Tuesday, April 27, 2010

කුරුල්ලකු ගැන මතකය - මංජුල වෙඩිවර්ධන


කුරුල්ලකු ගැන මතකය


වරෝ වර කී සැණින් රොද බැන්ඳ
අරෝවක් නොවුණු විහඟුණි මන්ද
ඔරෝගෙන කැටපතට සිහිනෙන්ද
ඉරෝ කහවණු සමඟ ස්නේහෙන් ද

ඉපල් තුරු දලු දමන වැහි පොදට
අතුල් පහරක් ගසන සුළඟට ද
විසල් ගණ අඳුර යට කවි ලියන
විකල් වුණු කුරුල්ලා අමතක ද

අත්තටුත් දන් දෙන්න පේ වෙච්ච
නෙත් වලින් ස්වප්නයන් වෑහිච්ච
අත් අකුරු මේ තරම් ඇද වෙච්ච
හිත් තැවුල් පිරිමදින පොල් කිච්ච

ගී නොවේ උස් හඬින් හඬ නැගුව
ජීවිතය අතර මග හැර දැමුව
මීවිතට කඳුළු බිඳු මුහු කෙරුව
සීතලට බොඳ ඇහින් ඉඟි මැරුව

තටු අතර සඟව ගෙන වසන්තය
පටු මගක සිට සෙවූ අනන්තය
දුටු මතින් වියැකුණ ද මහන්සිය
ඉටු දෙවුන් සිහිනයෙන් වහන් විය

අසුරු සැණෙකින් සිතැඟි තෙත් කරන
විසිර ගිය තටු රැගෙන අත් දෙකට
අඳුර මැද පියඹන්න තැත් කරන
මිතුරු විහඟෙකි මිතුර අත හැරුණ

මංජුල වෙඩිවර්ධන
2010/04

No comments:

Post a Comment