Saturday, March 28, 2009

තුවක්කුව නුඹේ -ජගත් ජේ එදිරිසිංහ

තුවක්කුව නුඹේ

දැනේ උණූසුම
නුඹේ තුවක්කු බටයේ
මගේ කන අසළ...
දැනේ වෙඩි බෙහෙත් ගඳ ද
නොඅඩුව...

නිසැකවම නුඹ
පත්තු කරන්නට ඇති වෙඩිල්ලක්
මොහොතකට කළියෙන්
මා සොයා එන්නට පෙරාතුව...

දැනේ හදවත පතුළටම
මගේ සගයා ගේ
අවසන් සුසුමෙහි බර
නුඹ එන්නටත් පෙර ම...

නොදැන සිටියා නොවේ
ඉක්මණින් නුඹ එතැයි
මා සොයා...

මරණය බියකරුය
සිහිපත් කරවයි
බියසුළු නුඹේ තුවක්කුව...

මා පිටුපසින් සිට
නුඹ බලා සිටින බව දැනෙයි
වෙවුළන්නේදැයි මා සුරත
කඩදහිය මත රැඳි...

සැබෑවකි...
හදවත සැළෙයි...
එනමුදු බෝ දැඩිය
පන්හිඳ උසුළණ ඇඟිළි තුඩු...
නවතනු නොහැකිය
ලියැවෙන මෙවදන්...

විස්මයෙන් නුඹේ ඇහි බැමි
ඉහළ එසැවෙනු ඇති
මට මැවී පෙනෙයි...
වියරු සතුටකි මසිතට
මේ නුඹේ විස්මය...

නවතනු නොහේ මේ පන්හිඳ
ලියන්නට ඇවැසිය
තව එක් වදනක් හෝ
නුඹේ තුවක්කුව
පත්තුවන්නට පෙර...

නොවෙහෙසෙන්න ගලවා දමන්නට
මා බිම වැටුණ පසුව
සුරතෙහි ගුලිව ගත්
මගේ පන්හිඳ...
එය නුඹට අයිති නැත ...


ජගත් ජේ එදිරිසිංහ

2008 ජූනි 1

No comments:

Post a Comment