Sunday, July 26, 2009
මළ දූපත - මහේෂ් මුණසිංහ
මළ දූපත
නිහැඬියාවකි
මහ පුදුම.
බඩුමිල
ඉගිල්ලෙති
ලිප් ගිනි
නිවාගෙන.
කම්හල්
වැසෙයි.
රැුකියා විරහිතයින්
ටීවී බලයි බිම ඇන
නිකන් දෙන
සූරති
භාණ්ඩාගාරය
රජු හා ඇමතිවරු
කොල්ලකති
ඉඩකඩම්
කොළඹ බිල්ඩිං
ඇති පදමට
හිස් මොළනම්
මොකද
බුද බ‍්‍රහස්පතිත්
රට කරවති
ඇවිදින් බිමට
ඝාතකයෝ
උදම් අනති
ඝාතන ගැන
තර්ජනය කරති
ප‍්‍රසිද්ධියේ
නෑසූ කණෙනි
නීතියේ යුවතිය
සේනාධිපතීන්
පිලිගනිති
යුධ අපරාධ
එද යෙහෙන්
වැජඹෙති
ලැබෙමින්
තානාන්තර පිරිවර
කැලැන්ඩර් නැති
හිර කඳවුරු වල
එකසිය විස්සක්
දින ගනිති
තුන් ලක්‍ෂයක්
වැහැරෙන
වෛද්‍ය සංගම්
බී නිදි පෙති,
දොස්තරවරුන්
සිරබත් කති
ලෙඩුන්
සුවපත් කල
හම්බන්තොට ඉඳන්
චීන්නුත් විළිස්සති
ආණ්ඩුවෙන්
යුද්දෙට
හිලව්වට
ඉඩකඩම්
අරගෙන
නිහැඬියාවකි
මහ පුදුම.
වල්පල් විතරමය
පත්තර පිටුවල.
පාළුය දැං
ලිප්ටන්
වටරවුම.
මහේෂ් මුණසිංහ
2009 07
හුදෙකලාවේ කටහඬ - මංජුල වෙඩිවර්ධන
හුදෙකලාවේ කටහඬ
තුවක්කුවකට පුළුවන්
හීනයක් වුණත් හිනස්සන්නට
හීනයකට පුළුවන්
උණ්ඩයක් වුණත් නවත්තන්නට
අමාවක දවසක වුණත්
අහම්බෙන්
මහ රෑක
හිරු උදා වූවොත්
නවත්තන්නද ?
ඒ වගේමයි
පාළොස්වකේ ?
අසිනි වර්ෂාව
සඳ නෑ - කළුවරයි - වැස්ස විතරයි.
කොකා ගස්සන
ඇඟිල්ලම තමයි
දිගුවන්නේ
හෘදය සාක්ෂිය දෙසට.
මිටි මෙළවෙනා අත් තමයි දන්නේ
මරණයේ වේදනාව.
හිස පහත් කරගෙන ඇවිදින
මිනිසකුගෙන් අහන්න
මොනවද බිම වැටී ඇත්තේ කියා
ඔහු කියයි
.. ජීවිතය ..
ඇතැම් විට
හුදෙකලාව රමණීය විය හැකිය
කවියට .......
කවිය වුව ස්මරණීය විය හැකිය
දිවියට......
අවසන මරණය.
එහෙත් ස්තිර ලෙසම
මරණය අමරණීයයි
අවියට.
මංජුල වෙඩිවර්ධන
Thursday, July 23, 2009
ගෙන්දගම් පොළොවේ අනාථයෝ - කිත්සිරි නිමල් ශාන්ත
කිරි මදු වැල් කිරි මදු වැල් කිරි අම්මේ
මමත් කිරට අඬනා දරුවෙකි අම්මේ
ගිනියම් වූ පුරවරයක සුසුම් ලමිනි ඉන්නේ
ආදරයෙන් හිස අත ගා තැවුල් නිවා පන්නේ
රුදුරු උරග සේනාවේ විස දල වැද දුකිනේ
කුරිරු රුපුන් මැද හිඳිනෙමි නිබඳ තැළුම් කමිනේ
හිනා මුවක් දයා සිතක් ලෙන්ගතුවක් නොපෙනේ
මේ ගමනේ අරුත කිමැයි කියා දියන් අම්මේ
අනුන් දහදියෙන් සව් දිය පුරනා මිනිසුන්නේ
නිසරු රැුඟුම් වියරු නැටුම් මා සිත රිදවන්නේ
රන්මසු ලුහු බඳින ලොවක ලතෙත් ගුණය නොරැුඳේ
අසරණ මගෙ හිත සනහා දිරිය දියන් අම්මේ
කිත්සිරි නිමල් ශාන්ත
-නොබලන් කුමරිය - 1993
Wednesday, July 22, 2009
විකල් ලොවක් බලන් සකී -කිත්සිරි නිමල්ශාන්ත
තැනෙක නැටුම් තැනෙක ගැටුම්
දහස් මුවින් නැගෙන සුසුම්
නොයෙක වෙසින් එන විගඩම්
සකිසඳ කිම මේ සරදම්...
දනින් වැටෙන්නට දන්නෝ
සැණින් මෙදා ජය ගන්නෝ
මිනිස් හැඟුම් නොතකන්නෝ
පිදුම් ලබා වැජඹෙන්නෝ..
දනෝ තැවෙත් උනුන් හැපී
හඬත් අයෙක් සයින් වැටී
කෙනෙක් නටත් තුටින් පිපී
විකල් ලොවක් බලන් සකී
කිත්සිරි නිමල්ශාන්ත
-නොබලන් කුමරිය- 1993 මාර්තු
සොබාසිරි - ර.මු. රණසිංහ
සොබාසිරි
අහස මෙතරම් පුළුලු ඇයි
පොළව මෙතරම් විසල් ඇයි
මුහුද මෙතරම් ගැඹුරු ඇයි
ඔබට මා ආදරේ ඇයි
සුළෙඟ නලියන තණ පතක්
විහඟ තුඩු අග ගීතයක්
නිම්නයක සුදු මීදුමක්
ඔබ
හීනයක් නොව හැබෑවක්
තෙළි තුඩක සිතුවම වෙලා
පන්හිඳට කවියක් වෙලා
වස්දඬුව රස ගන්වලා
ඔබ
ලොවක හද මන්මත් කළා
ර.මු. රණසිංහ
අන්දරයායේ - කරුණාරත්න දිවුල්ගනේ
අන්දරයායේ වැව් තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි ඔබ හිතේ නිලයි
ගහවැලේ මලයි මට අප්පච්චී
වළාකුළේ ඩාබිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ
සිදාදියට එන මං තැනුවා
තුරුහිස් මුදුනේ මල් පළඳ්‍ර
කැකුළු මුවට පල වැල නෙලුවා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුළැලි සැලුවා
ගේය පද රචනය - කුමාර ලියනගේ
සංගීතය නිර්මාණය - රෝහණ ධර්මකීර්ති
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
Wednesday, July 15, 2009
ගුරුතුමියගෙන් ප‍්‍රශ්න පත්තරයක් ! -
මව්වරුන් නොරට ගිය
පොඩිවුන්ට කිරි මව් ව
ඉසිඹුවක් ලැබ ගන්ට
පාසලට ආවා ද?
පියවරුන් පරල වී
බීමතින් ගෙට වැදී
සුදු පාට පිටු අතර
රතු කැළැල් තැබුවා ද?
නියං කල දරදිය ද අදිමින
වැසි කලට කුඹුරු අස්සද්දන
පොළ දාට පොතේ පිටු ඉර ඉරා
කඩල ගොටු සාදන
නුඹලාව අගයන්ට
ඇගයීම් ක‍්‍රම මොකුත් නැතුවා ද?
මා උගත් බොහෝ දෑ කියා දී
නුඹලාට නව ලොවට
පාලමක් තනන්නට
පතා බෝ දුරක ආ...
මට වැරදුණාවත් ද??
සුහර්ෂිණී රේණුකා ධර්මරත්න
-සිහින අසපුව- 2005
ඡන්දදායක කතා වස්තුව - යසනාත් ධම්මික බණ්ඩාර
අනේ අත්තටු නොමැති නුඹ
අත් දෙකෙන් ඉගිලෙන්න හදන දුර
යසනාත් ධම්මික බණ්ඩාර
-මුරගල- 1997 මැයි
Thursday, July 9, 2009
වනන්තරේ - පද්මසිරි හේරත්
සහෝදර කවිය - රංජිත් ගමගේ
වෙඩි සද්දෙ නැවතුණා දොරකඩ
ඇහෙනවද? දොර කවුළු ඇරෙන හඬ
අලුත් සුළඟක් ඇවිත්
ධර්මපාල,
සරෝජිනී ,
සිවපාලන්,
ලලිතක්කේ මෙහෙ වරෙන්
මන්නාරමෙන්,
තිස්සමහාරාමෙන්,
අම්පාරෙන්,
වන්නියෙන් කොහෙන් හරි
මේ සුසුමක මායිම පෙන්වන්න
හැකි වෙයිද? කෙනෙකුට
මතක් කරපන් මහා උදම් රළ
මුද ගොඩ දාපු දා
යාන්තම් පණ ගැහුණ
මනෝහරන් ගොඩ දැම්මෙ
වාඩියේම සෝමදාස
ඇඳිවත ගැලවුණා එදත්
නොදැක්කට අපේ නිරුවත
මග වැරදුුණා තමයි
වන්දි ගෙව්වා බොහෝම..
කාලයයි දැන්
”ඒ-නයින් ” පාරෙන් ඇවිත්
බැඳගන්න අත්වැල්
මේ අලුත් පොළොවක්
බීජ වපුරන්න
හෙට පිපෙන අලුත් මල් වලට
රංජිත් ගමගේ
රියාද් නගරය
බිඳුනු පොට්ටු - මහේෂ් මුණසිංහ
"සහන කඳවුරු වල මාපියන් දෙදෙනාම අහිමි දරුවන් දහස් ගණනකි."
-පුවතක්
රතුම රතු පොට්ටුවකි
හැම උදෑසන ම
නොවැරැද්දූ
නුඹේ සුළැඟිලි තුඩින්
අපි දෙන්නගෙ ම
ඇහි දෙබැමි මැදින්
මුලින් අම්මා තියාගෙන
ඉන්පස්සෙ
මගේ නළලත ඉස්සූ
මතකයි ද රණ්ඩුව
අම්මා තාන් මුදලාවදු
නාන් තාන් රෙන්ඩාවදු ෆෆ
හයියෙන් හුරතල් කර
හයියෙන් හිනා වී
මහ ?ම
බංකරෙන් පිටත් වුන අප්පා
නේන බව දැන දැනත්
පොට්ටුව පුරෝගත්
සංසුන් මූණ
නුඹ මගෙන් යන විටත් තිබුනා
මං බලන් ඉඳිද්දි ම
ඒ පොට්ටුවෙන් විද්ද
රතු ලෙයින්
අම්මා ගෙ සුදු මූණ පෙඟුනා
අඬන්න ට
විතරක් ම
දැන උන්නු මම
නුඹේ ඇඟ
බදාගෙන
වැළපුනා
වැළපුනා
වැළපුනා
.............
.............
නම් ලකුණු නොකරන
ගස් යට ඉස්කෝලය
දැං පුරුදුයි තමයි
වෙනසක් නෑ
බංකර් නැතුවා විතරයි
වෙඩි පුපුරන සද්දෙට
ගැහුනටත් හයියෙන්
පපුවම ගැහෙයි
නුඹ මතක් වී
නොදැනී ම
ඇහෙන් කඳුළුත් පනී
පොට්ටුව ගැන අහන්නෙපා
අම්මාට නැති පොට්ටුව
මම ආයෙත් තියන්නෑ
අම්මා අප්පා ගැන
උගන්නන්නෙපා
මට විතරක් නෙමෙයි
අපි කාටත් වාවන්නෑ
මහේෂ් මුණසිංහ
2009 07
**දෙමළ පද වල සිංහල තේරුම:
අම්මා තමයි පළවෙනියා
මම තමයි දෙවැනියා
Wednesday, July 8, 2009
අවසර දෙනවද හෙට දවසේ - සුධර්මා වීරක්කොඩි
ලන්ඩන් අහසේ සඳ පායන විට
ඉරත් හැරෙනවා තනිය මකන්නට
අඳුර වැටෙන තුරු බලා සිටින විට
හෙටට එළි වෙලා කාටත් නොදැනිම
වැතිරෙන විට මා පුතු ළඟ සයනේ
දුවගෙ සිනා හඬ සවනත දැවටේ
හිමියන් වෙහෙසී ගෙට ගොඩ වෙන තුරු
උණුසුම් සිතුවිළි හද තුළ තනි වේ
තනිකම අතුරින් දරු දුක මතු වී
අප්පච්චීගේ සුවඳ දැනේ
කිරි කළ හතකට ණයක් ගෙවන්නට
අම්මා ඉදිකඩ හිඳිනු පෙනේ
බොරළු පාර ළඟ සෙනේලතාවට
පෙම් කළ ගිරවුන් නාද ඇසේ
ගමරට එන මට අවසර දෙනවද
දෙපා වඳින්නට මවුනි නුඹේ...
සුධර්මා වීරක්කොඩි
ලන්ඩන්
නිදහස - නිහාල් රූපසිංහ
සිහින් සුදු උස
කඩා හැලෙන රන්වන් කෙස් රොදැති
උසස් පාසල හමාරව
ගෙදර යන අතර මග
තරුනයා අතවු උණු බැදි අල තිරු ගොටෙුචන්
පසුපසින් එන ලිහිණි රැලට
එකක් විසිකරමින්ද
එකක් සිය ්හිතවතියගෙ මුවගලමින්ද
පාවෙන මල් පිය්ලිසේ
පියවර තබමින්
ගිමිහාන රශ්මියෙන් මුවා විමට
තුරු සෙවනක් කරා යේ
හාත්පස එලියවු එමනරමීඋයනේ
වැඩුනු ගහකට පිටදී දෙපාදිගුුකර ඉඳගත්
මානවිකාවගේ මුදුකුල මත
හිස තබා උඩුබැලිව දිගාවු
තරුණයාගේ නලල් තලය මතට
සෙමින් හාදුවක් පතිත කරමින් යමක් මුමුණයි
ඇය නිල්මිණි නෙත් යුග්මයේ කාන්තිය
අඩවන් වු නෙත පියනින් මුවා විය
සුකොමල වතේ ඇඳි කෝමල රෙඛා
රන්වන් අක්බඹරු කෙස් රොදින් මුවාවිය
ඔහු අත රැඳි අල ගොටුව ගිලිහින
අසල ගැවසී උන් ලිහිනි කැල
වහා ඩැහැගෙන ඈතට ගෙන ගියේ
රන්ඩුකරමින්
නිහාල් රූපසිංහ
පෙබ 09
Monday, July 6, 2009
නිම් නැති තුන්යම - (විචාරය - ගාමිණී වේරගම)
බුද්ධදාස ගලප්පත්ති කවියා ගේ නවතම කාව්‍ය සංග‍්‍රහය වන නිම් නැති තුන්යම සඳහා ප‍්‍රධාන තේමාව ලෙස ගෙන ඇත්තේ පේර්මය හා විරහව යි. නිශ්චලයි රාති‍්‍රය, තුරුලිය අකුරු විය වැනි කාව්‍ය සංග‍්‍රහයන්හි ද මේ තේමාව ගැබ් වුවත් එය මුඛ්‍ය තේමාව ලෙස ඉස්මතු වූයේ නැත. නිම් නැති තුන්යම කාව්‍ය සංග‍්‍රහයේ වෙනත් තේමාවන් මත ගොඩනැඟෙන සංකල්පනා තිබුණත් ඒ අල්පයකි. නිම් නැති තුන්යම යන නාමය ද වඩා උචිත වන්නේ මේ තේමාවට යි.
මේ පද්‍ය සංකල්පනාවන් කවියා ගේ අධ්‍යාත්මයේ ම පැතිකඩක් වන්නේ ද යන පැනය නැඟෙන පමණට ඔහු මේ තේමාව ඉමහත් අභිරුචියෙන් විෂය කරගනී. එහෙත් මේ කවි හුදෙක් කවියකු ගේ චරිතාපදානයක හැඩතල ප‍්‍රකට කරන බවක් සටහන් කරන්නට ඉක්මන් නො වෙමි. මන්ද, කවියා මේ අප වෙත ගෙන එන්නේ ඕනෑ ම පුද්ගලයකු ගේ ජීවිතය පසුපස තිබෙන්නා වූ සත්‍යයෙන් බිඳක් බැව් පසක් වන හෙයිනි.
කවියාට විෂය වන්නේ අහිමි වූ පේර්මය ම නොවේ. පේර්මයේ ආහ්ලාදය ද ගැහැනිය ගේ සොඳුරු කුරිරුකම ද මෙන් ම වෙන් ව යෑමේ ශෝකය ද මේ කවි සඳහා නිමිති වෙයි. මේ කවි එකිනෙක යා කරන හුය බවට පත්වන්නේ මේ අත්දැකීම් අනුසාරයෙන් ඉස්මතු වන, ජීවිතය හා බැඳි සනාතන ධර්මතා යි. ජීවිතය පිළිබඳ කිසියම් කාංසා සහගත සිතිවිලි ධාරාවක් ද ඒ හා ගොඩනැඟෙයි. මහත්වූ ආසාවෙන් ඇස් දල්වාගෙන අප දිව යන්නේ කවර නම් වූ මිරිඟුවක් පසුපස ද? ජීවිතය දෝතින් බදා අල්ලාගන්නට තරම් වූ ආස්වාදයකින් පේර්මය පසුපස හඹායන මිනිසුන් අවසන ජීවිතය පිළිබඳ සැබෑවට මුහුණ දිය යුතුය.
ස්ථිර වූ කිසිවක් මෙලොව පවතින්නේ ද? මේ කවි ඇසුරින් කවියා නඟන එක් පැනයක් වනුයේ එය යි. පේර්මයේ ආස්වාදය හුදු තාවකාලික වින්දනයක්ම නොවන්නේ ද? එහෙත් ඉන් හිමිවන වේදනාව මුළුමහත් ජීවිතය පුරා ම සෙවණැල්ලක් සේ අත්නොහැර පසුපස හඹා එයි. කවියා මේ ධර්මතාවන් විනිවිදින්නේ හුදෙක් ශෝකාකූල වූ මනසකින් නො වේ. එහෙත් ඔහු භාවිත කරන කාව්‍ය ආකෘතීන්, බස් වහර හා උපමා රූපක අප හද තුළ සියුම් ශෝකයක් ජනිත කරයි. ආශාවන් කෙතරම් අර්ථශූන්‍ය ද? නිරාමිස ප‍්‍රීතිය වඩා උතුම් නොවන්නේ ද?
යටිපෙළ ලෙස මේ සිතිවිලි ධාරාව පැවැතිය ද කවියා ගේ අධ්‍යාත්මය වසා පැතිරෙන ශෝකය මුසු හැඟීම්, අතින් ස්පර්ශ කළ හැකි පමණට සියුම් ය; සංවේදී ය. එහෙත් මේ කවිවල මා දක්නා ගුණය වනුයේ ඒ හුදෙකලා අත්දැකීම් සමුදායක සෘජු ප‍්‍රකාශනයක් බවට පත් නොවීම යි. කවියා ඉතා සූක්ෂ්ම ලෙස මේ අත්දැකීම් සහෘදයා ගේ පොදු අනුභූතියක් බවට පත්කිරීමේ කාර්යයේ නිරත ව සිටින්නේ ය. එහෙයින් මේ කවි අප ගේ සිතිවිලිවල ද හරස්කඩක් බවට පත්වෙයි.
”වම් උරහිස මතින්
ඇතුළු වී
ගලා එන්නෙ ද ඇගෙ සුවඳ
හදවත සිදුරු කරමින්
උණුහුම ද දැනෙන්නේ
ඇගේ වත කමලෙහි
සුන්දර නොවෙද ජීවිතය
එක් මොහොතකට හෝ”
(ලුම්බිනියේ දී)
”විසිතුරු වර්ණයෙන්
සිතුවම් කළා වූ
වෙස්මුහුණු පැළඳගෙන
පටලාගෙන අතිනත
ඇවිද ගියෙමු රිසිලෙස
නව යොවුන් විය පසුකළ
පෙම්වතුන් යුවළක් වී ද
අප දෙදෙන
ඒ මොහොතෙහි” (වෙස් මුහුණු) මේ පේර්මයේ ආහ්ලාදයයි.
එහෙත් මේ පේර්මයේ සොඳුරු බව ඇසුරෙහි රැඳිය හැක්කේ ජීවිතයේ නිමේෂයක් පමණි. සැබෑ ලෝකය කවියා ගේ සියුම් හදවත රිදවන පමණට කුරිරුය.
”ලිහී තිබුණ සළු අතරේ
ඈ ඔහු හා ආදරයෙන්
කලවම් වී සිටිය අයුරු
.................
පෝරුව මත
නන්නාඳුනන ඔහු හා
ඈ
අතැඟිලි බඳිනා හඬ (බැඳීම)
ජීවිතයේ සැබෑව ඉදිරියේ බැඳීම් සුනුවිසුණු වේ. ඒ සඳහා ගැහැනිය ගේ තෙතමනයක් නොමැති අධ්‍යාත්මය හේතු වූවා වත් ද?
”මුව පොව්වකු ගේ
දෙනෙත් සතු යුවතිය
විසගොර සපුන් විස
හදවතෙහි සඟවන්නී
ගත ඇද වැලඳ සිඹැ සිඹැ
සම්භෝගයෙහි
සුවයද කියාදෙන්නී
විස දළින් විසමැ පොවන්නී
රුදුරු නිය පහරින්
සූරමින් නිරතුරු
ඉරා දමමින් හදවත
ගලනා රතුවන් කඳුළු දෙස බලමින්
ඒ කඳුළු පුසුඹට ම ඉව අල්ලමින්
පිනායන්නී
සිනාසෙන්නී (සිතුවමක් නොමැති කවිය)
අධ්‍යාත්මය ආදරයෙන් පුරවමින් ද නැවත ඒ ශෝකයෙන් පරිපීඩිත කරමින් ද ජීවිතයට දුක් දෙවන්නී ගැහැනිය යි. එහෙත් ඇය අහිමි වීමේ ශෝකය දරාගත හැක්කක් නො වේ.
තිරය මත මැවෙන නෙක රූ
දෑසට හසුවේ
හදවතෙහි නොරැඳේ
දකිමි පාළු වූ
මගේ වම් උරහිස (මගේ වම් උරහිස)
මේ විප‍්‍රයෝගය කවියා ගේ සිතෙහි ජනිත කරවන්නේ ක්‍රෝධය හෝ වෛරය නො වේ. ඔහු විරහ වේදනාව සියුම් රසයකින් ආස්වාද කරන බවක් පෙනේ. ඇගේ දරුණු කි‍්‍රයාකලාපයෙන් ඔහු ගේ සිත පෑරේ. එහෙත් මේ වේදනාව ඔහු කවියට නඟන්නේ ඇය පිළිබඳ නිපන් සෙනෙහසින් අංශු මාත‍්‍රයකිනිදු ඉවතට නොයමිනි.
”සොඳුරු අරුත ජීවිතයේ කියා දිදී
අඳුරු සිතට පහනක් වී ළඟින් සිටී
සොඳුරු නුඹ ම කුරිරු ව ඔසවමින් අවි
දරුණු වන්ට කාරණ කිම් දැයි නොදනී”
ඇය ගේ හැසිරීම් ඔහුට අදහා ගත නො හැකි යි. එහෙත් ඒ සඳහා නිසි පිළිතුරක් ලබාගත හැකි වෙ ද?
”ලැව් ගින්නක් ද ඒ
දවාලූයේ අප ලොව
මහද බිතු මත ලියැවුණු
කුරුටු කවි කුරුටු ගී නෙක
ඔබේ උල් නිය පහරින්
සීරී ලේ ගලන්නට වී ද
හිමිකාරිය කෙලෙස
වූවා ද තරහකාරිය” (තරහකාරී)
වියාගේ සිත මේ තරහකාරිය නිසා බොහෝ දුකට පත් වේ.
”නිසංසලේ මාවතේ පා නැඟූ ඔබ
රුදුරු වූවා ද අද දින
පෙරළා දමන්නට මා
සැඩ රළ එකතු කොට
වේගයෙන් ඇදෙමින් පෙරට” (අප දෙදෙනා)
මේ සිතිවිලි නිසා ඇය කෙරෙහි වූ සෙනෙහස බිඳ නො වැටේ. ඒ වෙනුවට මේ වියෝගය නිසා තම හද සිදුරු වූ ආකාරය කවියා ඉමහත් සංවේදීතාවකින් යුතු ව කවියට නඟයි. මේ සඳහා ඔහු පැබ්ලෝ නෙරූදා ගේ කවි සංකල්පනාවන් අපූරු ලෙස සිංහලයට නඟයි.
”මම තවත් ඇයට පෙම් නො කරමි
ඇත්තයි
ඒත් සමහර විට
මම ඇයට පෙම් කරමි
ආදරය නම් කෙටියි
ඒත් මතකයෙන් ඈත්වීම
කෙතරම් දිගු ද? (දුක්බරම කවිය)
ඇය ගේ වියෝගය ඉවසා සිටින්නට ඔහු දරන ප‍්‍රයත්නයෙන් පලක් වේ ද? අතීතයේ සොඳුරු නිමේෂයන් හද තුළට වැදී දුක්දීම කෙසේ නතර කරන්න ද? ඉන් ගැලවීමක් තිබේ ද?
”නිරතුරු ව මුව පිරුණු
සිනා කුසුමින් යුතු ව
සිටින්නට හැකි ය මට
එහෙත් හද තුළ නිබඳ
හඬන මගෙ ඉකිබිඳුම
සඟවන්නෙ කෙලෙස මම” (මමම වෙමි)
මේ ශෝකය මේ තනිකම දරාගත නො හැකි යි.
”හදේ ගුළි ගැහෙන කළුවර සයුර වැනී
රැයේ දුටු බිතු සිතුවම් නිමක් නැතී
කොහේ හෝ තැනක ඔබ සැරිසරනු වැනී
මගේ කවිය තුළ තනිකම දරනු බැරී” (ඇගේ කවිය)
මේ නිසා ම මේ විප‍්‍රයෝගය කවියාට අදහාගත නො හැකි යි. එය ඔහු කිසිසේත් අපේක්ෂා කළ දෙයක් නො වේ. සිත සනහාලූ පේර්මය ම සිත දවන්නේ කෙසේ දැයි ඔහුට ගැටලුවකි.
”මලක සුවඳ එක්කොට නුඹ මා හදට
සඳක් විලස ආවා නුඹ මා ළඟට
මතුත් සසර අත් නොහැරෙන ලෙස නුඹට
ගතින් සිතින් බැඳුණේ කිම වෙන්වන්ට” (අවසාන කවිය)
කෙසේ වෙතත් මේ ජීවිතයේ දී යළි හමුවීමක් සිදු නො වේ. ඒ සැබෑව කවියා පිළිගත යුතු ය.
”නාමල් සුවඳ කී බස්
නොඇසුණා සේ
ඉදිරියට ම පා නඟමි
අරමුණක් වෙ ද මේ ගමනෙහි
නාමල් සුවඳ දන්නෙ නෑ
මට ආයෙ එන්න බැරි බව
නාමල් නෙළන්නට
තනිවම....” (නාමල් සුවඳ)
මේ වේදනාව ම කවියාට ජීවිතයේ අරුත පසක් කරදුන් සේ ය. ලැබිය නො හැකි මිරිඟුවක් පසුපස දිවීමේ කවර නම් අර්ථයක් ද? ජීවිතයට එයට වඩා වැදගත් අරමුණු නොවන්නේ ද? පේර්ම පාශයෙන් මිදී ව්‍යාකූල නො වූ මනසින් ජීවිතය අවලෝකනය කළ යුතු යි. කවියා ඒ උදෙසා තම අධ්‍යාත්මය සකසා ගනී.
සගය මම දනිමි
ඇලීම් බැඳීම් ශෝකය උපදනා බව
නො ඇලෙමි නො බැඳෙමි
කිසිදා ළඳක් හා
වෙසෙමි ඔබ සමඟ ම
පෙර පුරුදු විලස ම
ප‍්‍රාණප‍්‍රිය මා සගය... (කොරා සහ අන්ධයා)
පේර්මය, විප‍්‍රයෝගය හා බැඳීම්වලින් විනිර්මුක්ත වීමේ සුවය කවියා තම මුඛ්‍ය තේමාව මඟින් අපූරුවට විවරණය කරන ස්වරූපය මේ නිදසුන්වලින් මනා ව පැහැදිලි වේ. කිසියම් වෘත්තාන්ත ස්වරූපයක් මේ අත්දැකීම ඇසුරින් මතුකරගන්නට ඔහු සමත් ව සිටී. කවියා ගේ අධ්‍යාත්මය පිළිබඳ හුදු ආත්මගත ප‍්‍රකාශයක් සේ දිස්වන අත්දැකීමක් ජීවිතය පිළිබඳ හරස්කඩක් බවට පත්කිරීමේ දී මේ උපක‍්‍රමය ද ඔහුට පිටිවහලක් වේ.
මේ වෘත්තාන්තය ගොඩනැඟීමේ දී ඔහු එකිනෙකට වෙනස් කාව්‍ය ආකෘතීන් භාවිත කරයි. ජනවහරේත් සම්භාව්‍ය කවි වහරේත් ආභාසය රැගත් අරුත්බර කාව්‍යෝචිත බස් වහරක පිහිටයි. ජීවිතය හා බැඳෙන අපූරු උපමාරූපකවල ඇසුර ලබයි. මේ තේමාව ප‍්‍රාණවත් අත්දැකීමක් බවට පත්කරලීමට මේ නිර්මාණ උපක‍්‍රම පාදමක් බවට පත් වේ. කවියා ගේ පෙර කාව්‍ය සංග‍්‍රහ සමඟ සසඳන විට ඔහු ජීවිතයෙන් ලත් පන්නරය ද මේ කවිවලින් ප‍්‍රකට වෙයි. හුදු පේර්ම විප‍්‍රයෝගය ඉක්මවා යන සනාතන ධර්මතාවන් මතුකර ගනිමින් රසිකයා තුළ සියුම් ජීවිතාවබෝධයක් දනවන්නට ඔහුට හැකිවන්නේ ඒ නිසා ය.
ඔහු ජීවිතය පිළිබඳ කාංසා සහගත සිතිවිලි ජනනය කරන අතර ම, ජීවිතයේ සැබෑ අරුත ද එක් සේ හසුකර ගනී. බුද්ධි ගේ කවිවල කවදත් දැකිය හැකි සුවිශේෂී ගුණය එය යි. නිම් නැති තුන්යම කාව්‍ය සංග‍්‍රහයේ පේර්මය හා විරහ ව තේමාවෙන් පරිබාහිර කාව්‍ය සංකල්පනා කිහිපයක්ද දැක්ක හැකි යි. ඒ අතුරින් වඩා ව්‍යක්ත නිර්මාණය ප්‍රේමක්කා යි. හැඩි දැඩි ගතකින් යුත්, තම පරිසරයේ සියලු දෙනා අණසකට යටත් කරගත් මරුමුස් ගැහැනියක ගේ සංවේදී අභ්‍යන්තරය කවියා අප හමුවේ ඉතා අපූරුවට චිත‍්‍රණය කරයි. මත්පැනට මෙන් ම දුම්වැටියට ද හුරු වුණ ඇය වෙසඟනක් නො වේ. ළදැඩි බව මතුපිට ස්වරූපය වුව ද ජීවිතය ඉල්ලා කෙඳිරිලි නඟන සංවේදී සිතක් ඇය සතුයි.
”ගෙවල් පේළියේ කෙළවර
ඇගේ මාලිගාවට ගොස්
ලිහිල්කොට ඇගේ සළු පිළි
ගිලී කල්පනා සයුරේ
යහන්ගත සුවය අහිමි ද ඈ හට
තනි යහනේ
පේර්මක්කා...” (පේර්මක්කා)
කවියා භාවිත කරන වදන් මටසිලිටි නො වේ. ඒ වීදියේ වහරින් උකහාගත් ඒවායි. අඩෝ සිරා.. මම තොට කියන් නෑ.. මිරිකන්න ඕන තැන... පේර්මක්කාගේ රූපය සිතුවම් කරන මේ වදන් බෟවිත්‍යගුණයෙන් යුතු ය. ඕජෝ ගුණයෙන් පිරිපුන් ය. අවසානයේ පේර්මක්කා පිළිබඳ දයානුකම්පාව අප තුළ ජනිත වන්නේ ද මේ වචන සංඝටනාවෙන් මතුවන තෙවැනි අරුත් නිසා ය.
නවීන ළමා කවිය අපූර්ව අත්දැකීමක් නො වේ. එහෙත් ඉදිරිපත් කරන විලාසය විසින් ළගන්නා සුලු ය. ළමා සිතිවිලි ද වර්තමානයේ වෙනස් වී ඇතිවන සේ ය. සිඟන්නී කව්පෙළ ද ජීවිතයේ අනිත්‍ය බව දක්වන්නකි. එහෙත් ප‍්‍රකාශනයෙන් සෘජු ය. හද සසල කරන අත්දැකීමක් බවට පත් නො වේ. ශාපවේවා කවිපෙළ සිත් කම්පා කරවන පුවතක් විෂය කරගත්තකි. ගල් වළකින් ආ ගලක් වැදී මියගිය දැරියක පිළිබඳ අත්දැකීම සමාජ අසාධාරණයේ ම පැතිකඩකි.
එහෙත් මේ කාව්‍ය සංකල්පනාව යටපත් කරමින් කවියා ගේ කෝපය ඉස්මතු වේ. ඔහු භාවිත කරන වදන් ද ගැළපෙන්නේ මේ ආවේගයට යි. කවියා ගේ කෝපය සාධාරණ ය. එහෙත් එය සෘජු ව ප‍්‍රකාශයට පත්වීම නිසා දැරිය පිළිබඳ ඛේදය යටපත් ව ගිය සේ ය. ඒ වෙනුවට මෙයට වගකිව යුතු පුද්ගලයන් කෙරේ තර්ජනාංගුලිය එසැවීම කවියා ගේ අභිප‍්‍රාය වූ බව පෙනේ.
”තෙපි හැමෝ ම නිදි වැදී සිටියද
නීතියේ ඇස් වසා
ගල් කොරියෙ හිමිකාරියට
නගරයේ මහ මැඳුරක
සතුටු සාද පවත්වන්නට ඉඩ දී
.................
බිලිගන්න මේ ගල් කොරිය ම
සඟවන්න මේ ජඩ නඩය ම
නායයන කඳු වළල්ලක් මැද” (ශාපවේවා)
වඩා සංවේදී වදන් මාලාවකින් මේ ඛේදය හද සසල කරවන ස්වරූපයෙන් ගොඩනඟන්නට තිබූ අවකාශ කවියා මඟ හරී. ඒ වෙනුවට සමාජ අසාධාරණය සෘජු ව ප‍්‍රකාශ කරන්නට යෑමෙන් ප‍්‍රස්තුත තේමාවත්, අපේක්ෂිත භාව උත්පාදනයත් යටපත්ව යෙයි.
යළි නොපායන්නෙ ද හිරු කවි පංතියට විෂය වන්නේ ද වර්තමාන සමාජයේ කතාව යි. එහෙත් එහි දී උපයුක්ත බස විසින් අත්දැකීම වඩා ශක්තිමත් කරනු ලැබේ. පෙර අනුරාධපුර අහස්තලය වැසුණේ රහතුන් ගේ සෙවණැල්ලෙනි. එහෙත් අද හිරු රශ්මිය වැසෙන්නේ නිරතුරු ව ගුවනේ සරන යානාවලිනි. රහතුන් ගේ ධර්මය වෙනුවට අද පතිත වන්නේ බෝම්බ ය. භාවිත උපමා රූපක විසින් ද අත්දැකීම සාර්ථක නිර්මාණයක් බවට පත් කැරේ.
සමාජ ප‍්‍රපංචයන් පිළිබඳව කවියා ගේ තියුණු ඇසත් දැක්මත් වඩා මුහුකුරා යන අවස්ථාවක් ලෙස මොන්ටාජ් කවිය හැඳින්විය හැකි ය. එක් පසෙක දුක් අඳෝනා ය. මළමිණී ය. ඒ මැද කොතෙකුත් රංගන රග දැක්වේ.
”වෙදැදුරු අමරසේකර කිවිපතිකමින්
ඉහළට
අගමැතිකමට වුව සුදුසු යයි පවසනු
ඇසේ
කිවියර පරාක‍්‍රම
රුවන්පුරයේ සිට
ජනපති ද අගමැති ද නෙක මැති
ඇමැතිවරු
හඬා වැළපෙති පළ කරති සොව
.........................
සකලක බේබි බක බක ගාවි
ගෞතම්හට හෙට දින කුමක්
සිදුවන්නෙද”
(මොන්ටාජ් කවිය)
මේ සියල්ල අතරතුර ජීවිතය ඉල්ලා යදින්නන් ගේ හඬ නෑසූ කන් ව යෙයි. කවියා අප ගේ නෙත සිත යොමු කරන්නේ ඒ වෙතයි.
”බියෙන් හා සංකාවෙන්
ගෙවනා මේ ජීවිතයට
ජීවිතය යැයි කියනු කෙලෙසක
(මොන්ටාජ් කවිය)
මොහොතක වේදනාවෙන් හදගැස්ම නවතාලන ආකාරයේ සියුම් සංවේදීතාවක් මේ කවිපෙළෙන් මතුකරන්නට කවියා සමත්වෙයි. කවියා ඉස්මතු නො වී සැබෑව ඉස්මතු කරන හෙයින් මේ කවිපෙළ සාර්ථක අත්දැකීමක් බවට පත්වෙයි.
නිම් නැති තුන්යම කාව්‍ය සංග‍්‍රහය තේමා දෙකකින් යුක්ත ය. පේර්මයේ විරහව හා බැඳෙන තේමාව වෘත්තාන්ත ස්වරූපයෙන් ඉදිරිපත් වන අතර කවියා වඩා සාර්ථක වන්නේ මේ පුද්ගල අධ්‍යාත්ම විවරණයේ දී ය.
මේ තේමාවේ බොහෝ කවි අප හදවත සියුම් වේදනාවකින් ද අපූරු රසයකින් ද පුරවාලන්නට සමත් වෙයි. සමාජය පිළිබඳ තේමාවේ දී කවියා සාර්ථක මෙන්ම අසාර්ථක වන අවස්ථා ද දැක්ක හැකියි. සෘජු ව ආවේගය පළකරන අවස්ථාවල ඔහු අසාර්ථක යි. එහෙත් ඔහු සතු මානව දයාව මුසු පුළුල් ජීවන දැක්ම ඒ කවිවල ද අන්තර්ගත යි.
බුද්ධි තම කාව්‍ය නිර්මාණ ක්ෂේත‍්‍රයේ පශ්චිම භාගයට පැමිණ ඇති බවක් මේ කාව්‍ය සංග‍්‍රහයෙන් හෙළි වෙයි. ඉදිරියේ දී වඩ වඩාත් ඇතුළු හදට නැඹුරු වූ කවියකු ගේ කව් සිතිවිලි ආස්වාදනයට රසිකයාට අවකාශ සැලැසිය හැකි බැව් ඉන් ගම්‍යමාන වන අර්ථය යි.
ගාමිණී වේරගම
උපුටා ගැනීමඃ පුන්කලස 2008/06