Wednesday, September 30, 2009

අරලිය - රෝහණ පොතුලියද්ද

අරලිය

ඔබ ඇවිත්
විසල්
සුදක්
පොරවලා.....

පුදසුනක,
සොහොන් බිමක,
කවියක,

විනීතව
පරවෙන්න යැයි කීවාට,
මම මලක්.....


රෝහණ පොතුලියද්ද

-අහස හැඩි වී ඇත

පසුපස ඒම - මුතු පබා

පසුපස ඒම

මම,
සිදු රළ පෙළ වෙමි
විටෙක සැඩ වුවත්
දුව දුවා’විත්,
නුඹ දෙපා
සිප ගන්න...

නුඹ,
සෙල්ලක්කාර ජීවියෙකි
මාව පාගා ඈ - ත් - ව - න,
යළි ළගට’විත්
කවටකම් පා
දි -- ව -- ය -- න.

මුතු පබා

Thursday, September 24, 2009

නැගෙන හිරු - කේ. නයනා එල් පෙරේරා

නැගෙන හිරු

නිමක් නැති දුක් මැදින්
නොසෙල්වුනි ඉන්න මෙන්
කොපුල් තලයේ රූටමින්
ගැලූ කඳුළුළැළි උල්පතින්
අනාගතයේ සිහින දුටුවේ
දසදාහක් මේ මව්වරුන්

ගත ගලාගිය රුධිරයෙන්
බිඳක් ගෙන වැඩි දූ පුතූන්
රකින්නෙමි යැයි අදිටනින්
කටුක බව පිරි දිවිගමන්
මහමෙරක් බර හිස දරන්
පා තබා ගිය පියවරුන්

පැතූම් මල් පෙති පුදමින්
අතූරිකිලි මෙන් දලූලමින්
වැඞී ගිය දින දරු පැටව්
වෙතින් ගිළිහිණි මනුදහම්
වාරු නැති දින මුළු ගතින්
තනිකලේ ඇයි මව්පියන්

හිස් අහස දෙස බලන්
දූ පුතූන් ගැන මුමුණමින්
හෙලන දහසක් සුසුමෙන්
වැටෙන කඳුළක් නෙතඟින්
කියන දහමක් මෙලෙසින්
රිදුම් දෙයි හදේ ගැඹුරින්

සිඟාලක නම් ඒ පුතණුවන්
ගියේ යහමඟ මුණි බණෙන්
නැගෙන හිරු වෙයි මව්පියන්
කරනු මැන නිසි වන්දනාවන්
දෙසුව බණදම් බුදු මුවෙන්
අමතක වුනාදෝ, කෙළෙසින්?


කේ. නයනා එල් පෙරේරා
ගැබරෝන් බොට්ස්වානා

විසිරුණු කවියක ඒකමිතිය - මංජුල වෙඩිවර්ධන

විසිරුණු කවියක ඒකමිතිය

වේගයෙන් ඇවිද ගොස්
නැවතුන
ගොළු බෙල්ලකු
හතිලනු මෙනි
මතකය.

නිමග්නව සිටියද
කල්පනා මහ සයුරක
රළ නගන්නෙම
කැබලි සිතිවිලි පමණි.

මල් නොවේ නම් බඳුනක
මල් බඳුනක් ද එය ?

අමාවක කළුවර බව
සඳට වැඩියෙන් දන්නෙ කවුරුද ?

උදෑසන
සයනෙන් මිදෙන්නට
ඉරට දැන්විය යුතුද ?

හදේ සවිකළ
මාලිමාවෙන් පාර අහගෙන
ගමන යළි අරඹමි ....

බූට් පතුලක්
හමුවනා තුරු.


මංජුල වෙඩිවර්ධන

Monday, September 14, 2009

නොරිකො සං ගෙ වේදනාව - මංජුල වෙඩිවර්ධන














දෙවෙන්දොරා
දොර අරින්න දෙවෙන්දොරා
තබකොචි සොහොන් ගැබේ
දොර අරින්න දෙවෙන්දොරා
සකුරා මලින් පිරුණු
ඇසි පිය යට
ඉන්නට මට තුරුල්වෙලා
ඇසි පිය හැර බලන්න
ඇවිදින් ඔබෙ සුපෙම්බරා

සඳ සරා හෙමින් ඇවිදින්
නිල් ගුවන් අරා සරමින්
කුමකුරා අරුංගල් ජෝඩුව
දිහා බලන්නේ
මට දරා ගන්න බෑ – ඔබ
හිත පුරා වෙලෙන්නේ

ඉකෙබනා මලින් මල ගෙන
ඉකිලනා හිතින් පැන් ඉස
මම ගෙනා ඔබේ සිත්තම
ඔබ දිහා බලන්නේ
මට කියාදෙන්න කෙළෙසද
සයොනාරා කියන්නේ

පදඃ
මංජුල වෙඩිවර්ධන

Thursday, September 10, 2009

සිවරමණී -ප්‍රසාද් වීරසේකර

සිවරමණී......

සිවරමණී කවුද ඉතිං අපේ දුකට අඬන්නේ
කඩදාසි ඔරු වලින් කොහොමද තමිල්නාඩු දුවන්නේ
තල මල පිපිලා මොකටද තල් වැට නැහැ බිඳෙන්නේ
ඇහැට ඇඟිල්ලෙන් ඇනගෙන තනියෙන් අපි අඬන්නේ

ටොකු ඇන ඇන කියා දෙන්න
ගුරුවරු නම් ඇති
හිත රිදුනම නාඬාහිත හදා ගන්න හැටි
යාපනයේ පෙළ පොත් වල
ඒ පාඩම නැති
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති

පිච්ච මල් නෙලා
කෝවිල් ගිය අය බෝ වෙති
හදිස්සියට වත් දෙවොලේ‍
දෙවියෙක් නැති හැටි
ජීවිතයක් මොකටද හෙට
හිනා වෙන්න බැරි
ඇත්ත තමයි සිවරමණී
මරණය යහපති...

-ප්‍රසාද් වීරසේකර

Wednesday, September 9, 2009

මා දැන් ලොකු ළමයෙක්

-සංකරී-

මා ගලක් වූ මලක්
පර්වතයක් වූ සුළඟක්
අයිස් බවට පත් වූ දිය රැල්ලක්

කුඩා කල
මල් කැකුළක් සේ
මඳ පවනක් සේ
දිය ඇල්ලක් සේ ගලා ගියෙමි.

යුද කලක ගැහැණු -2002

ඒ අසල ගස මත... -ඩෝසන් ප්‍රීති

ඒ අසල ගස මත...

සිඳී ගිය විල්තෙර
සමාධි සුවය සොයන විහඟ නුඹ
මඩ කඩිති පය එරී ගිය
ගමනක අවසනය නුඹ ළඟ මම

සඟවා තබමි මඩ යට
බඩතුර හොවා ආ ආයුධය මේ දුර
විහඟුන් සමග කුමනයුර
සන්නද්ධ අරගල ද සුමිතුර

සිඳී ගිය විල්තෙර
මරණය වැළඳ වැතිරැන නිහඩ බව
විහඟුන් සේනා ද තටු බිඳුන
සමාධි සුවයට බාධා කරනව ද

මනුස්ස ඇට කටු ඔලු ද සිදුරැ වුන
තවමත් සිහිනෙන් දකින බව දනිමි දිගු රැය
කලඹයි ද නුඹ සියුමැලි සිත
රාත්‍රිය පමණක්ම නොවේ බියකරැ -දැන ගත යුතුය එය අද

විල නැවත පිරෙනු ඇත නිල් දිය එමට ඇත අහස් කුස
විහඟුන් සිකිපිල් විදා ගගනත පියාඹනු ඇත අහස තවමත් හිරිකඩය
සීතල කඳුළු කැටවල උණුසුම දැනෙන්නේ කොපුලටම නොව මමිතුර
හංස ගී ගයන්න ද විලක දිය මත උන් සිටිය යුතුමය- පියුමට ඔපය එලෙසය

අවිය සඟවමි මේ තැන...
කතිරයක් දමා ඇත ඒ අසල ගස මත...

ඩෝසන් ප්‍රීති
090909

මාතෘකාවක් නැති මාතෘ භූමිය-මංජුල වෙඩිවර්ධන

මාතෘකාවක් නැති මාතෘ භූමිය

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවිය..

සූදුවට ඉඩ විවර
කෲර යුද බිම් අගල
බූරු කුට්ටම අසල
බූරු ගසනා නිබඳ..

බැඳ දැමූවට දෙ ඇස
විවර කෙරෙනා දෙ ඇස්

දස දහස් ගණනෙකි යග
බැඳ දැමූවට දෙ අත
මිටි මෙළවෙනා දෙ අත්
දස දහස් ගණනෙකි ය..

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැඟෙන
අවසාන පැතුම තුළ
නිරුවතිනි යුද ඇඳුම..

දෙමළ ඔලූ ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලිද ඔය අවිය..


මංජුල වෙඩිවර්ධන
(2009 සැප්තැම්බර්)

ඉතිහාස පාඩම-මහේෂ් මුණසිංහ

ඉතිහාස පාඩම

ජාතික ඇඳුම
ජැන්ඩියට ඇන්ද
රණසිංහ සර්
උස්සං සරම කොණකින් - පපුව දික් කරමින්
ඩෙස් බංකු වල හැපෙමින් - වේවැල් අසිපත වනමින්
ඉගැන්වූ
ඉතිහාස පාඩම
මට මතකය
මයිල් කෙළින් වී
පුටුවෙන් ද පස්ස ඉස්සුණු
ඉතිහාස පාඩම
මට මතකය

කපා කොටා පිළිමලූන් - ලේ බේරෙන අසිපතින්
නොසලකා දරුවන් මහල්ලන් - වනසා ගම් පිටින්
අල්ලං ඇවිත්, ඇතුන් ලවා පාගවා ද්‍රෝහීන්
දික් විජය කර ඇත දෙරණ ම
බලකොටු බැඳ
ගම්වල උස් තැන් වල

වැසියෝ ප‍්‍රීතියෙන් ඉපිලේ
මහන්තත්ව ය අඬබෙර ගහන
නගර වල තැන් තැන් වල
සංදර්ශනය ජය පැන් බොන, නොනවතින

රජු නිදොස්ය
කේවට්ටයෝ පෙරට එති රකින්න ට
වැරැද්දක් කළොත් ගෝලයෝ ය බාලයෝ ය
වැසියෝ වීදි වල රැස් වී ඇත
උද්ඝෝෂණය ට
එරෙහිව
දිනෙන් දින වැඩිවෙන
රජුගේ කීර්තිය නසන්නන් ට

බන්දවා වෙහෙර, රටේ අට කොණ
පූජා කොට ඇත් පැටව් දේවාලෙ ට
වාත්තු කොට රන් රිදී - ඔබ්බවා මිණි දියමන්ති
නිමවා ඔටුන්නක් අසිපතක්
රට දිනූ මහරජු ට

රණසිංහ සර් දැං නැත - ඉතිහාසයට ගොස් ඇත
ඔක්කොම දේවල් දන්න
රණසිංහ සර් වත් දන්නැති
අත්දැකීමක් මට දැං ඇත.

මහේෂ් මුණසිංහ
2009 09