Tuesday, April 27, 2010

ඈත සිට ඈත වෙත - අජිත් සී හේරත්


ඈත සිට ඈත වෙත


අපේ‍්‍රල් අහස හිස් වේ.
වළා කෙන්දක්
කන්දකට ඉහළින් පාවේ.
බස් රියක් කඳු වෙත ඇදෙයි.
නොලියු කවියක් කීතු වී
කවුළුවෙන් ඈතට පියාඹයි.

දූවිල්ල සහ දුමාරය.
රිදුම් දෙන මගේ හිස
නමක්වත් නැති කන්දකට වාරු කර
මහා දිගු හෙවණැල්ලක්ව
ඉපනැල්ල ශේෂ වූ
වෙල්යාය හරහා වැතිරගමි

මම මා නොවූයෙන්
මගේ සෙවනැල්ල වූයෙමි
මහ පොළොව මත වැතිරුණෙන්
මම මහ පොළොව වූයෙමි.

මම වැතිරී සිටිමි.
හැමෝටම පෑගිණි
මම සුසුම් ලමි
කිසිවෙකුට නෑසිණ.

හිස අද්දරින් පාවෙන
කළු වළා තුළ කැටිවුන
ශෝකී සිහින වැගිරී
මගේ නෙතු අග පිරෙයි.
පතන් බිම් හරහා ගලා යයි.

සෙවණැලි කුඩා වී
තණ පඳුරු යට සැවෙන
හිරු රැුසින් පිරි උදාසනකදි
ඒ සුනිල දිය දහරදිග
ඔබ ඇවිද යයි.

අළුපාට සැඳෑවක
සෝබරව පැමිණ ඔබ
මගේ ළය මඬළ කැණ
ඔබේ මළවුන් වළදමයි.
නෑ සියන් නික්ම ගිය පසු
නොනැවතී සිනහ සෙයි.

සෙවණැළි දිය වී දිය වී
අඳුරත් සමග මුසු වෙයි
නිල් අහස පිස ලන
සසල තුරු මුදුනත ගැටී
තාරුකාවක් බිම වැටෙයි.

දෑස පිස ලා
නියර මත වාඩිවීමී.
ඉදින් මම මහ පොළොව වූයෙම්ද
නැත එයට බොහෝ ඉහළින්
හිස් රෑ අහස වූයෙමි.

සෙමින් කඳු බැස යන
පාන්දර බසයක
මීදුම් පහන් දැල්වේ
මීදුම තවත් දැඩි වේත්‍ව.

අජිත් සී හේරත්

No comments:

Post a Comment