙනවා. මුහුණ පුරා සායම් තවරාගෙන වැලමිට ළඟට ම රත්තරං වළළු දමාගත් ශෝකප‍්‍රාප්ත ගැහැනු සොටු කඳුළු වගුරුවමින් තාත්තාගේ මළ ගේ නමැති මෙගා ටෙලිනාටකයට සිය උපරිම රංගන කුසලතා දායක කරමින් සිටිනවා. තාත්තා ජීවත් වූ කාලයේත් තාත්තා රැවටූ ඔවුන්ගෙන් ඇතැමකු තාත්තා මිය ගිය පසුව රවටන්නට වෙර දරන්නේ කාවදැයි මට වැටහුණේ නෑ.

එකිනෙකා රවටමින් තමන් ද රැවටෙමින් මරු කතරක් මැදින් ඇදෙන මේ ජීවන ගමන පිළිබඳව මීට වසර හතළිහකට පමණ පෙර තාත්තාගේ අතින් ලියැවුණු ජීවන ගමන සහ මරුකතර යන කෙටිකතා සංග‍්‍රහයේ ලියැවී තිබුණේත් මේ සදාතනික රැවටිල්ල ගැන ම නොවේද? තුන් කල් විනිවිද දුටු මහා දාර්ශනිකයාගේ නිදන නෙත් සඟල දෙසත් ජීවිතයේ යථාර්ථය පිළිබඳ ව උපේක්ෂාවෙන් සටහන් තැබූ නිසල සුරත දෙසත් මම මොහොතක් බලා සිටියා. ජීවිතයේ අනේකවිධ හැලහැප්පීම් මැද තරණය කළ දිගු ගමනේ විඩාව දැන් තාත්තාගේ මුහුණේ පෙනෙන්නට නෑ. ඒ වෙනුවට දැන් ඒ මුහුණේ තියෙන්නේ නිවී සැනසී ගිය තෘප්තිමත් පෙනුමක්.

බර්නාඩ් අයියා අවමංගල සභාව මෙහෙයවන්නට පටන් ගත්තා. අපේ ජනාධිපතිතුමා විසින් එවා තිබූ ශෝක පණිවිඩය කියවනු ලැබුවේ කුරුණෑගල නගරාධිපතිතුමා විසින්. ගිහි ශෝක ප‍්‍රකාශ සහ පැවිදි අනුශාසනා සියල්ල ම ඉතාමත් කෙටියෙන් සිදු කෙරුණා. හාමුදුරුවරු සිය අසුන්වලින් නැගිට එළියට වැඩම කරන්නට පටන්ගත්තා. හීන් ඉකියක් මහා විලාපයකට පෙරළුණා. ඒ නංගී. තාත්තාගේ පණ. තාත්තා වැඩිපුර ම රණ්ඩු වුණේ නංගිත් එක්ක. වැඩිපුර ම ආදරේ කළේත් නංගිට. නංගිත් එහෙමයි. දෙන්නට දෙන්නා නැතුව බෑ. වෙලාවට බේත් හේත් ටික දීල කෑම බීම ටික ළඟට ගෙනත් දීල තාත්තගේ හැම ඕනෑ එපාකමක් ම හොයා බැලුවෙ නංගි.

ගුරුවරියක් වන නංගි දවල්ට ඉස්කෝලෙ ඇරිල එනකල් තාත්තා බරාඳයේ හාන්සි පුටුවේ වාඩිවෙලා පාර දිහා බලා ඉන්නවා. නංගි දැක්ක ම ඇස් දෙකේ දහසක් මල් පිපෙනවා. ගෙට ගොඩ වෙන නංගි පස්සෙන් අම්මා කෙනෙකුගෙන් බත් ඉල්ලන පුංචි දරුවෙක් වගේ හීන් සීරුවේ ඇදිලා එන හැටි මට මැවිලා පේනවා. මගේ උගුරේ උණු අලගෙඩියක් හිරවෙලා වගේ. හිත ඇතුලේ කැකෑරෙන මහෝඝයක් එකපාරට ම එළියට පනින්න දඟලනවා. අදින් පස්සෙ ඔය පුටුවට වෙලා තාත්තා උඹ එනකල් පාර බලන්නෙ නෑ නංගියේ. ගෙට ගොඩවෙලා ආපහු හැරිලා බලාපන්. බත් දෙකටක් ඉල්ලගෙන උඹ පස්සෙන් ආපු තාත්තා උඹට ආපහු කවදාවත් පෙනේවිද නංගියේ? තාත්තේ බත් කමු කියලා හෙට රෑටත් උඹ තාත්තට අඬගහන හැටි මට මේ දැනුත් ඇහෙනවා වගේ.

මල්වත්තක් වගේ සුන්දර මල්කඩුවාවේ සොහොන් බිමේ අරලිය මල් පිපිලා. ඇහැලමලට පෙම්බැඳි කුමාරයා එන පෙර මඟ ඇහැල මල් පාවාඩ එළලා. තමන්ට දාව උපන් ආදරණීය පුත් කුමාරයා සිය උණුසුම් තුරුලේ හොවා සතපන්නට පාරමී පුරන ඇතින්නක සේ තුමුළ ඇතුගල ඈතින් බලා ඉන්නවා. ආදාහනාගාරයේ චිමිනියෙන් අන්තිම දුම් රැල්ලත් හුළඟට මුසු වුණා. ආපහු කවදාවත් විඳින්න බැරි දුම් රැල්ලේ සුවඳ මගේ අධ්‍යාත්මයට උරාගන්න මම අසාර්ථක උත්සාහයක යෙදුණා. යමුනා.. සමාධියෝ.. හංස පැටියෝ.. චාමර බයියෝ.. ආං බලාපල්ලා.. අපේ තාත්තා හීන් දුමක් වෙලා අර ඇතුගල දිහාවට පාවෙලා යනවා. උඹලට පේනවද? අර.. අර.. අර යන්නේ. ඒ අපේ තාත්තා බං.

නම කියපු ගමන් රට ම දන්න තාත්තා... කෙල්ලන්ගේ කොල්ලන්ගේ පපුවලට කතා කරපු වරදට බොළඳ පෙ‍්‍ර්මකතා රචකයෙක් කියලා හංවඩු වැදුණු තාත්තා.. මෙලෝ රහක් නැති ගුරුකුලවල ප‍්‍රබුද්ධයන්ට අජීර්ණයක් වුණු තාත්තා.. රෑ තුන්තිස්පැයක් ඇඟිලි ගෙවෙනකං ලියලා ලියලා අපිට කන්න දීපු තාත්තා.. උඹලට මතකද.. ලොකු අයියත් එක්ක හැමදාම කොක්ක දාගත්ත තාත්තා මතකද.. අපි කාටවත් හරියට අඳුරගන්න බැරිවුණ අපේ තාත්තා.. අර .. මේ දැන් හීන් සීරුවේ අතනින් පාවෙලා ගියේ. කෝ .. උඹල තාම දැක්කෙ නැද්ද බං?

(සිළුමිණ - මැයි 24, 2009)

1 comment:

  1. Never knew him personally, but I was an avid reader of his novels when I was much younger. Apparently, you seem to have inherited his wonderful talent for the fine art of storytelling. How about continuing his legacy, why not give it a try. Miss him a lot, and may he attend Nibbana.
    By the way, I used to work with Suminda, and know that talent runs in the family.

    A reader from Toronto

    ReplyDelete