Thursday, January 7, 2010

අවසාන සාදය - සුභද්‍රා ජයසුන්දර


දැන දැනත් හිස් බවෙක මහ අපුල
ඇවිද යමි ඒ තුළ ට
සාලයේ මහ පහන් සැර එළිය
බුදු සිරස මුවාකර දිස්න දෙයි
ජැණ්ඩියට හිඳින පිත්තල පහන
ගෙදර අයගේ සිරිය කියා දෙයි

ඝන සැරට මුහුණු පින්තාරු කළ
කාන්තා සබා මැද
මම හිඳිමි අසරණව

අඳුන් නැති මා ඇස් ද
පාට වැඩ නැති වත ද - දකින්නී
විස්මයෙන් මෙන් බලයි
විස්මයම සිනාවක් ලෙස නගයි

මා නග්න දෑසට
පෙම් කරන නුඹ සිහිව
සිතම උතුරා ගලයි
සාංකා මොහොතක ට දුරුව යයි

‘දැකල නෑ පන්සලෙත්’
කියන්නී සුරඟන ක
‘යන්නෙ නෑ පන්සල් නම්’
බිත්තියේ වැඩමවන බුදු දෑස
මඳ සිනා පානු වැනි මට සිතේ

ඇඟ සිහින් වන ක‍්‍රම ද
කෙස්ස සකසන ක‍්‍රම ද
අවසන් ය
කේක් පාඩම හඬින් ඇරඹේ

කේක් නොහදන දෑත
එකට බැඳගමි තදින
අඳුන් නැති මා දෑස
වසා ගන්නෙමි තදින
කෝපයක් අවදි වන’යුරු දැනේ

සිහිනයෙන් සිහිනයක් සොයන ලෙස
නුඹ සොයා නැගිට යමි
‘කම්මැලිද’
පුරුදු ආදර දෑස
මගේ මුහුණට එබෙයි

‘ගෙදර යං’
තිර හඬින් මම කියමි

2009 දෙසැම්බර්

No comments:

Post a Comment