Tuesday, May 12, 2009

නගුල් තරුව - රවී සිරිවර්ධන

එකමත් එක බෝ ගසකට

(නිමිත්තඃ නුගේගොඩ බෝ ගස)

ළතෝනි තියමින් එන රථ
හුස්ම ගන්නා තැන ම නිසලව
දුක්ඛ සත්‍යය ම අතු රිකිලි වන
තිත්ත කුණුහරුප ය මතක බණ...

අට අනූවක් පෙර නිමිති රැස
දැක පලා නොගොසින දිවිය හැර
කැඩී අත පය හිඳින බුදුනට
දිවා රෑ රැකවරණ සලසන

පැට්‍රෝල් දුම් සුවඳ ධූපය
ශ්වාස රෝධක වුණත් පිළිගෙන
අතැඹුලක් කොට අෂ්ට ලෝ දම
උපන් දා සිට තනිව වළඳන

පුද බිමක සැප උරා බැජඹෙන
බෝ රුකට කිසි කලෙක නොපෙනෙන
සදාකාලික සත්‍ය තිස්පැය
කරන්නෙ ය වණ පොත් සොඳින් නුඹ

රවී සිරිවර්ධන
1999

No comments:

Post a Comment