Tuesday, May 19, 2009

විස්මිත පිහාටුව - තරංග ජයසේන

විස්මිත පිහාටුව

පාඨකය, නවතිනු!
විස්මිත පිහාටුවක් අප‘තින් ගිලිහී බිම වැටී තිබේ. එන්න- එය අහුලා ගනිමු.

විස්මිත පිහාටුව
බැද්දේ මහ නුග ය මුල වතළ.

අඩවන් නෙතට ඉඳුනිල්
ඇල නෙතට ස්වර්ණ වර්ණ
පළල් නෙතට මයුර නිල්.

හිරු රැසට ෂඞ් වර්ණ රශ්මි
පවන් රැල්ලට ද තීක්ෂණ වර්ණාවලී.

භ‍්‍රාන්තියට පත් වීමි
අතල මත තබාගෙන.

ප‍්‍රලාපයක් විය බොල්
මොහොතකින්
නූතන සකල උත්තුංග
තාක්ෂණ වික‍්‍රම.1

පිහාටුවකට අපේ් දිවිල්ල නැවතිය හැකි නම්, නැවතී අහුලාගෙන විඳින්නට කිසිවක් ප‍්‍රදානය කළ හැකි නම්, නෙක වර්ණ මවා විශ්මයෙන් ද සොඳුරු සංකල්පනාවන්ගෙන් ද අප පුරවාලිය හැකි නම්... එ කවර නම් ආශ්චර්යයක්ද? සොබා දහම යනු එ පෙළහරයි. ගුප්ත වූ ද එපමණකටම සොඳුරු වූ ද රහස් ප‍්‍රකෝටි සංඛ්‍යාවක් ගැබ් කොට තැනූ නිධානයයි!

එ අපූර්වත්වය විඳ ගන්නට නම් මේ දිවිල්ල නැවතිය යුතුය. අපි මත බලෙන් පැටවූ මේ ක‍්‍රමය සමග නිවට ලෙස එකඟව නිදි වැද, එයින් ම පහර කා ආතුර ව හති හලමින් නැවත නැවතත් මේ බඩජාරි ධාවනයටම එකතු වෙන්නෙමෝ නොවෙමුද? ඔරලෝසු සමග යුද වදිමින් අසීමිත අවශ්‍යතා ලූහු බඳිමින් දුවන මේ දිවිල්ලේ ඉම කොහේ්ද? අපේ මුල් පිටපත ඇත්තේ සොබා දහමේය! අප එ බලෙන් අමතක කර දමා වෙනත් දේ පස්සේ හඹා යන්නෙමු. ලැබෙන සුළු හෝ ඉසිඹුවක දී අම්මා සොයා ඇදෙන දරුවෙකු වාගේ අප සොබා දහමට ඇදී යන්නේ එ නිසාවෙන්ම නොවේද?
මේ වග විත්තිය මුදලාලි කෙනෙක් ගැනය!

”හොරෙන් කැලෑව කැපූ මුදලාලි ලී ලොරිය කොළඹ යවා, එ කටයුතු නිමා කර මේ පල්ලම් බහින්නේ හැඩ ඔයෙන් නා ගන්නටය.

නිල් පාට පිරිසිදු වතුරෙන් ඔයේ පත්ලත්, හදිසියේ මෙන් එහාට මෙහාට දුවන මත්ස්‍යයනුත් දුටු මුදලාලිට ”ෂා අගේ ඇති වතුර ටික”යි කියවෙයි. තමන් නෙත ගැටුණු- තමන් සොයා ගත් මෙම සෞන්දර්යය පෙන්වන්නට කෙනෙක් ළඟ ඇත් දැයි ඔහු වට පිට බලයි. කිසිවෙක් අහලකවත් නැත. ගෙදර කට්ටිය සමග ආවා නම් හොඳ යයි ඔහුට සිතේ. හැඩ ඔයේ ම ඇඳි ඉරක් සේ මේ හැඟීම් මුදලාලි තුළ ඇති වී නැති වී ගියමුත්, මෙම ක්ෂණිකාලෝකය සදාකාලික ලෙස රඳවා ගැනීමට කලා රසාස්වාදයෙහි නිරත වී සිටින ඔබට අපහසු වන්නේ කෙසේ ද?”2

සැබෑ වශයෙන්ම කවියෙකු කවියට නගන්නේත් සිත්තරෙකු කැන්වසය මත සිත්තම් කරන්නේත් මේ හැඟීමය! සිය පෞද්ගලික වින්දනය මුළු මහත් ලෝකය සමග නිර්ලෝභී ලෙස බෙදා ගැනීමේ තීරණය විසින් කලාව උපද්දවයි. එ තීරක මොහොත මිනිස්කමේත් ආදරයේත් මොහොතයි! අපේ ආත්මයන් සොබා දහමේ ම දිගුවකි. කලා නිමැවුමක් යනු එ ආත්මීය ප‍්‍රකාශනය නිදන් කොට නිපැයූ කිසිවකි. සැබැවින්ම කලාවත් අපත් අතර ඇති නොසිඳෙන ලේ නෑකම මෙයම නොවේද? පාරිභෝජනවාදයේ කර වටක් ගිලී හුස්මක් අයදිමින් සිටින මේ වත්මන් මොහොතෙහි පවා කවියක්, සිත්තමක් හෝ වෙන යම් කලාංගයක් විසින් අප සුවපත් කෙරයි. කලාව හුදු වෙළඳ භාණ්ඩයක් ලෙස වෙස් ගැන්වූ අවකාශයක එ වෙස් ඉරා වනසා සැබෑ විඳීම මතු කරගත යුතුව තිබේ.

හුදු උදරාර්ථය වෙනුවෙන් නැතක් වද වේදනා විඳින- ජීවිතයේ නොනිදන මුළු කාලයම එ වෙනුවෙන්ම ගෙවන බොහෝ දෙනෙකුට, සොබා දහම හෝ සාහිත්‍යය විඳීම වෙනුවෙන් කැප කරන්නට කාලයක් ඇත්තේ නොවේ. දින නියමයක් නැතුව ජීවිතය විඳීම කල් දමා බඩ- ඇඟ සහ බැංකු ගිණුම වෙනුවෙන් පමණක් ජීවත්වන මිනිසුන් සොයා ගොස් ඔවුන් විසින් අමතක කර දමා ආ මුල් පිටපත සිහි ගැන්වීම අද දවසේ කවීන්ගේ කලාකරුවන්ගේ දේ්ශපාලනයයි! වඳ පීදුනු අනාගතයට දෙස් තියමින් පැරණි රසාංග ගසමින් අලස සුව විඳීමෙන් සිදු වෙන වෙනසක් නැත. කළ හැකි ඉතාම සුළු දෙය හෝ කිරීම අද දවසේ අපේ යුතුකමයි.

සෙමෙන් එන්න ඔය සළු උනා- මේ සියළු සොඳුරු දේ ඔබටයි! අපි සෙමෙන් කියවමු.

සුන්දර ම බිම් කඩක
මේ නදී ඉවුරේ
කුඹුක් වියනක් යට සදා දාහනය නිවනා
නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ

අතරින් පතර රතු කොළ උඩු වියනෙහි
දිගු ඇඟිලි තුඩින් පවනේ සෙලවී මෑත් වී
පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක් සේ
එහි ම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී

හිරුගෙ තඹ රැුස් ගලන සඳ ගඟ ගලන දෙසට ම
උඩු වියන් යට මඳ අඳුර තුළ ගලන මිණි කඳ
මෙලෙස පැවසිය නොහැකි අසිරිය කවි බසින් මිස
සසර අන් බැමි බිඳී ආලෙන් බැඳෙයි මා සිත

සිනාසී පෙණ පිඬු සේ
දිය තත් ගල් අතර බිඳ දා නාද අනුනාද නංවා
කෝමල ව ඇඹරී විලියෙන් පවසනා
පසක් වේ ඔබේ බස - බසක් සේ සුපුරුදු

වීසිකර අත බැඳි ඔරලෝසුව
ගලවා දමමි මිරිවැඩි- කොහේ යන්න ද ඔබ හැර
උනන විට සළු එකිනෙක
පෙනේ අඳුරු සෙවණල්ලක්ව
ඡයාව මගේ ම සිරුරෙහි

තුරුළු වනු මිස
ආදරයෙන් සෙමෙන්
වෙද අන් මඟක්
මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා3

මේ වින්දනීය අවකාශයට ඇත්තේ් විශාල ඔඩොක්කුවකි! එහි හැම කෙනෙකුටම ඉඩ තිබේ. ඊට අවනත වෙන්න. අර කියූ විස්මිත පිහාටුව තරමටම කවි ද අසිරිමත් ය! ඔබ එය දුටුවා ද? ගං දිය දැක මුදලාලිට එ සොඳුරුබව තවකෙකුට පෙන්වන්නට සිත් වූ පරිද්දෙන්ම හොඳ කවක් දුටු සැණින් ඔබට මතු වන්නේ එය ඔබේ සමීපතමයන් සමග බෙදා ගැනීමේ හැඟීමක් නොවේද? ලෝකයේ ඇත්තේ මිනිස් වර්ග දෙකකි. එනම් ”විඳින්නන්” සහ ”නරුමයන්”ය. දෙවන කුලකය විශාලය. විඳින්නන්ගේ් කුලකය රතු දත්ත පොතට වැටෙන්නට ආසන්නය. මේ නිශ්චිත මොහොත වියදම් කළ යුත්තේ්, ”නරුමයන්ගේ” ගොඩට මිසයිල ගැසීමට නොව උන්ගෙන් එකෙකු දෙන්නෙකු හෝ ”විඳින්නන්”ගේ ගොඩට දිනා ගන්නටය. එසේ් දිනා ගැනීම අහඹුවකින් සිදු වෙන කිසිවක් නොවේ. එය විඳීමේ ”මැජික් එක” සමාජගත කිරීමේ දැනුවත් සාමූහික ව්‍යාපෘතියක් විය යුතුය. එ සඳහා මිනිසුන් නරුමයන් කිරීමට ක‍්‍රමය යොදන මූලෝපායන් ගැන නිසි තක්සේරුවක් සහිතව එ මූලෝපායන් සහ මාධ්‍යයන් ඇසුරෙන්ම නිපදවාගත් ප‍්‍රවේශයක් තිබිය යුතුය. ඌරාගේ මාළු වෙන වෙන ලෑලි මත තබා කැපීමෙන් පලක් නැත!

කිසිදිනෙක කවියක් නොකියවූ කෙනෙකු නරුමයන්ගේ ලෝකයේ සිට විඳින්නන්ගේ ලෝකයට දිනා දීමට තරම් අපූර්ව නිර්මාණයකි මේ. එය සැබැවින්ම විස්මිතය! විඳින්න!

අපමණ සිහින් බිඳු ලෙස
ඇද හැලෙන වැසි දිය
කිසිදු හැඩයක්
ඉතිරි නොකර ම
සැඟව යන වැසි දිය

කළ ඇතිළි නෙක බඳුන්
ළිං පැන් පොකුණු වෑතල
තම තමන් ගේ් හැඩයෙහි
එ ජලකඳ බහා ගෙන
උදම් වන

හිමි කරුවෝ ද තුටු වෙති
මේ අපේ් ළිඳ යැ යි
අපේ් පොකුණැ යි කියමිනි

නිලන අතු පතරෙහි
සෙමෙන් මිමිනෙන රහසකි
”හැඩයක් ඉතිරි නොකර ම
පොළවට උරා ගන්නා
වැසි දහර ම ය ඉමිහිරි
එවන් වැසි සුව වළඳමි”4

විඳීමේ ඉම කොහේද? ඉහළින් වලා වියන සෙවිලි කළ නිල් අහසත් පහළින් නිම්නැති ජීවයෙන් ගැබ් ගත් මහ පොළොවත් අතර වූ අවකාශයම අපේ්ය. අපේ විඳීම් අපරිමිතය. ඇතැම් කවියක් එ සොඳුරු බව යළි උපද්දවා ඔබට වැස්සේ පිණි පාගන්නට අඬ ගසයි! මේ බලන්න.

කඩියෙක් දෙන්නෙක් කෑවා ම මක්වෙයිද
කඩිසරයි උන් හරියට
හීතයි ටිකක් වැඩිය නොව
සුළඟත් තවම අළුත් පිට
පිණිත් තණ පත් මත.
ඉර එන්න තව කල් ඇත
ආසා නැද්ද නිකමට
පා සඟවන්න පිණි යට
එන්න අනේ
වැතිරෙන්න තණ පලස මත
ඉර සැර වෙන්න පළමුව.5

සොබා දහමේ අපූර්වත්වයෙන් තිගැස්සෙන්න! එන්න. හීතල පිණි වැටුණු තණකොළ ගොල්ලේ් දිව යන්න. බිම තණ පත් අතුරුණුවක වැටී ඇති කුරුළු බිත්තරයක පුදුම පැහැය ගැන විමසන්න. තණ පලසේ් උඩුබැලිව හැරී නිදමින් නිල් අහස නරඹන්න. අහසේ් වලා අඳින යෝධ සිත්තම් දැක විස්මයෙන් ගොළු වෙන්න.

ඉහළ නිල් තලය පෙර සේ්ම
නොසැලී ගනව පැතිරෙන ඈතට
පහළ සුදු වලා සෙන් සැදී පානා
රැුඟුම් නරඹමි තනි ව ම

මහ උරග, ඇත්, අස් රූප හා
ධවල පර්වත මවයි පෙරළයි
රජුන් රකුසන්
යෝධ පිළි රූ
සදා සැණෙකින්
විසුනු කරලයි

එක ම හැඩයක
තිර ව නො රඳයි
සියළු රූ අන්තර්ධාන කොට
ලිහී සුළෙඟහි අදිසි වී යන
වලාකුළුවල
බස ඇසෙයි!6


උපුටන-
1. ”කුදු බව”- බණ්ඩාර සෙනෙවිරත්න (ඉඳුවර පොකුණ. විහිදුම. 2008.01*
2. ලාල් හෑගොඩගේ ”මා මිනිසෙක් ඔබ ගඟක් නිසා” කාව්‍ය සංග‍්‍රහයේ් පෙරවදනෙන්.
3. ලාල් හෑගොඩගේ ”මා මිනිසෙක් ඔබ ගඟක් නිසා” කාව්‍ය සංග‍්‍රහයේ එම නමින්ම යුතු කව.
4. නන්දන වීරසිංහගේ ”චන්ද්‍ර බිම්බ” කාව්‍ය සංග‍්‍රහයේ ”වැසි” නමින් යුතු කව.
5. ආරියවංශ රණවීරගේ ”එළිමහන් කවි සහ ගුහා කවි” කාව්‍ය සංග‍්‍රහයේ ”උදය” නමින් යුතු කව.
6. නන්දන වීරසිංහගේ ”චන්ද්‍ර බිම්බ” කාව්‍ය සංග‍්‍රහයේ ”සුදු වලා රංගනය” නමින් යුතු කව.

තරංග ජයසේන

No comments:

Post a Comment