Saturday, March 28, 2009

හය හතර කියාදෙන්න- ලිහිණි

හය හතර කියාදෙන්න

"අම්මේ, "
"ඇයි මගෙ දූ?"
"මම අම්මයි තාත්තයි ළගට ආ‍වේ ‍කොහෙන්ද?"
"ආ...., චුටි කුරුල්ලෙක් තාත්තටයි මටයි දූවව ගෙනත් දුන්නනේ. ඇයි ම‍ගෙ දූ "

"අම්ම කියන්නෙ බොරු නේද? අපේ ටීචර් කිව්ව අපි හැ‍මෝම අපේ අම්මලගෙයි තාත්තලගෙයි කියල, අම්මයි තාත්තයි කසාද බැන්දහම බබාල අම්මල තාත්තල ළඟට එනවලු."

"බබාලව අයිති අම්මටයි තාත්තටයි විතරයිලු. ඒ හින්ද අම්මයි තාත්තයි නැතිව වෙන කාටවත්ම අපිව අතගාන්න අල්ලන්න දෙන්න එපා කියල අපේ ටිචර් කිව්වෙ. අම්මයි තාත්තයි කියපු කෙනෙක් ඇරෙන්න වෙන කා එක්කවත් කොහේවත් යන්න එපා කියලත් ටීචර් කිව්ව. එහෙම කවුරු හරි කතා කලොත් හරි අතගාන්න අල්ලන්න අවොත් හරි අම්මට තාත්තට හරි ටීචර්ට හරි කියන්න කිව්ව. "

ලිංගික හා ප්‍රජනක ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍සෞඛ්‍ය පිළිබදව මාධ්‍ය‍‍‍‍වේදීන් දැනුවත් කිරි‍මේ සම්මන්ත්‍රණයක් පසුගියදා පවුල් සංවිධාන සංගමයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණා. දරුවන්ට කුඩා වි‍යේ දීම ලබාදෙන නිසි අධ්‍යාපනය මගින් ඔවුන් ගේ අනාගතය වඩා සුරක්ෂිත කිරිමේ වැදගත්කම ‍එහිදී කතා බහට ලක්වුණා. එයට සහභාගීවූවන්ගේ පුද්ගලික අත්දැකීම් කතාබහ කිරී‍මේ දී එක් මවක් ඉදිරිපත් කල ඇගේ අත්දැකිමක් මේ.

පළමුවෙන්ම මම මේ දියණිය ගේ ගුරුතුමීට හිසනමා අචාරකරනවා. ඇය දෙමාපියන්ටත් පළමුව සිසු දරු දැරියන් දැනුවත් කිරීම ගැන. ආදරණීය අම්මේ තාත්තේ, තවදුරටත් රෝස කැලෙන් ඇහින්දා කියා හෝ කුරුලු පැටවුන් හෝ වෙනත් කිසියම් කෙනෙක් විසින් ගෙනත් දුන්නායයි ‍පවසමින් දරුවන් මුලාකරන්නට එපා. දරුවන් දෙමාපියන්‍ ගේ සම්පත බව ඔවුන්ට නොසගවා පවසන්න. ඔවුන්ට ආදරේ දෙන්න. ළඟම විශ්වාසවන්තම යහළුවා, යෙහෙළිය වෙන්න. බොරු කියා ඔවුන්ගේ විශ්වාසය නැතිකරගන්න එපා.

මා මේ සටහන තබන මො‍හෙතේදීත් ත්‍රිකුණාමලයේ වර්ෂා දියණිය පාපතර නොම්නිසුන් අතින් කෙලෙසී මරු තුරුලට ගොස් අවසානයි. නමින් දන්නා නොදන්නා තවත් සිය දහසක් දරුවන් මේ මොහොත තුළ දීත්., ආරක්ෂිතයයි අප විසින්ම රවටා ගන්නා අනාරක්ෂිත සමාජයේ පාපතරයන්ගේ ගොදුරු බවට පත්වෙමින් සිටින මතකයේ තිබේ නම්, ඔවුන්ගේ සුරක්ෂිත හෙට දවස උදෙසා දරුවන් දැනුවත් කරන්න මැලිවන්න එපා.

හය හතර කියාදිය හැකි දුවා දරුවන්ට හය හතර කියා නොදීමේ වරද නිසා, නොදැනුවත්කම නිසා දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සලසාගත හැකි අවස්ථාවන් මඟහැරෙන්නට ඇති ඉඩ වලකාලමු. පිපෙන්නට පෙර පාගා විනාශකර දැමූ වර්ෂා දියණිය වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ‍ සොයුරා තැබූ මේ සටහන තැලී පොඩිවී විකසිතවන්නට පෙර මිලානවූ සියළු මල් කැකුළු වෙනුවෙන්.


අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන් අද, හෙට හෝ අනින්දා නොව මේ මොහොතේ සිට දැනුවත් වෙමු, දරුවන් දැනුවත් කරමු. මේ ඔබේත් මගේත් වගකීමයි. යුතුකමයි


ලිහිණි

No comments:

Post a Comment