Thursday, January 21, 2010

යාළුවන් ගේ දැනුම හරි මිළයි - ගැමුණු පී. දසනායක


කර කියා ගත නො හී
හිත නිඳද්දී වැතිරී
හැර දමා ගර්වය ආත්මාභිමානය
ඔබේ ගෙදරට පැමිණෙමි
සිඟමන් පිණිස ඥානය

නමයෙදී කවි බැරුව
අව්වෙ දණ ගහපුවා
මං කාටවත් කියන්නෑ
වට පිට බලා මගෙ
ඕ ලෙවල් පිටුවක් ම
උදුර ගත් එකත් අනෙ කියන්නෑ
මා යාළු මහත්තයෝ
පිනට ඔබෙ ඥානය
මිටක් මට දෙන්නකෝ

ගෙම්බෙක්වත් කැපුවේ නෑ ජීවක
ඌට වමනෙ එනවා එතකොට මතකද
බ‍්‍රහස්පතිට වැඩි ලොකු ඔළු-වක්
තිබුණේ තාරකයට
ලෝකෙ බෝලයක් බවවත්
දැනගෙන හිටියේ නැතුවට

ඒ උනාට උන්ට තිබුණ
මහ විසාල ප‍්‍රාර්ථනා
නමින් වාසගමින් ලැබුණ
ඒ නිසා ම උන්ගෙ
සමා-ගමයට මං ආස කළා
බැරි පාඩම් හෙමි හෙමිහිට
කියා දුන්න හිස අත ගා

ඉස්කෝලෙන් කට්ටි පැන-චිත‍්‍රපටි බලන්නට
පික් පොකට් ගහන කොට- මං උඹට බැන්නා
ගුරු සිත රිදවලා- වෙලාවත් වරදවා
දහමාට ගහද්දී- මං උඹ අල්ලලත් දුන්නා
අයි වෝන්ට් ටු බී කියලා
නිහ`ඩ හිස්තැනක් තියලා
නුඹ ආපහු වාඩි වෙද්දි
අපි හයියෙන් හිනා වුණා

මං ඊයෙ ගියා ජීවකලහ
(ඊට කළින් තාරකලහ දහමයලහ
සමාවෙන්න දහම් මහත්තයලගෙ අහ)
උන් උන්නේ අඩි ගාණක් උඩ පොළොවෙන්
මං ඉල්ලූවාම ගන්න කිව්ව
ඒත් හරිම මිළයි එව්ව- මං ආපහු ආවා

මට මතකයි ධනය ගෙනැත්
අගේ කෙරුව හැටි පේන්න
රම්බෝගේ ස්ටිකරය
පස්සෙන්දා නුඹ ගෙනැවිත්
ස්ටිකර් ම ලොකු කොළයක්
පංතියට ම බෙදුවා

ඊට පස්සෙ ගුටි කෑවා ලොකු සර්ගෙන්
පදික වෙළෙන්දා ඇවිදින් පැමිණිලි කරලා
උගෙ ඔළුවත් පැළිලා

මං ඉදිරියෙ මේ ඉන්නේ
ඒ රම්බො ම වෙන්නට ඇති
බය වෙයන් කියල කිව්වත් මං
බය වෙන්නේ නැති

කට්ට අව්වෙ කෑ ගහලා
කට්ට මුසා වැකි අහලා
කට්ට කාල කට්ට කාල
රජ මැති ඇමතිල එක්කත්
ඔට්ටු වෙලා ඇති මං

කළු ගල් ගෙඩි වගෙ මස් ගොබ
දම්වැල සුදු යකඩ මහත
පපුව පුරා මකරාක්ෂ
බය කළාට කියන්න මං
බය වෙන්නේ නැති

බය නැතුවයි මං ආවේ
ලැජ්ජා නැතුවයි ආවේ
පිනට යමක් ඉල්ලන්නයි
නෑවිත් බැරි තැන ආවේ


ගැමුණු පී. දසනායක

No comments:

Post a Comment