Saturday, March 28, 2009

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

නමෝතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

මිනිස් වර්ගයා පමණක් නොවෙයි මුළු මහත් ජීව ලෝකයම අන්‍යෝන්‍ය සාපේක්‍ෂතාවකින් එහෙමත් නැත්නම් එකිනෙකා හා එකිනෙක අතර මනා සහ සම්බන්ධයකින් බැඳී සිටිනවා. ඒ අතර මිනිසාට පමණක් සුවිශේෂී වූ සක්‍යතාවක් තමයි ”කතාබහ”. නමුත් අවාසනාවකට වගේ මේ සුවිශේෂී හැකියාව නිවැරදි ලෙස භාවිතයේ යොදවන්නට අසමත් වෙන අවස්ථා බොහොමයි. ඒ නිසාම අපි අතර මිතුරුකම් වලට වඩා සතුරුකම් ඇති වෙලා තිබෙනවා. සමගිය, සමාදානය වෙනුවට අසමගිය, අහිතවත්කම, එකිනෙකා නුරුස්සන ගතිය ඇති වී තිබෙනවා.

කතාබහේදී වචනයේ සුහද බව ආරක්‍ෂා වීමට මුහුණේ ඉරියව් ද, හඬෙහි ස්වරූපය ද ප‍්‍රබල බලපෑමක් ඇති කරනවා. ප‍්‍රසන්න ඉරියව්වක් මුහුණේ ඇති වන විට කතාවේද ප‍්‍රසන්න බවක් නිරායාසයෙන් ඇති වෙනවා. ඒ නිසා කෙනෙක් හා කතාබහේදී මේ පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්විය යුතුයි.

සමාජගත ජීවිතයේදී අසාර්ථක ලෙස ඔවුනොවුන් හා සම්බන්ධ වන්නේ කෙසේද යන පැණයට ඉතා වැදගත් පිළිතුරක් ”කරණීය මෙත්ත” සූත‍්‍රයේ ඉදිරිපත් කොට තිබෙනවා. එනම් පහසුවෙන් කතා කළ හැකි පුද්ගලයෙකු බවට පත් විය යුතු බවයි. මින් අදහස් කරන්නේ කුමක්ද? කතා කිරීමට පහසු පුද්ගලයා ලෙස එහි පැහැදිලි කරන්නේ තමාගේ අදහසේ පමණක් දැඩිව පිහිටා නොසිට අන් අයගේද අදහස් පිළිගැනීමට කැමති පුද්ගලයායි. තමන් ගත් මතය නිවැරදි නොවන බව දැන දැනම කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන සමහරෙකු ගැන ඔබ අත්දැක ඇතිවාට සැකයක් නැහැ. එවන් අය හිතන්නේ අන් අයගේ මතයක් පිළිගැනීමට සිදුවීම මදි පුංචිකමක් ලෙසයි. සැබවින්ම එය මානසික රෝගයක්. හීනමානය යනුවෙන් බුදුසමය හඳුන්වන්නේ එයයි.

බුදුසව්වන් අතර ප‍්‍රඳාවෙන් අගතැන්පත් අග‍්‍රශ‍්‍රාවක සැරියුත් මහ රහතන් වහන්සේ දිනක් සක්මනේ යෙදෙන කොට උන්වහන්සේගේ සිවුරු කොණක් බිම ගෑවෙනවා දැකපු පුංචි රාහුල හාමුදුරුවො සැරියුත් මහ රහතන් වහන්සේට ඒ කාරණය පෙන්නල දුන්නම සාදු නාද පවත්වල උන්වහන්සේ ඒ කාරණය පිළිගත්තා. ඒ විතරක් නෙමෙයි, රාහුල හිමියන්ට ප‍්‍රශංසාවකුත් කළා.

වරදක් දුටු විට එය කරුණාවෙන් පෙන්වා දීමත්, වරද පෙන්වා දුන් පුද්ගලයගේ තරාතිරම ගැන කල්පනා නොකොට වරද වරදක් හැටියට දැකලා, ඒ ගැන තම කණගාටුව පළ කොට වරද නිවැරදි කර ගැනීමත් උසස් ආර්යය ගුණයක්. සමහර තැනකදී සමහරෙක්, කෙනෙක්ගෙ අඩුපාඩුවක්, වරදක් දැක දැකත් එම පුද්ගලයා තමන් සමඟ අමනාප වේ යැයි සිතා එකී වරද ගැන කතා නොකොට සිටිනවා. සැබවින්ම එවන් මොහොතක ඔහු කරන්නේ බලවත් හානියක්. එවන් අය බුදුසමය හඳුන්වා තියෙන්නේ ඇසුරු නොකළ යුතු ”අපාය සහාය” පාප මිත‍්‍රයන් හැටියටයි.

යහපත් කතාබහ ඔබේ දිවියට ආශීර්වාදයක් වේවා!!
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!

ශාස්ත‍්‍රපති පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන හිමි
ජර්මනිය

No comments:

Post a Comment