Tuesday, May 12, 2009

පන්හිඳම කග පතක් කළ මැනව - ලක්‍ෂ්මන් කහටපිටිය

පන්හිඳම කග පතක් කළ මැනව

කටු කොහොල් ගල් බොරලු පිරී ගිය මේ බිමේ
ගමන් මග දුෂ්කරය විඩා සිත ඉකි බිඳී
මකාලනු පිණිස නෙතු කොණේ රැඳු කඳුළු බිඳ
උපන්නෙය පෙර දිනෙක මේ බිමේ නමින් ඔබ

රැඳුණු ගන අඳුරු තිර ඉරා කළුවර මකා
දල්වමින් ප්‍රභාතයේ අනවරත බුද්ධියේ
කතරකට වට සිහිල් මුතු වැස්ස වූ ලෙසේ
දොරට වැඩි දින ලැබූ සතුට පවසමි කෙලෙස

සිතින් සිත දොරින් දොර ගමින් ගම පහන් කළ
බුද්ධිමය ප්‍රබෝධය ඔබම විය නිබඳවම
ඉනික්බිති කල් පිරී මල් නැකැත් කල් එළැඹ
මල්වරව සිනාසෙන දින දුටිමි ඔන රුසිරි

නොකිළිටිය - පිවිතිරිය - එඩිතරය මුව මඬල
නොපැකිළය කරන්නට - කළ යුතු වූ යුග මෙහෙය
ඔබ අගය හැඳින දත් වියත් මුව හස මැදින්
පිරුණ'යුරු හැඳින්නෙමි තුටු කඳුළු නෙතු කොණේ

මතකයට තුරුළු වූ නැවුම් සුවඳක විලස
සෙනෙහසින් සිත පිරූ දයාබර සබැඳියේ
ඔබ ළඟින් හිඳින්නම් එදා අද මෙන් හෙට ද
දෙනු මැනව අප සිතට නිබඳ නව ප්‍රබෝධය

පරපුරින් පැවත ආ ඔබ මෙහෙය හැඳිණූ බව
සුනිල දිය කඩිත්තක් විලස්නෙන් පැහැදිලිය
හෙට පිපෙන පරපුරට නව ලොවක් තනන්නට
සුරත ගත් පන්හිඳම කග පතක් කළ මැනව..


ලක්‍ෂ්මන් කහටපිටිය
1989 ඔක්.

No comments:

Post a Comment